බොරු කතා කියන්න මම සූදානම් නැහැ. මොකද ඒ චරිතය වෙන්න මට බැහැ
මහ මැතිවරණයකට ඉදිරිපත් වීම ඔබේ මුල්ම අත්දැකීම. කොහොමද ඊට මුහුණ දෙන්නේ?
මම සාමාන්‍ය පවුලක කෙනෙක්. මගේ පවුලේ ඉන්නේ රාජ්‍ය නිලධාරීන්. දහම් පාසල හා ගමේ පරිසරය තුළ ගමේ පාසලෙන් අධ්‍යාපනය හදාරනවා. පසුව මාදම්පේ පාසලට ගිහින් ශිෂ්‍යත්වය සමත් වී උසස් පෙළට යන්නේ මාදම්පේ සේනානායක ජාතික පාසලට. පසුව උසස් පෙළ කලා අංශයේ වැඩිම ප්‍රතිඵලය ලබා ගත්තේ මම. ඒ වසරේදි විශ්වවිද්‍යාලයට තේරුණු එකම ශිෂ්‍යාව වුණේ මම. පසුව නීති පීඨයේ ඉන්න කාලයේදි තමයි සනත් නිශාන්ත මගේ මහත්තයා හමුවන්නේ. මම දේශපාලනය හඳුනා ගන්නේ එතැන් සිටයි. දැන් මට මේක අලුත්ම අත්දැකීමක්. නමුත් මම පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීව දේශපාලන වැඩ කටයුතු සිදු කළා. එසේ වුණාට මැතිවරණයකට තරග කරන්න කවමදාවත් මට අදහසක් තිබුණේ නැහැ. මොකද මම දරුවන් හතර දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඇමැතිතුමාගේ වියෝවෙන් පස්සේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එතුමා ලබාදුන් දැවැන්ත ශක්තිය හා මම කරන සේවය නිසා පක්ෂය විසින් මට සහභාගි වන ලෙස ඉල්ලීමක් කළා. පුත්තලම තුළ සනත් නිශාන්ත කියන්නේ සජීවි චරිතයක්. ඒ නිසා ජනතාවගෙනුත් දැඩි ඉල්ලීමක් තිබුණා. මේ කරුණු දෙක නිසා තමයි මම නාම යෝජනා භාර දුන්නේ.
ස්වාමියාගේ අඩුව පුරවන්න ඔබට හැකිවෙතැයි විශ්වාස කරනවාද…?
බොරු කතා කියන්න මම සූදානම් නැහැ. මොකද ඒ චරිතය වෙන්න මට බැහැ. නමුත් ජනතාව වෙනුවෙන් යම් වෙනස් දේශපාලනික ක්‍රියාදාමයන්වලට එකතු වෙන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ ලැරින් පෙරේරා මැතිනියගෙන් පස්සේ පාර්ලිමේන්තුවේ පුත්තලම කාන්තා නියෝජනයක් නැහැ. දිස්ත්‍රික්කයේ කාන්තාවෝ මා ගැන දන්නවා. මට වැඩිපුරම ආදරය කරන්නේ කාන්තාවෝ. සහෝදරියක් ලෙස බිරියක් ලෙස ඔවුන් මාව ඉතා ආදරයෙන් ළං කර ගත්තා. මේ තුළ දේශපාලන ක්‍රියාකාරකම මම වෙනස් මඟකට ක්‍රියාත්මක කරයි. සනත් නිශාන්ත වෙන්න බැරි වුණත් ඔහු කරගෙන ගිය වැඩපිළිවෙළට අසාධාරණයක් නොවෙන්න නව ආරක වැඩ කොටසක් කරන්න හැකි වෙයි.
පසුගිය කාලයේ ඡන්ද දායකයන්ගේ හැසිරීම වෙනස් බව අපි දැක්කා. අනුකම්පාවට ඡන්දය දෙන අපේක්ෂකයන් දැන් නැහැ?
පසුගිය ජනාධිපතිවරණයේදි ජනතාව යම් පිළිතුරක් දේශපාලන අධිකාරියට ලබා දුන්නා. නමුත් බලය සහිත කණ්ඩායම බලය ගත් ආකාරය හෘද සාක්ෂියට අවනතව වගකිව යුතුයි. ජනතාවගේ තීරණයට අපි හිස නමනවා. නමුත් මම විස්වාස කරන්නේ පුත්තලම දිස්ත්‍රීක්කයේ ජනතාව කෘතගුණ දක්වන පිරිසක්. ඔවුන් සනත් නිශාන්ත කළ සේවාව අපරිමිතයි කියා විශ්වාස කරන පිරිසක්. එතුමා වෙනුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවට කෘතගුණ දැක්වීමට අවශ්‍ය නම් මේ මැතිවරණයේදී අනිවාර්යයෙන් එය ඔවුන් දක්වන බවට මට විශ්වාසයි. එසේම කෘතගුණය සඳහාම නොවන පිරිසකුත් ඡන්දය අපිට පාවිච්චි කරයි කියලා මම විශ්වාස කරනවා. ජනතාවගේ කුමන තීන්දුව වුවත් අපි භාර ගන්න සූදානම්.
ඔබ නියෝජනය කරන ප්‍රබල පක්ෂය පසුගිය කාලයේ 3%ක ඡන්ද පදනමකට වැටුණා. පොහොට්ටු ඡන්ද මාලිමාවට ගියා. හිතනවද මෙවර ජයග්‍රහණය කළ හැකි වෙයි කියා?
ජනාධිපතිවරණයේදි ලැබුණු තැනට වඩා වෙනස් තැනකට මෙවර පුත්තලම දිස්ත්‍රික්කය පැමිණේවි යැයි මම විශ්වාස කරනවා. පක්ෂයේ බෙදීම් හා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් තුළයි ඡන්ද පදනම වෙනස් වුණේ. ඒ වෙද්දි ජාතික ජනබලවේගය අරගලයෙන් පසු යම් මතවාදයක් නිර්මාණය කරමින් හොඳින් මැතිවරණයට මුහුණ දුන්නා. අපෙන් යම් අතපසුවීම් සිදු වුණා. නමුත් මෙවන් තත්ත්වයත් තිබුණත් ජනතා ප්‍රසාදය වැඩියෙන්ම ලබාගත් පක්ෂයකින් තමයි මම මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ.
පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනයට එක් වන්නට ඔබට හැකි වුණොත්, මොනවද කාන්තාවන් වෙනුවෙන් කරන්නේ?
පාර්ලිමේන්තුව තුළ කාන්තා හඬ ඉතාමත්ම ප්‍රබලයි. අපිට දැවැන්ත කැබිනට්, රාජ්‍ය ඇමැතිවරියන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් හිටියා. මේ පිරිස තුළ පෙනෙන සැබෑ වෙනස්කම් කළ අය ගැන අපි හොඳින් දන්නවා. මන්ත්‍රී ධුර ආභරණයක් කළ අය කවුද යන්නත් අපි දන්නවා. මට ආභරණ අවශ්‍ය වන්නේ නැහැ. මම වෘත්තිය නීතිඥවරියක්. අම්මා කෙනෙක්. තවදුරටත් අධ්‍යාපනය හදාරන කෙනෙක්. අපි බලමු. අපිට ජනතාවගේ කැමැත්ත ලැබුණොත් අපිට කාන්තාවන් වෙනුවෙන් හඬක් නැඟිය හැකියි.
සුභාෂිණි ජයරත්න