පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කරගෙන යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩ දෙන ලෙසත් දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඊට මැදිහත් නොවන ලෙසත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට ප්‍රකාශ කර ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළ රහස්‍ය වාර්තා කිහිපයක්, අතිශය රහස්‍ය ඇමුණුම් ද සමඟ තමා සතු බවත් නව රජය එකී වාර්තා ජනගත නොකරන්නේ නම්, දින හතක් තුළ තමා එම වාර්තා හෙළි කරන බවට උදය ගම්මන්පිල පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්විමන් සිරිල් ගාමිණී පියතුමා පවසන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කමිටුවක් පත් කරන ලෙස කතෝලික සභාව හිටපු ජනාධිපතිවරයාගෙන් කිසිම අවස්ථාවක ඉල්ලා නැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රසිද්ධියට පත් කිරීමට යන වාර්තාව සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් කතෝලික සභාවට නැති බවත්ය.
එබැවින් පාස්කු ප්‍රහාර ඛේදවාචකයෙන් දේශපාලන වාසි ගැනීමට නොයන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන කටයුතු කරගෙන යාමට ඉඩ දී, මැද්දට පැන බාධා නොකරන ලෙසද සිරිල් ගාමිණී පියතුමා ඔහුගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව විකාශය කළ වාර්තා වැඩ සටහනෙන් ඉදිරිපත් කර තිබුණු චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබුණද එම විමර්ශනයට අදාළ වාර්තාව මේ දක්වා ප්‍රසිද්ධියට පත් නොවීය. එම වාර්තාව අතුරුදන්ව ඇතැයි පාර්ශ්ව කිහිපයක් චෝදනා කරති.
සුරේකා ඉලංකෝන්