Home » දිනක පාඩුව කෝටි විස්සයි ‘ශ්‍රීලන්කන්’ ගොඩදැමිය හැකිද?

දිනක පාඩුව කෝටි විස්සයි ‘ශ්‍රීලන්කන්’ ගොඩදැමිය හැකිද?

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

– වසර 15ක සමස්ත පාඩුව රුපියල් කෝටි 54,000යි
– ‘එමිරේට්ස්’ වෙතින් පවරා ගන්නා විට ලාභය රුපියල් මිලියන 4899යි
– ගොඩගැසී ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි 36,000යි

ටක ජාතික ගුවන් සේවය ඒ රටට මහත් අභිමානයකි. එහෙත්, එය ඇත්ත අභිමානයක් වන්නේ එරට ජනතාවට බරක් නොවී යහතින් පවත්වාගෙන යන්නේ නම් පමණි.

අපේ ජාතික ගුවන් සේවය ‘ශ්‍රීලන්කන්’ පසුගිය වසර 15 තුළ ලබා ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන 537,430 කි. (රුපියල් කෝටි පනස් තුන් දහස් හැත්තෑ හතර ලක්ෂ තිස් දහසකි) ගතවන සෑම දිනකම රුපියල් කෝටි විස්සකට ආසන්නව විඳින මේ අලාභය කරගසා සිටින්නේ, සෑම උදෑසනකම පාන් රාත්තලටත් රුපියල් විස්සක පමණ බදු මුදලක් ගෙවන පොදු මහජනතාවය.

පාඩු ලැබූ ‘එයාර් ලංකා’ සමාගම ‘එමිරේට්ස්’ සමඟ ‘ශ්‍රීලන්කන්’ වූ හැටි

‘එයාර් ලංකා’ නමින් පැවති අපේ ජාතික ගුවන් සේවය 1998 වනවිට තවදුරටත් පවත්වාගෙන යා නොහැකි අයුරින් දිගින් දිගටම අලාභ ලබමින් තිබිණි.

1994දී බලයට පත්වූ චන්ද්‍රිකා රජය වසර හතරක් තිස්සේ තවදුරටත් එකී අලාභය විඳිමින් සිට 1998 දී ‘එයාර් ලංකා’ සමාගමේ කොටස් සියයට 44ක් ලොව ප්‍රකට ගුවන් සේවයක් වන ‘එමිරේට්ස්’ සමාගමට පවරනු ලැබීය.

එතෙක් රටේ ජනතාවගේ බදු මුදලින් වාර්ෂිකව කෝටි, ප්‍රකෝටි ගණන් පොම්ප කරමින් පවත්වාගෙන ගිය ‘එයාර් ලංකා’ සමාගම ‘ශ්‍රීලන්කන්’ නමින් නව ජීවයක් ලබමින් ගමන් ඇරඹීය. වසරක් පාසා රටේ භාණ්ඩාගාරයෙන් අලාභය පියවූ රුපියල් කෝටි, ප්‍රකෝටි ගණනක බදු මුදල් රටට ඉතිරි විය.

1998 සිට ‘එමිරේට්ස්’ සමාගමේ නව පරිපාලනය සමඟ වර්ෂ 2001 වන විට ලබමින් තිබූ දැවැන්ත අලාභය ක්ෂය කර ගනිමින් ලාභ ලැබීම ආරම්භ විය. ක්‍රමයෙන් එම ලාභය ද ඉහළ නංවාගෙන ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට සැලකිය යුතු බදු ආදායමක් ද එක් කරන්නට පටන් ගත්තේය.

භාග්‍යය, අභාග්‍යට හරවමින් කණකොකා හැඬලීම

රටට බරක් නොවී තිබූ හිසරදය නිම කර බදු ආදායම් ද ගෙවමින් ඉදිරියට ගිය ශ්‍රීලන්කන් ගුවන් සේවයට එක්වරම ‘කණකොකා’ හැඬුවේය. 2008 නැවත දීර්ඝ කිරීමට තිබූ ගිවිසුම දීර්ඝ නොකිරීමට මහින්ද රාජපක්ෂ රජය තීරණය කළේය. ඊට පෙර එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කළ ඔස්ට්‍රේලියානු ජාතික ‘පීටර් හීල්’ ගේ වීසා බලපත්‍රය ද අහෝසි කර රටින් පිටව යාමේ මාර්ගය තැනීය. ඒ වන විට 2008 වසරේ ‘ශ්‍රීලන්කන්’ ලබා තිබූ ලාභය රුපියල් මිලියන 4899කි.

එමිරේට්ස් සමාගම හා ශ්‍රීලන්කන් අතර වූ ගිවිසුම 2008 වසරින් ඔබ්බට දීර්ඝ නොවන්නේත් එහි සිටි ප්‍රධාන විධායක නිලධාරී පීටර් හීල්ගේ වීසා බලපත්‍රය අවලංගු වන්නේත් එම සමාගම වෙළෙඳ ආයතනයක් ලෙස සිය සේවාදායකයන් අන් සියල්ලටම වඩා ඉහළින් තබන නොවෙනස්වන ප්‍රතිපත්තිය නිසාය.

තම සේවය ලබන ගුවන් මගීන් කල්තියා වෙන්කර ගන්නා ආසන යම් ප්‍රබල ඉල්ලීමක් හමුවේ අවලංගු කොට ඔවුන්ට ලබා දීම තරයේ ප්‍රතික්ෂේප කිරීම මේ ආරවුලට හේතු වූ බව දන්නෝ දනිති. එම ‘කෝන්තරය’ පිරිමසා ගැනීමේ අවසන් ප්‍රතිඵලය වසර පහළොවක් තිස්සේ රටක් භුක්ති විඳ ඇත.

එමිරේට්ස් සමඟ තිබූ ගිවිසුම අවසන් වීමෙන් පසු සභාපති ධුරයට නිශාන්ත වික්‍රමසිංහ

එමිරේට්ස් සමඟ වූ ගිවිසුම 2008 වසරින් පසුව දීර්ඝ නොකිරීම නිසා එහි සියලු කොටස් ශ්‍රී ලංකා රජය සතු විය. ඉන්පසු එහි සභාපතිවරයා ලෙස රටේ ප්‍රධානම දේශපාලකයකුගේ බිරියගේ ඥාතියකු වන නිශාන්ත වික්‍රමසිංහ පත්කරනු ලැබීය. ඔවුන්ට හිතැති ප්‍රධාන විධායක නිලධාරියකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කෙරුණි.

වර්ෂ 2008 එමිරේට්ස් සමාගම සමඟ තිබූ සියලු ගිවිසුම් අවසන් කර ශ්‍රී ලංකා රජයේ යටතේ 2009දී නව පරිපාලනය විසින් මෙහෙයුම් ආරම්භ කළ අතර එතැන් සිට සිදුවී ඇති දූෂණ, අක්‍රමිකතාවල කෙළවරක් නොවී ය. රජයට පවරාගත් පළමු වසරේදීම එනම්, 2009 වසරේ වාර්තා කළ පාඩුව රුපියල් මිලියන 9996කි. (රුපියල් කෝටි 999 කි) ඊට පෙර වසරේ රුපියල් මිලියන 4899ක ශුද්ධ ලාභයක් ලැබූ ශ්‍රීලන්කන් ගුවන් සේවය නව අධ්‍යක්ෂ මණ්ඩල පරිපාලනය යටතේ පළමු වසරේම රුපියල් මිලියන 9996ක අලාභයක් ලැබීම හාස්‍යජනකය.

වර්ෂ 2009 සිට 2023 දක්වා අඛණ්ඩව වසර 15ක් තුළ ලැබූ අලාභයේ එකතුව රුපියල් මිලියන 537,430 කි.(රුපියල් කෝටි පනස් තුන් දහස් හැත්තෑ හතර ලක්ෂ තිස් දහසකි) ඒ ඒ වර්ෂවල ලැබූ පාඩුව මෙහි වෙනම වගුවකින් දක්වා ඇත.

මේසා විශාල අලාභයක් ලැබීමට හේතු වූ කරුණු සෙවීම සඳහා 2015 බලයට පත්වූ රජය පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ ජේ. සී. වැලිඅමුණ කමිටු වාර්තාවලට සිදු වූයේ කුමක්ද යන්න තවමත් නොදනී. එම කොමිෂන් සභා වාර්තාවේ සහ කමිටුවේ වාර්තාවලින් හෙළිදරව් වූ කරුණු රටේ ජනතාව නොදනී. එහෙත් ඉහත අලාභය පියවා ගන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි.

රුපියල් මිලියන 60297ක පාඩුවක් දරමින් 2013දී ඩොලර් බිලියන 2.8ක තවත් ගනුදෙනුවකට අර ඇදීම

වර්ෂ 2013 වන විට වසර පහක් තුළ රුපියල් මිලියන 60297ක ලාභයක් වාර්තා කර තිබියදී A 330 එයාර් බස් 06ක් සහ A 350 එයාර් බස් 04ක් මිලදී ගැනීමට ගිවිස ගත්තේය. මේ ගනුදෙනුව පසුකාලීනව දේශීය සහ විදේශීය වශයෙන් මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

2015 බලයට පත්වූ යහපාලන ආණ්ඩුව එයාර් බස් 10ක් මිලට ගැනීම රටට දැරිය නොහැකි එකක් බව ප්‍රකාශ කරමින් එය අවලංගු කිරීමට යුහුසුළු විය. ප්‍රංශයේ එයාර් බස් සමාගම සමඟ ගිවිසුම්ගතව සිටි එම ගනුදෙනුව අවසන් කිරීමට වන්දි මුදලක් ගෙවීමට ද සිදු විය.

රටට ඔරොත්තු නොදෙන ගනුදෙනුවක් තවත් රජයක් බලයට පත්ව අවලංගු කිරීමට යෑමේදී හැකි උපරිමයෙන් කේවල් කර අවම වන්දි මුදලක් ගෙවා ගනුදෙනුව අවසන් කර ගැනීම කළ යුතුය. එහෙත් ඔවුන් නියම කරන වන්දි මුදල වැඩි කර එතැනිනුත් කොටසක් ඩැහැ ගැනීමට දත කන්නේ නම්, ඔවුන් කවර ජාතියේ පාලකයන්ද ? ඩොලර් මිලියන 6.8ක් වන්දියකින් අවසන් කරගත හැකිව තිබු ගනුදෙනුවක් අවසන් කර ගෙන ඇත්තේ ඩොලර් මිලියන 9.8ක් වැය කරමිනි.

බ්‍රිතාන්‍ය විමර්ශකයන් හෙළිකර ගත් ගුවන් බස් දහයේ කොමිස් කුට්ටිය

ප්‍රංශයේ එයාර් බස් ඉන්ඩස්ට්‍රීස් ආයතනය විසින් එයාර් බස් අලෙවි කිරීමේ ගනුදෙනුවලදී කොමිස් ගෙවීම් පිළිබද කිසියම් ගැටලුකාරී ගනුදෙනුවක් පිළිබඳව බ්‍රිතාන්‍ය අධිකරණයක් මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි. මේ විමර්ශනය ශ්‍රී ලංකාවට ගුවන් බස් අලෙවි කිරීම පිළිබද විමර්ශනයක් නොවුණත් පොදුවේ කොමිස් මුදල් ගෙවීම් පිළිබඳ විමර්ශනයක් වූ හෙයින් ශ්‍රී ලංකාවට කොමිස් ගෙවීම් පිළිබඳ තොරතුරු ද හෙළිදරව් විය.

2013දී ගුවන් බස් 10ක් මිලට ගැනීමේ ඩොලර් බිලියන 2.8 ගනුදෙනුවේදී ඩොලර් මිලියන 16.8 කොමිස් මුදලක් ගෙවීමට එකඟ වී තිබේ. ගනුදෙනුව සම්පූර්ණයෙන්ම අවසන් නොවීම නිසා එකඟ වූ කොමිස් මුදලින් ඩොලර් මිලියන 2ක කොමිස් අත්තිකාරමක් ගෙවීම සිදු කර තිබිණි.

ගිණුමෙන් ගිණුමට පියඹා ගිය කොමිස් මුදල

බ්‍රිතාන්‍ය විමර්ශකයන් විසින් අදාළ කොමිස් ගනුදෙනුව හෙළිදරව් කළ පසු ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විමර්ශන ආරම්භ කළේය. ඒ අනුව එවකට ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ඉහළ විධායක නිලධාරියකුත් ඔහුගේ බිරියත් අත්අඩංගුවට ගනු ලැබීය.

හෙළිදරව් වූ තොරතුරු අනුව ඩොලර් මිලියන 16.8ක සම්පූර්ණ කොමිස් මුදලින් අත්තිකාරමක් වූ ඩොලර් මිලියන 2ක මුදල ඉහත සැකකරුවන්ගේ සිට ගිණුම් ගණනාවක් ඔස්සේ ඉදිරියට ගමන් කර තිබිණි.

පළමුව ඉහළ විධායක නිලධාරියකුගේ බිරියගේ බෲනායි ගිණුමකටත් ඉන්පසු ඇයගේම සිංගප්පූරුවේ ගිණුමකටත් නැවත ඇයගේ ස්වාමිපුරුෂයාගේ ඔස්ට්‍රේලියාවේ ගිණුමකටත් ගමන් කර තිබේ. ඉන්පසුව එම මුදල සිංගප්පූරුවේ ඇති වෙනත් පුද්ගලයකුගේ ගිණුමකට බැරවී තිබේ. ඉන්පසු එම ගිණුමෙන් අදාළ මුදල ශ්‍රී ලංකාවේ ‘ඇග්‍රෝ’ නමැති සමාගමක ගිණුමකට බැර වී ඇත.

මීට පෙර කොළඹ කොටුවේ වටිනා ඉඩමක් මිලට ගත් සමාගම රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනයට ලබාදුන්නේ යැයි කියූ රුපියල් මිලියන 70ක මුදල බැරකර තිබූ ගිණුම් හිමියා ද, සිංගප්පූරුවේ ගිණුම් හිමියා ද එක් අයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරගෙන තිබිණි. අත්අඩංගුවට ගත් විධායක නිලධාරියා සහ බිරිය පසුව ඇප මත නිදහස් වූ අතර එකී පරීක්ෂණවලට කුමක් සිදු වූයේ ද නොදනී.

අලුත් ආණ්ඩුවට ‘ශ්‍රීලන්කන්’ ගොඩදැමිය හැකි ද ?

2023 වසර අවසන් වන විට ශ්‍රීලන්කන් ගුවන් සේවය ලබා ඇති සමස්ත පාඩුව රුපියල් කෝටි 54, 000ට ඉතාම ආසන්න වී තිබිණි. 2024 වසරේ පාඩුව එළි දැක්වීමට තවත් දෙමසක් තිබේ. 2023 ලබා ඇති රුපියල් මිලියන 71,306ක අලාභයට අනුව දිනක පාඩුව ආසන්න වශයෙන් රුපියල් කෝටි 20කි.

පසුගිය රජය ශ්‍රීලන්කන් ගුවන් සමාගම විකුණා දැමීමට තීරණය කර තිබූ අතර, වත්මන් ජනපතිවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල අමාත්‍ය මණ්ඩලය එකී තීරණය අවලංගු කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම ඊට නව සභාපතිවරයකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත්කර තිබේ. දිනකට රුපියල් කෝටි 20කට ආසන්න පාඩුවක් ලබන ශ්‍රීලන්කන් ගුවන් සේවය ගොඩ ගැනීමට අලුත් පරිපාලනයට හැකිවනු ඇද්ද?

ගෙවුණු වසර 15ක් තුළ ලබා ඇති රුපියල් කෝටි 54,000කට ආසන්න අලාභයට වන්දි ගෙවා ඇති පොදු මහජනතාවගෙන් වැඩි පිරිසක් ඉතා ආසන්නව සජීවීව මෙවන් ගුවන් යානයක් දැක ඇති පිරිස් ද නොවේ. තවදුරටත් එම ජනතාවට මේ ‘සුදු අලියා’ නඩත්තු කිරීමට ඉඩ නොතැබීම අලුත් ආණ්ඩුවේ ද වගකීම විය යුතුය.

පෝද්දල ජයන්ත

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division