Home » ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා

ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා

ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය දම්මික පටබැඳි

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනවා. විපක්ෂය ශක්තිමත් වුණත් නැතත් අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා

මෙතෙක් ඔබේ දේශපාලන ගමන ගැන පැහැදිලි කළහොත්?

මම පාසල් ශිෂ්‍යයෙක් ලෙස වාමාශික ශිෂ්‍යයෙක්. එසේම කොළඹ වෛද්‍ය පීඨයේ සිටින කාලයේ අඛණ්ඩව වාමාශික දේශපාලනයේ නිරත වුණා. වෛද්‍යවරයකු ලෙස සේවය කරන කාලයෙදිත් ක්‍රියාකාරි දේශපාලනය කළා. අනතුරුව දේශපාලන කටයුතු නිසා රැකියාවෙන් ඉවත් වෙලා ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් ලෙස දේශපාලනයේ නිරත වුණා. ඉන් අනතුරුව ජාජබ ක්‍රියාධරයකු ලෙස කටයුතු කරමින් එහි ජාජබ ජාතික විධායක සභිකයකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ සංවිධායක හැටියටත් කටයුතු කරනවා. ඉදිරියේදී මේ පළාතේ ජනතාවට තියෙන ගැටලු සම්බන්ධයෙන් ස්ථිර විසඳුම් ලබාදීමට කටයුතු කරනවා.

මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ සූදානම කෙබඳුද?

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයෝ දොළොස් දෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අය ඉතා හොඳ දක්ෂ අවංක හැකියාවලින් සම්පූර්ණ උගත් බුද්ධිමත් වෘත්තිකයන් පිරිසක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ විශ්‍රාමික රණවිරුවෙක් වන මේජර් ජෙනරල් සිසිර හේරත්, නීතිඥවරියක්, විදුහල්පතිවරුන්, ඉජිනේරු, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් මේ පිරිස සමන්විතයි. පූර්ණකාලීනව දේශපාලනයේ නිතර වෙලා සමාජයේ විවිධ පැතිකඩ නියෝජනය කරන පිරිසක් ඉන්නවා. සමාජයේ විවිධ පැතිකඩ නියෝජනය කරන නියෝජිතයන් ඉන්නවා. කාලයක් පුරා දේශපාලනයේ නිරත වුණ දුෂ්කර අවදිවලදී පවා අපි සමඟ හිටපු හොඳ පිරිසක් පූර්ණකාලීන දේශපාලනයේ ඉන්නවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ අනුර කුමාර සහෝදරයා 247,179ක් ඡන්ද දිනා ගත්තා. 61,249ක වැඩි ජන්දයෙන් ඔහු ජයග්‍රහණය කරලා තියෙනවා. විශේෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසන දෙකක් හැරුණම අනෙක් සියලු ආසන අපි ජයග්‍රහණය කළා.

නිතර ඔබේ පක්ෂයේ දේශපාලන වේදිකාවෙන් උගත්, බුද්ධිමත් සහ වෘත්තිකයන් මහමැතිවරණයට ඉදිරිපත් කරන බවයි පවසන්නේ. මේ අය ජනතාව අඳුනන්නේ නැහැ නේද?

සමස්තයක් ලෙස ගත්විට අපි එවැනි තෝරා ගැනීමක් කරලා තියෙනවා. අපි දේශපාලකයෝ ලෙස කාලයක් පුරා මෙරටේ දැක්කේ සහ දේශපාලන සංස්කෘතිය විසින් දේශපාලනයට කැඳවාගෙන ආවේ බලලෝභි වංචා දුෂණ සිදුකරන, මහජන මුදල් මංකොල්ලකන, නිති විරෝධී කටයුතුවල යෙදුණ පිරිසක්. මේ දේශපාලඥයන් පසුගිය කාලය පුරා මේ රටට කරපු හානිය අපි දැක්කා. අපේ රට මේ කඩාවැටීමේ තත්ත්වයට පත්කළේ ඒ අය විසින්. මේ රටට ආදරය කරන දූදරුවන්ගේ අනාගතය ගැන හිතන පිරිස ඒ දේශපාලනයට අනුගත වුණේ නැහැ. වංචා දූෂණ කරන මැර බලය රජ කරවන ලාභ වරදාන පසුපස හඹායාමේ දේශපාලය ප්‍රතික්ෂේප කළා. ඒ කණ්ඩායම අතර හිටියේ බොහෝ විට උගත් බුද්ධිමත් පිරිසයි. ඒ නිසා ඔවුන් මේ වැරදි දේශපාලන සංස්කෘතියට එරෙහිව කඳවුරක් සමඟ කාලයක් තිස්සේ කටයුතු කළා. වැරදි දේශපාලන කඳවුර පරාජයට පත්වෙද්දි දැන් නව දේශපාලන කඳවුර නියෝජනය කරන්නන් බවට ඔවුන් නිරායාසයෙන් පත්වුණා. ඒනිසා එයයි මේ පසුපස තිබුණ හේතුව. මෙවර ජනතාව ජනාධිපතිවරණයේදි පවුල් පාලනය සහ පොරොන්දුවලට රැවටුණේ නැහැ. එයයි මේ නව වෙනස.

පවුල් දේශපාලනය සහ වරප්‍රසාද, දීමනාවලට මෙවර මහමැතිවරණයේදී ජනතාව රැවටෙන්නේ නැහැ කියලා ඔබ කියන්නේ කොහොමද?

විශේෂයෙන් එය ජනාධිපතිවරණයේදි ඉතා පැහැදිලි වුණා. මේ රට අලුත් තැනකට ගෙනියන්න අවශ්‍යයි කියලා ජනතාව ඒ මතයේ හිටියා. මින් පෙර අපේ රටේ තිබුණ මතය වෙන්නේ දේශපාලනයේ දි ඡන්ද දිනාගන්න නම් මනාප දිනා ගන්න නම් බොරු කියන්න ඕන බඩු බෙදන්න අවශ්‍යයි. මැතිවරණයෙන් පසුව දීමනා ගැන පොරොන්දු දෙන්න අවශ්‍යයි. කටඅවුට් දාන්න අවශ්‍යයි කියලා. මේක ජනතාවට එපා වෙලා තිබුණේ. මේ වැරදි දේශපාලන සංස්කෘතියට එරෙහිව කාලයක් තිස්සේ ජනතාව තුළ විරො­්ධයක් මෝදු වෙමින් ආවා. මෙයට විරෝධය යම් තරමකට පෙන්වූ අවස්ථාවක් ලෙස මෙවර ජනාධිපති මැතිවරණයේ අනුර සහෝදරයාගේ ජයග්‍රහණය හඳුනා ගන්න පුළුවන්. වැඩිපුරම කටවුට් දාපු කෙනා නොවෙයි. අඩුවෙන් පාවිච්චි කරපු කෙනො පත්වුණේ. ඒත් ඒ අය පරණ මඟම ගියා. මේ වෙනස ගෝල්ෆේස් අරගලයෙන් මතු වුණා. දැන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය ලෙස දකින පොරොන්දු දෙන දේශපාලන සංස්කෘතියට ඔවුන් විරෝධය පෑවා. ජනතාවට වඩා ඉහළින් ඉන්න අය නොවෙයි සැබෑ ලෙසම ජනතාව තුළ ඉන්න ප්‍රතිපත්ති රකින වංචා දුෂණයට එරෙහි වෙන දේශපාලඥයන්ට තමයි ජනතාව දැන් මනාපය දක්වන්නේ. මෙවර මහමැතිවරණයෙදි තහවුරු වෙන්නෙත් එයයි.

ඇතැම් පළාත්වලට ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ආමන්ත්‍රණය විම ප්‍රමාණවත් නැහැ කිව්වොත්..

එහි යම් සත්‍යතාවක් තියෙනවා. වතුකරයේ ජනතාව අතර අපේ මතවාදය පතුරවද්දි අපේ සාමාන්‍ය සමාජයේ මුහුණ දෙන ගැටලුවලට වඩා අපට මුහුණ දෙන්න සිදුවුණ කාලයක්. ඒ තුළ තහවුරු වෙලා තියන දේශපාලන මතවාදය සහ සංස්කෘතිය සාමාන්‍ය ජනසමාජය වඩා විශේෂයෙන්ම දෙමළ දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති විසින් ඔවුන්ව ඒ දේශපාලන සංස්කෘතිය තුළ සිරකර තබාගෙන සිටිනවා. ඔවුන්ට නිදහසේ තීරණය ලබාගැනීමේ අවකාශය අහිමි කරලා තියෙනවා. ඒ කරුණු කාරණා නිසයි අනෙකුත් ජනකොටස්වලට සාපේක්ෂව වතුකරයේ ජනතාවට අඩු මැදිහත් වීමක් කර තිබෙන්නේ.

මෙවර ඒ පළාත් දිනාගන්න පළාත්ම මට්ටමින් සූදානම කොයිවගේද?

අනුර කුමාර සහෝදරයාගේ ජයග්‍රහණයෙන් පසුව මුළු රටේම වෙනස්කම් වෙලා තියෙනවා. අනුර කුමාර සහෝදරයාගේ ජයග්‍රහණයෙන් පසුව සාධනීය වෙනස්කම් රැසක් සිදුකරන්න, ජාජබ කටයුතු කරලා තියෙනවා. නාස්තිය අඩු කරලා තියෙනවා. සාමකාමි ආකාරයට සමරලා තියෙනවා. ජනතාව මේවනවිටත් පැහැදිලිවම අප සමඟ ඉන්නවා. ඒවගෙම තනතුරුවලට තෝරාපත් කරද්දි විනිවිඳභාවයක් ඇති පුද්ගලයන් පත් කරලා තියෙන්නේ. ජනාධිපතිවරවරයා තනතුර භාරගන්නා අවස්ථාවේ සිට මේ දක්වා පූර්වාදර්ශයක් දීලා තියෙනවා. ඒ අවස්ථාවේ සිට ඔවුන් පසුතැවීමක ඉන්නේ ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට දායක නොවීම ගැන. ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඒ වරද නිවැරදි කරගෙන ඉදිරියට යන්න අවශ්‍ය බව ඒ අය දන්නවා. ඒ ප්‍රවණතාව වතුකරයේ ජනතාවත් පාර්ලිමේන්තු මැතිවරණයට කැමැති දේශපාලන තීරණයක් ගැනීමට බාධාවත් කිසියම් දුරකට දැන් දුර්වල වෙලා තියෙනවා. ඒ නිසා දැන් ඔවුන්ට නිදහසක් ලැබී තියෙනවා. මෙවර මැතිවරණයේදි ජාජබ ජනාධිපතිවරණයට වඩා වැඩි ජන්ද ප්‍රමාණයක් ලබා දේවි කියලා හිතනවා.

සජබ අභ්‍යන්තරික අර්බුදය සහ අනෙකුත් දේශපාලන පක්ෂ බිඳවැටීමත් සමඟ එහි දේශපාලනික වාසිය ජාජබට ලැබී තියෙනවාද?

වාසියකට වඩා ජනතාව තේරුම් ගැනීමක් තියෙනවා. අනුර සහෝදරයා ජනාධිපතිවරයා බවට පත්වීමත් සමඟ අනෙක් පක්ෂ පෙර නොවූ තරම් බිඳවැටිලා තියෙනවා. ප්‍රධාන හේතුව තමයි බිම්මට්ටමේ සාමාජිකයෝ ඔවුන් ප්‍රතිකේෂ කරලා තියෙනවා සහ අත්හැර තියෙනවා. මෙතෙක් කල් ගියේ වැරදි දේශපාලන සංස්කෘතියක්. ඒවගේම වැරදි දේශපාලනික ව්‍යාපාරයන් පසුපස බව ජනතාව තේරුම් අරගෙන තියෙනවා. ඔවුන් ඉතා වේගයෙන් මීට කලින් ඔවුන් හිටපු දේශපාලන පක්ෂ දේශපාලන ව්‍යාපාර අතහරිමින් ඉන්නවා. දැන් ඒ දේශපාලන පක්ෂවල ජනතාව අපි වටා රොක්වෙනවා. බිම් මට්ටමේ දේශපාලනය කිරීමට ඔවුන්ට නොහැකි වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන් මේ අර්බුදය හඳුනා ගෙන බල ලෝභී දේශපාලඥයන්ගෙන් ඉවත්වෙලා තියෙනවා.

ප්‍රබල විපක්ෂයක් නොමැතිව විම ප්‍රජාතන්ත්‍රවාදි රටකට අහිතකර දෙයක්. ඉදිරියේදී ප්‍රබල විපක්ෂයක් නැතිවීමේ අවධානමක් තියෙනවා නේද?

විපක්ෂයේ දේශපාලන පක්ෂවල තේමාව කුමක්ද කියලා ඒ අය දන්නේ නැහැ. ඒ අය යන්නේ කොහෙද කියලා ඒ අයට අරමුණක් නැහැ. මම කියන්නේ ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාමාර්ගවලට සහය දැක්විය යුතුයි. ඒ සඳහා ප්‍රබල විපක්ෂයක් සැකසිය යුතුයි. මේ යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න නම් ජනාධිපතිවරයාගේ පක්ෂයට ඡන්දය දෙන්න කියලා අපි කියන්නේ. අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරනවා. විපක්ෂය ශක්තිමත් වුණත් නැතත් අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. මේ විපක්ෂයට අද වනවිට ජනතාවට ඉදිරිපත් කරන්න සටන් පාඨයක් පවා අහිමි වෙලා තියෙනවා. ඒනිසා මේ තත්ත්වය ජාජබ ජයග්‍රහණයට අතිශයින්ම හොඳ විදිහට බලපානවා. ඒ අනුව ඒ වෙනස මේ රටේ අනාගත පරපුරට එය වාසි සහගතයි.

සාම්ප්‍රදායික දේශපාලන බලකඳවුරුවලින් ජනතාව ඉවත් වීමේ ප්‍රවණතාව ඔබ දකින්නේ කොහොමද?

ජනතාව පසුගිය කාලයේ මේ ප්‍රවාහය තුළ අතරමං වෙලා තියෙනවා. ඒ ගොල්ලෝ කිව්වා 2020 මහ මැතිවරණයේ දි රනිල් පරාද කරන්න ඒ අයට ඡන්දය දෙන්න කියලා. ඒ අයට විරුද්ධව ඡන්දය පෙළ ගස්වපු ජනතාවගේ වරම අරගෙන ඒ අය කළේ රනිල්ව බලයට පත් කරපු එකයි. එහිදි ජනතාව තේරුම් ගත්තා පාට දෙකක් වුණාට මේ අය එකම කට්ටියක් කියලා. අවසානයේදි ජනතාවට තීරණය කරන්න වුණා තමන් විරුද්ධව ඡන්ද දීපු කෙනා බලයට පත්කරපු ඒ නායකයන්ව සහ අසීමිත බලතල භුක්ති වින්ඳ අය නැවත බලයට ගේනවාද කියන කරුණ. ඒ අනුව ජනතාව මේ දේශපාලඥයන් සියලුදෙනාව ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තා. ඒ පක්ෂ අද වෙද්දි බිමටම සමතලා වෙලා ගිහින් තියෙනවා.

විධායක ජනාධිපති ක්‍රමය අහොසි කරන්න යනවා නව පාර්ලිමේන්තු මැතිවරණයක් හඳුන්වා දෙන්නේ කවදාද?

ඒදේවල් සිදු කරන දින වකවානුවක් මේ මොහොතේ කියන්න බැහැ. පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් අපිට අවශ්‍යයි. ඒ ශක්තිමත් බලය ජනතාව අපිට ලබා දෙයි කියා අපි විශ්වාස කරනවා. ඒ බලයත් සමඟ අපිට පුළුවන් ඉතා ඉක්මනින් ව්‍යවස්ථාමය වෙනස කරන්න. ඒ වෙනස කරද්දි අපි අනුගමනය කරන ක්‍රියාමාර්ගය වෙනස්. අපි ව්‍යවස්ථාව කෙටුම්පත් කළ යුතුයි. ඒ තුළ සංවාදයට බඳුන් කළ යුතුයි. එය අධිකරණයට යොමු කළ යුතුයි. විශේෂයෙන් බහුතර ජනමත විචාරණයකින්ද කියන දේ අපිට තීන්දු කරන්න වෙනවා. ඒ අනුව මේ ක්‍රියාවලිය තුළ අපිට මේ වෙනස කරන්න වෙන්නේ. කොහොම වුණත් අපිට ජනවරම ලබා දීලා තියෙන කාලවකවානුව තුළ හැකි හැම අවස්ථාවකදීම මේ වෙනස කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයා බවට පත්වුණොත් ජනතාව වෙනුවෙන් ඉදිරි සැලසුම් මොනවාද?

කෑගල්ල දිස්ත්‍රික්කය අපේ රටේ 2016 වනවිට දුප්පත්ම දිස්ත්‍රික්ක හතරින් එකක් බවට මේ හිටපු පාලනය විසින් පත්කරලා තියෙනවා. 2016 අපේ රටේ යුද්ධයක් තිබුණේ නැහැ. යුද්ධය ඉවර වෙලා අවුරුදු 7ක් යනවිටත් කෑගල්ල දිස්ත්‍රික්කය ලංකාවේ දිළිඳුම දිස්ත්‍රික්ක 4න් එකක් වුණා. නමුත් කෑගල්ල කියන්නේ එහෙම පත් විය යුතු තැනක් නොවෙයි. ලෝකයේ හොඳම මිනිරන් නිධිය තියන, ලංකාවේ සංචාරක කර්මාන්තය සඳහා ඉතාම හොඳ මධ්‍යස්ථාන තියෙන භූමිය. ඒ වගේ ම කරාබු, ගම්මිරිස් වැනි අපනයන භෝග වගාවන්වලට සුදුසු පසක් දේශගුණයක් තියෙන භූමියක්. ඒගේ හොඳ මානව සම්පතක් තියෙන භූමියක්. කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන දරිද්‍රතාව නැති කරලා කෑගල්ල දිස්ත්‍රික්කය පොහොසත් තැනක් බවට පත් කිරීම මගේ අරමුණ. අපි මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දීමට, එසේම කෑගල්ල ඩොලර් උපයන තැනක් බවට පත් කිරීමට කටයුතු කරනවා. ඩොලර් උපයන ප්‍රතිලාභ ලබන තැනක් බවට පත් කරන්නයි අපි උත්සාහ කරන්නේ. දේශපාලන මැර බලයන් ඉවත් කරලා නිදහසේ ජීවත් වෙන පිරිසක් බවට පත් කිරීම අනෙක් අරමුණයි. අද වෙද්දිත් ඒ මැරබලය දුර්වල වෙලා තියෙනවා. හිටපු දේශපාලන නායකයෝ විසින් පීඩිත කරලා තිබුණ ව්‍යවසායන්, ව්‍යාපාරයන් නැවත නඟා සිටුවීමට කටයුතු කරනවා.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division