තවම නොදනිමි ප්‍රේමියේ
ප්‍රේමණීයම සිනා අරගෙන
හමුවෙලා එක වතාවක්
නිමා කළ හැටි කියා දෙනවද
හැඟුම් අහුරක කතාවක්…
ඉවුරු රිදවා ගලන පෙම් දිය
දහර තවමත් මුණගැසේ
මතකයේ රළු බොරලු කැට
හද ඉවුරු කෙලවර ගොඩගැසේ…
කිසිම දවසක බැස නොගිය සඳ
අහස තුළමයි සැඟවුණේ
නුඹේ එළියට රැවටෙනා හැටි
තවම නොදනිම් ප්‍රේමියේ…
පද රචනය – වාසනා එදිරිආරච්චි
ගායනය – කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය – විශාරද දර්ශන වික්‍රමතුංග
පාසල් වියේ සිටම ඇය මගේ හොඳම යෙහෙළිය. දැන් දෙරටක සිටියද අපි අපි ගැන කතාවෙන්න කොහොම හරි වෙලාව හොයා ගන්නවා.
මට ළඟදිත් එයාව මතක් වුණා… ඇත්තටම එයා දැන් මොකද කරන්නේ. ඇය එහෙම ඇහුවේ ඇගේ පාසල් වියේ සෙනෙහෙවන්තයා ගැන.
“එයා හොඳින් ඉන්නවා. තවම විවාහ වෙලත් නෑ. සමහර විට කවදාවත්ම බඳින එකක් නැහැ. මම ඔයා ගැන ඇහුවාම ඒ ඇස්වල තිබුණ එළිය මට තාමත් මතකයි. ඒත් ඒ මුහුණේ මොකක් හෝ දුකක් තියෙනවා.“
“ඇයි එහෙම කියන්නේ,,,?“
“එයා කොච්චර ලස්සනට හිනා වෙලා හිටියත් ඒ ඇස්වල කඳුළක් තියෙනවා මම දකිනවා.“
“ඔයා හරි .. එයා හරිම ආදරණීය කෙනෙක් .. ඒත් අපිට එක් වෙන්න ලැබුණේ නැහැනේ. මට ලංකාවෙන් යන්න වුණේ මගෙ අම්මා ළඟට. තාත්තා ජීවත් වෙලා හිටිය නම් එහෙම වෙන්නෙ නෑ. එහෙනම් මම ලංකාවේ ඉන්නවා. දැන් කාලයක් ගිහිල්ලනේ. එයා විතර කවුරුවත් මට ආදරේ කළේ නැහැ. මට හිතෙනවා මම එයාව රැවැට්ටුවද කියලත්“
යෙහෙළිය පවසන්නේ සුසුමක් හෙළමින්.
“එයා එහෙම කිව්වේ නැහැ. ඒත් එයා තවමත් ඔයා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලනම් මට දැනුණා.
යෙහෙළිය නිහඬ වුණේ කිසිවක්ම නොකියා. දුරකතනයේ අනෙක් පසින් ඇසුණේ සිහින් ඉකිබිඳුමකි.
විනාඩි ගණනකට පසු ඇය හඬ අවදි කළාය.
“ඒ ආදරේ වගේ ආදරයක් ආයේ මට කවදාවත් ලැබෙන්නේ නෑ. මම මගෙ අම්මා ගැන හිතලා ලංකාවෙන් ගියේ . මට ලස්සන ජීවිතයක් ලැබුණා තමයි. ඒත් ඒ ජීවිතේ තවත් ලස්සන වෙනවා මම එයා එක්ක හිටියා නම්. ගෙවන හැම දවසකම මට එයාව මතක් වෙනවා.“
යෙහෙළියගේ හඬ හැඬුම්බරය.
මෙවන් පෙම්වතුන් ලොව අපමණය. හිතින් දුක් විඳිමින් හිතට රහස් කියමින් ජීවත් වන පෙම්වතුන් තවත් ඕනෑතරම් ඇත.
ඇගේ කතාව සිහි වූයේ ප්‍රවීණ ගායන ශිල්පි කරුණාරත්න දිවුල්ගනේ ගයන
“ප්‍රේමණීයම සිනා අරගෙන
හමුවෙලා එක වතාවක්…“ ගීතය ඇසීමෙනි. එහි සංගීතය නිර්මාණය කරන්නේ ප්‍රවීණ සංගීතවේදී දර්ශන වික්‍රමතුංගය. ඒ අපූරු ගීතය ලියන්නේ ගී පද රචක ආචාර්ය වාසනා එදිරිආරච්චි විසිනි.
මේ වන විටත් ගීත ගණනාවක් ලියා ඇති වාසනාගේ ගී රචනා අපූරුය. ඔහු තම ගීත රචනා සඳහා යොදා ගන්නා උපමා රූපක නැවුම්ය. ඔහුගේ ගී නිර්මාණවල වචන භාවිතය සූවීශේෂීය. ප්‍රේමණීයම සිනා අරගෙන ගීතය ගැන වාසනා කියන්නේ මෙවන් අදහසකි.
“දෙදෙනෙකු අතර ඇති වන ආදර බැඳීමකදී සමහර අවස්ථාවල එක් අයෙක් අනෙකාව දාලා යනවා. ඒ දාලා යන්නේ තරහකින් නෙමෙයි. ඒක තාවකාලිකව වෙන දෙයක්.
නමුත් ඒ දෙදෙනාම ඒ ගැන විඳවනවා. මගේ යහළුවකු ලැබූ ඒ අත්දැකීම මා සමඟ කියා තිබුණා. කාලයක් තිස්සේ මගේ හිතේ ඔහුගේ ඒ දුක තැන්පත් වී තිබුණා. පසුකාලීනව තමයි එය අකුරු වෙලා, වචන වෙලා මේ විදිහට ගීතයකට පෙරළුණේ. මට ඕන වුණා මේ ගීතය ලිවීමේදී හැමෝම භාවිත කරන වචන ඒ කියන්නේ උපමා රූපක ආදියෙන් බැහැර වෙලා අලුත් වචනවලින් ගීතය ලියන්න. මේ ගීතය ලියැවී තියෙන්නේ පරිසරය හා බද්ධ වෙලා. තමන්ට සමුදුන් පෙම්වතිය ගං දිය දහරක් ලෙසින් හමු වෙද්දි තවමත් හිත රිදෙන බවත්, ඒ ප්‍රේමණීය මතකවල තිබූ අපූරු බවත් මම ලියන්න අමතක කළේ නැහැ.
“කිසිම දවසක බැස නොගිය සඳ
අහස තුළමයි සැඟවුණේ
නුඹේ එළියට රැවටෙනා හැටි
තවම නොදනිමි ප්‍රේමියේ…“
අපි හැමදාම දැක්කෙ සඳ බැස යනවා. නමුත් ඇත්තටම සඳ අහසේ ඉන්නවා. විද්‍යාත්මකව වෙන්නෙ අපිට නොපෙනීමයි. ඒ නිසා මගේ මේ ගීතයේ එන ප්‍රේමවන්තයා තුළ විශ්වාසයක් තියෙනවා ඇය සැඟවුණත් තවම ඉන්න බව. කොච්චර උත්සාහ කළත් ආදරය හංගන්න බැරි සේම සඳ එළිය නමැති ආදරය ඇය තුළින් තවමත් විහිදෙනවා කියල හිතෙනවා. ඇයගේ සමුගැනීම ඔහු විශ්වාස නොකරන බවක් තමයි මම කියන්න උත්සාහ කළේ. දැන් මේ ගීතය අයිති රසිකයින්ට. ඔවුන්ගේ අදහස් තමයි මට වටින්නේ . මගේ පද රචනය වඩාත් සාර්ථකව රැඳී තියෙන්නේ ප්‍රවීණ ගායන ශිල්පී කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ කටහඬ හා ප්‍රවීණ සංගීතවේදී දර්ශන වික්‍රමතුංගයන්ගේ සංගීත නිර්මාණයන් මතයි.
ඉනෝකා සමරවික්‍රම