Home » අරුම පුදුම තුර්කි උදේ ආහාර වේල

අරුම පුදුම තුර්කි උදේ ආහාර වේල

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

කෙටි හෝ සංචාරයකට තුර්කියට ගොස් තිබෙනවා නම් ඔබ අනිවාර්යයෙන්ම තුර්කි පාතරාසය හෙවත් ලෝක ප්‍රසිද්ධ ටර්කිෂ් බ්‍රෙක්ෆස්ට් එක රසබලා තිබෙනවා නොඅනුමානයි. තුර්කියේ සමාජයීය, සංස්කෘතික හා ආහාර රටා ගැන සමස්ත කතාව මේ තුර්කි පාතරාසයේ තියෙනවා.

එඩේර යුගයේ සිට තැනින් තැනට ගොස් ජීවත් වූ මේ කලාපයේ ජනයා සිය ජංගම අාහාර ගබඩා ලෙස රැගෙන ගියේ එළුවන්, බැටළුවන් හා හරකුන්. ඒ නිසා කිරි හා මස් සම්බන්ධ කෑම වට්ටෝරු සිය ගණනක් මේ ජනයා අතරේ තිබෙනවා. චීස් , බටර් හා ක්‍රීම් වර්ග විශාල ගණනක් ගෘහස්ථව නිපදවා ගන්නවා.

මෙන්න මේ හේතුව නිසා තුර්කියේ පාතරාසය හෙවත් ප්‍රධාන ආහාර වේල චීස් හෝ බටර් සමඟ පාන් මූලිකව සැකසී තිබෙන්නේ දුරාතීතයේ පටන්මයි. මේ සරල උදෑසන ආහාර කෙමෙන් කෙමෙන් විකාශනය වීමෙන් අද තිබෙන විචිත්‍ර තුර්කි පාතරාසය නිර්මාණය වී තිබෙනවා.

ගේදොර, ගෘහ භාණ්ඩ පමණක් නොව කෑම බීම පවා විචිත්‍ර ලෙස නිර්මාණය කර ගන්නට තුර්කි ජනයා කැමැත්තක් දක්වන. පාන් ගෙඩියක වුණත් කැටයම් හා මෝස්‌තර දමන්නට ඔවුන් කැමතියි.

තුර්කියේ විශේෂ ආහාර වට්ටෝරු හා පුරුදු බොහෝ තිබෙන අතර ඉන් වැදගත්ම වන්නේ ආහාර ගැනීම සමාජ හා සංස්කෘතික කාරණයක් ලෙස සැලකීමයි. කොටින්ම ඔවුන්ට පොහොසත් ආහාර සංස්කෘතියක් තිබෙනවා.

කෑමට පෙර හමුවන සියලු දෙනා උනුන්ට යහපත් ආහාරයක් වේවා යන අරුතැති ‘ආපියෙට් ඔල්සුන් ‘ කියා සුබ පතා ගන්නවා. සමහර විට උදේට ‘ගුඩ් මෝනින්’ කීවත් සද්ද නැතිව ඔහේ ඉන්න සමහරුන් කෑම වෙලාවේදී එකිනෙකාට උණුසුම්ව සුබ පතා ගන්නට පැකිළෙන්නේ නෑ. තුර්කි ජාතිකයන් උදෑසන ආහාර වේල සලකන්නේ දවසේ සුවිශේෂම ආහාරය ලෙසයි. නිවාඩු දවසක නම් ආහාර පිළියෙල කර ගන්නට ඉතා සුළු වේලාවකුත් ආහාරය භුක්ති විඳීමට ඉතා දිගු වෙලාවකුත් ගැනීම ඔවුන්ගේ පුරුද්දක්.

මේ තරම් ආහාර ද්‍රව්‍ය පිරුණු මේසයක් ඉක්මණින් පිළියෙල කරන්නේ කොහොමද? එය පහසුයි. මෙහි තිබෙන සියයට අනූවක් පමණ වන චීස් වර්ග, බටර්, යෝගට් මිශ්‍ර ආහාර, ජෑම් වර්ග, ඔලිව් ආදී සියල්ල සති ගණනකට පෙර සූදානම් කර ගන්නා ඒවා. එවෙලේ කරන්නට තිබෙන්නේ අලුත් පාන් ගෙඩියක්, අලුත් කොළ, තක්කාලි හා කියුකම්බා ගෙඩි පෙති ගසා ගැනීමයි.

ඉතින් මේ හේතුව නිසා අපට නොලැබෙන වාසියක් ඔවුන්ට අත්වෙනවා. ඒ ගෙදර ගෘහිණිය සමඟ සියලු පවුලේ සාමාජිකයන් හා අමුත්තන් එක්ව වාඩි වී සොම්නස් කතාබහක යෙදෙමින් බොහෝ වෙලාවක් කෑම ගැනීම‍ට ලැබීම. බඳුන් සියල්ල එක්වර මේසයේ අසුරා ගන්න නිසා වරින්වර අලුත් දීසි ගෙන ඒමත් ‘අනේ තව ටිකක් කන්ටකෝ’ කියා පෙරැත්ත කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ.

අප වරක් ගිය ප්‍රාදේශීය සංචාරයකදී නවාතැන් ගත්තේ යුවළක් විසින් පවත්වා ගෙන යන කුඩා ගෙස්ට් හවුසියකය. කොටින්ම එය ගෙදරක්මය. සියලු අමුත්තන් වෙනුවෙන් ආහාර ගෙනත් තැබුවාට පසු මේ යුවළ ද අප හා අනිත් අමුත්තන් සමඟ වාඩි වී අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ආහාර ගත්තෝය. මම මුල්මවරට සම්පූර්ණ තුර්කි පාතරාසයක රස වින්දේ ඔවුන්ගේ නිවෙසේදී.

කාර්යබහුල බව නිසා බොහෝදෙනෙක්ට ඔය තරම් කාලයක් අරගෙන නිතිපතා කෑම කන්නට ලැබෙන්නේ නෑ. ඒත් ඉරිදා දවස නම් ඔවුන් මේ සඳහා වෙන් කරගෙනම තියෙනවා. සෙනසුරාදා මුළු රාත්‍රියම වැඩිපුර නිදිවරන බොහෝ නගරවැසියන් බොහෝ දෙනෙක් ඉරිදා අවදි වන්නේ උදේ දහයෙන් පසුවයි. ඉන්පසු උදේ කෑම දෙන අවන්හලකට ගොඩවන සමහරුන් තේ බොමින්, දුම් බොමින් පැය දෙකකට වැඩි කාලයක් වැය කරන්නේ පාතරාසය ගැනීමට.

වතාවක් අපි වන උයනක් බලන්නට ගොස් එහි කෙළවරක තිබූ ප්‍රියමනාප රෙස්ටෝරන්ට් එකකට ගොඩවැදී දවල් කෑම ඉල්ලුවේ දවල් දොළහට විතර. අපිව කාරුණිකව පිළිගත් වේටර්වරයෙක් ඉල්ලා සිටියේ තව පැය බාගයක් ඉවසා සිටින ලෙස. ‘ තාම අපේ කස්ටමර්ස්ලා උදේ කෑම ගන්න ගමන්’ ඔහු කිව්වේ සුහද සිනහවක් පාමින්. මේ පැය බාගය තිස්සේ විසල් භෝජනාගාරය සිසාරා බැලුම් හෙළූ මට පෙනී ගියේ සශ්‍රීක හා විචිත්‍ර ආහාර මේස වටා ඉඳගෙන නිවී සැනසිල්ලේ සතුටු සාමීචියේ යෙදෙන අතරේ සොම්නසින් කෑම කන ගැහැනුන්, පිරිමින් හා දරුවන්.

තුර්කියේ සිටින්නේ බෙහෙවින් නවීකරණය වන ජාතියක් නිසා ඔවුන්ගේ ආහාර වට්ටෝරු ද නිරතුරු නවීකරණය වෙනවා. ඒ වුණත් මේ සියල්ල වෙන්නේ සිය අනන්‍යතාව ද පවත්වා ගනිමින්. තුර්කි පාතරාසයක අනිවාර්යයෙන්ම පාන් පෙති පිඟානක් තිබෙන අතර තේ පෝච්චියක් ද මේසයේ කෙළවරක තිබෙනවා. ඊට අමතරව කුඩා කුඩා බඳුන් විස්සක් හෝ තිහක් අතර ප්‍රමාණයක දැමූ චීස් වර්ග තුන හතරක්, යෝගර්ට් මුසු කර තැනූ කෑම වර්ග සෝස්, ඔලිව් ගෙඩි වර්ග ඒ අතර වෙයි.

උදේ කෑම ගන්න අතරතුර ටියුලිප් හැඩයේ කුඩා වීදුරුවට පුරවා තේ කෝප්ප හතරක් පහක් බීම ඉතා සාමාන්‍ය පුරුද්දක්.

අපි ගිය ඉරිදා උදේ කෑම ගත්තේ අපේ නිවාස ආසන්නයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලකින්. මා සමඟ ගිය ඉංග්‍රීසි මිතුරා ඇලන්ගෙන් මේ කෑම වර්ග අතරින් ඔහු කැමතිම වර්ග දෙක මොනවාදැයි මම ඇහුවා. ඔහු කිව්වේ මීකිරි සමඟ මීපැණි මුසුව හා බටු සමඟ මාළුමිරිස් පුළුස්සා සකස් කර තිබූ රස දීසියට වඩාත් කැමති බව.

අපි දෙදෙනාම කැමති පොදු අහරක් වූයේ මීකිරි මීපැණි මුසුවය. තුර්කියේ මී ගවයන් සිටින බව මා දැන ගත්තේ මේ රස ආහාරය ගැන කරුණු විමසද්දිය. ඇත්තටම මේ මුදවපු මීකිරි නොවෙයි. මීකිරිවලින් ලබා ගත් ක්‍රීම් එකය. එය මී පැණි සමඟ ගෙන ආවේ අපේ කිරි පැණි රසයට බෙහෙවින් සමාන රහක්.

මම දෙවනියට කැමති වූ බඳුන නම් සිහින්ව ලියලා ගත් කැරට් හා යෝගට් මුසුව. කියුකම්බා පෙති සමඟ මිශ්‍ර කරගත් තවත් යෝගර්ට් බඳුනක් ද තිබුණා.

අපේ මේසයේ තිබුණේ චීස් වර්ග හතරක්, ජෑම් හා චට්නි වර්ග හතරක්, ඔලිව් වර්ග දෙකක් හා ඔලිව් හා ඉරිඟු ඇට දැමූ අච්චාරුවක්, අමු පලා, තක්කාලි පෙති, කියුකම්බා පෙති, කොකෝවා චොක්ලට් තවරුම, බටු හා මාළු මිරිස් ආශ්‍රිත වට්ටෝරු දෙකක අහාර ඇතුළු අයිතම විසි ගණනක එකතුවක්. ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගැනීමට බිත්තර තක්කාලි මුසුවක්, විශාල ඔම්ලට් එකක් හා සියුම්ව අඹරාගත් මස් හා තුනපහ මිශ්‍ර ලුණු මිරිසක්ද තිබුණා.

දැන් ඔබ සිතනවා ඇති මේ සියල්ල සමඟ අප දෙදෙනාගේ ආහාර බිල ඉතා විශාල එකක් කියා. එහෙත් එය ඒ වර්ගයේ ලංකාවේ කෑම වේලකට වඩා මිලෙන් අඩුයි. එසේ වන්නේ මෙරට චීස්, බටර්, පාන්, එළවළු හා පලතුරු ඇතුළු මූලික ආහාර ඉතා පහසු මිලකට හොඳ තත්ත්වයෙන් මිලදී ගන්නට තිබීම නිසා. කෘෂිකර්මය හා කෘෂි නිෂ්පාදන බෙදාහැරීමේ ක්‍රියාවලිය ඉතාම ක්‍රමවත්.

අපි මේ ආහාර බඳුන් සියල්ලෙන් එකක් හෝ මඟ ඇරෙන්නට නොදී රස බලද්දී එය තුර්කිය වටා ගිය චාරිකාවක් හා සම වුණා.

ඇප්රිකට්, ෆිග් හා ස්ට්‍රෝබෙරි ජෑම් රස බලද්දී අපි අන්තාලියාව හා කළු මුහුද අද්දර පලතුරු වතුවල ඇවිද්දා. අඹරාගත් තල ඇට පේස්ට් එක රස බලද්දී ගොකාවා පළාතේ විශාල කෙත්වතුවල ඔබ මොබ යමින් හිටියා.

වර්ග තුන හතරක් වූ චීස් වර්ග රස අපව කොන්යා දිස්ත්‍රික්කයේ කඳුකර ගොවි ගම්මානවලට රැගෙන ගියා

තුර්කි උදේ ආහාර වේල කියන්නේ මුළු තුර්කියම තමයි. එය තුර්කියට සංචාරකයන් අද්දන බලගතු කාන්දමක්.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division