වෙනදාටත් වඩා ඒ උදෑසන දෙමෝදර ආරුක්කු පාලම මතින් නැඟෙන අහස පැහැබරය. වෙනදාට මෙන් ආරුක්කු පාලම මත සංචාරකයන් එහා මෙහා යන්නේ නැත. එසේ එහා මෙහා ගියත් සංචාරකයන් ඒ තැනින් එහා මෙහා යන්නේ බොහෝ ප්‍රවේශමෙනි. ඒ එහි සිටින්නන්ට තමන්ගෙන් බාධාවක්, හිරිහැරයක් වේ යැයි සැකයෙනි. පසුගිය දිනවල මාධ්‍යයෙන් මේ ගැන විවිධ තොරතුරු දැන ගන්නට ලැබිණි. නමුදු එය මගේම ඇස් දෙකෙන් දැක බලා සිදුවන්නේ කුමක්දැයි ඔබට කියන්න ඒ උදෑසන එහි ගියෙමි.
භාෂා 18කට හඬ කවා ප්‍රදර්ශනය කිරීමට නියමිත ඉන්දීය තෙලඟු චිත්‍රපටයේ රූගත කිරීම් රැසක් සිදුවන්නේ ඌව පළාතේ මෙන්ම ලෝකයේ ඉතාමත් ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනා ගත් ඇල්ල බදුල්ල දක්වා දිවෙන කෝච්චි මාර්ගයේ දෙමෝදර ආරුක්කු නවය පාලම හා ඒ ආශ්‍රිත ප්‍රදේශයේය.
උඩරට දුම්රිය ධාවනය 09 දින සිට 15 දින දක්වා උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් දුම්රිය ධාවනය කිරිමට කටයුතු යොදා තිබිණි. දිවා කාලයේදි මඟීන්ට අපහසුතාවයක් නොවන පරිදි ඇල්ල බදුල්ල බණ්ඩාරවෙල අතර මඟීන් සඳහා බස් රථ යොදා තිබේ.
මිරායි නම් වූ තෙලිඟු චිත්‍රපටය දෙමෝදර ආරුක්කු පාලමේ හා ඒ අවට ප්‍රදේශවල රූගත කිරීම වෙනුවෙන් මුලින්ම රුපියල් ලක්ෂ 230ක මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවන බවත් මේ වනවිට රුපියල් මිලියන 48 ඇප තැන්පතුවක් කර ඇති බවත් පැවැසේ. දුම්රිය ඇල්ලට සීමා වීම නිසා දුම්රිය ධාවන නොවන අවස්ථාවල එ් සඳහා ධාවනය කෙරෙන බස් රථ සඳහා වැය වන සියළු මුදල් ගෙවීමට ද එම චිත්‍රපට සමාගම කටයුතු කර ඇත.
මිරායි (Mirai)චිත්‍රපටයේ සටන් දර්ශන සහ ගීත ගායනය ඇතුළත් දර්ශන තුර්කියේ ආරුක්කු පාලමක් මත පටිගත කිරීමට සැලසුම් කර තිබුණත් එයට වඩා ලංකාවේ ආරුක්කු නවයේ පාලම අලංකාරවත් හා සුන්දර නිසා එය තෝරාගෙන තිබේ.
නිධානයක් වටා ගෙතුනු කතා පුවතක් රැගත් මිරායි නමින් නම් කර ඇති මෙම චිත්‍රපටයේ තිර රචනය හා අධ්‍යක්ෂණය කාර්තික ගතමිනිගේය. එම චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපානු ලබන්නේ තේජා සජ්ජා, මනෝජ් කුමාර් මන්ජුු ,රිතිකා නායක් යන නළු නිළියන්ය. ඉන්දීය නළු නිළියන් 64 දෙනෙකු මෙහි චරිත නිරූපණය කරන අතර ශ්‍රී ලංකාවේ නළු නිළියන් සිව් දෙනකුට ද අවස්ථවන් හිමිවී තිබේ.
චිත්‍රපටයේ කතා සාරාංශය මෙසේය.
තරුණයෙකු වන වේධා විදි නම් මුල් පිටපත් සාදන්නෙකු වේ. ඔහුට විභා නම් ගැහැනු ළමයෙකු හමුවෙයි. ඔහුව යම් ජීවිත අවදානමකින් ගලවා ගැන්මට මේ ගැනු ළමයා සමත් වෙයි. ඔහුගේ ජීවිතයේ මෙහෙවර තේරුම් ගැනීමට සහ ඔහුගේ සැබෑ ආත්මය අවදි කිරීමට ඇය ඔහු පිටුපසින් සිටී. අත්හදා බැලීම් කිහිපයකට පසු සහ නියමිත කාලය තුළ, වැරදි අතට යාමට ආසන්නව තිබූ අශෝක රජුගේ දැනුම් නිධානය ආරක්ෂා කිරීමට ඔහු ඉපදුණු බවත් ඔහු මහා දායාදයක පුත්‍රයෙක් බවත් ඇය ඔහුට තේරුම් කර දෙනවා. ඔහු එය තේරුම් ගන්නා විට ඇය අමාරුවේ වැටේ. Vedha, Vibhaට අවශ්‍ය වූවාක් මෙන්, දැනුම ලබා ගැනීමට නේපාලයට යන අතර එයින් Vibha තර්ජනයෙන් ගලවා ගනී.
නිධානය පිටුපස සිටින මහබීර් ලාමා වේධා ගැන දැනගෙන ඔහුව මරා දැමීමට තීරණය කරයි. වේධා සහ විභා ඔහුගේ උරුම ලියවිලි වලින් නිධානයට මාර්ගය සොයා ගනී. ඔවුන් කාම්බෝජයට ළඟා වන්නේ දැනුම් නිධානය ආරක්ෂා කර ගැනීමට ය. අතීතයේ මහබීර් ලාමාගේ ගොදුරු බවට පත් වූ ගෝත්‍රිකයෙකුගේ උපකාරයෙන් එම ස්ථානයට පැමිණ නිධානය ලබා ගනී. මහාබීර් ලාමා වේධාගෙන් එම නිධානය අල්ලාගෙන පණපිටින් වළ දමයි. වේධා ආපසු පැමිණ මහාබීර් ලාමා සමඟ සටන් කර නිධානය ආරක්ෂා කළ ආකාරයෙන් කතාව අවසන් කරයි.
දුම්රිය මාවත් ආශ්‍රිතව නිර්මාණය වු ලෝකයේ විවිධ සිනමා කෘතින් ඉමහත් ජනප්‍රියව ඇතිවා සේම එම දුම්රිය මාර්ගවලට සංචාරක ආකර්ෂණය වැඩිවන්නේද ඒ හා සමානවමය.
මේ නිර්මාණය සඳහා ආරුක්කු නවයේ පාලම යොදා ගැනීම දුම්රිය මාර්ගය සතියක පමණ කාලයකට වසා තැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධාකාර විවේචන හා කතාබහක් ඇතිවිය. ඊට හේතු වූයේ ඉන්දියානු ශ්‍රී ලංකා සිනමා ව්‍යාපෘතියක් වෙනුවෙන් දුම්රිය මාර්ග දෙපස දර්ශන රූගත කිරීම හේතුවෙන් ඇල්ල සිට බදුල්ල දක්වා දුම්රිය ගමන් සතියක් අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කළ නිවේදනයකින් දන්වා සිටීමයි.
කවුරුත් කතා කරන ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ආරුක්කු නවයේ පාලම දේශීය මෙන්ම විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා සුවිශේෂී ස්ථානයක් ලෙස දෙමෝදර ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොටුවෙල ප්‍රදේශයේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටා ඇත. පාලමේ විශේෂත්වය වන්නේ මෙය ආරුක්කු නවයක් සහ තව ඉදිකර තිබීමයි. දෙමෝදර පාලමේ විශෙෂත්යක් වන්නේ පාලමේ ආරුක්කු 9 යේ පහළ සිට අහස බලන විට අහස විධි 9 කට දිස් වීමයි.
කොළඹ සිට බදුල්ල දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගය මෙම පාලම මතින් වැටී ඇති අතර පාලම මතින් දුම්රිය ගමන් කරන විට ඉතාමත් අලංකාර දසුනක් දැකිය හැකිය.
පාලමේ උස අඩි 300වන අතර පළල අඩි 25 කි. දෙමෝදර පාලම ඉදිකර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි. 1913 ආරම්භ කර 1919 වර්ෂයේ දී අවසන් කර ඇති බව මූලාශ්‍ර තොරතුරුවල සඳහන් වේ. ඔවුන් දුම්රිය මාර්ගය සෑදීම සඳහා අවශ්‍ය සියලූම අමුද්‍රව්‍ය රැගෙන පැමිණ ඇත්තේ එංගලන්තයෙනි. මේ අතරතුර ඇල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගය සකසාගෙන එන අතරතුර පළමු වන ලෝක යුද්ධය ආරම්භ විණි. එම යුද්ධය නිසා මහා බ්‍රිතාන්‍යයේ සිට අමුද්‍රව්‍ය රැගෙන එන නැව් ගමනාගමන අපහසු වී තිබිණි. එම නිසා උඩරට දුම්රිය මාර්ගය භාරව කටයුතු කළ බ්‍රිතාන්‍ය සහ ලාංකික ඉංජිනේරුවන් පාලම ඉදිකිරීම සඳහා දේශීය අමුද්‍රව්‍ය යොදා ගැනීමට තීරණය කර තිබිණි. මේ දේශීය අමුද්‍රව්‍ය යොදා ගැනීමේදී සවි ශක්තිය හා කල් පැවැත්ම පිළිබඳව ගැටලු මතු වී යැයි බියක් හටගත් නිසා. ඔවුන් අවසානයේදී කොන්ක්‍රිට් අච්චුගල් භාවිතයට ගැනීමට තීරණය කර ඇත.
ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දෙසට යෑමේදී ආරුක්කු හතරේ සහ ආරුක්කු නවයේ බෝක්කුව වශයෙන් බෝක්කු ගණනාවක් කොන්ක්‍රීට් අච්චුගල් යොදා ගනිමින් බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කර ඇත.
මෙම පාලම නිර්මාණය සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ කතා පුවත් රාශියක් අසන්නට ලැබේ. ආරුක්කු නවයේ පාලමේ දළ සැලැස්ම නිර්මාණය කර ඇත්තේ එච්. ආර්. මාර්වුස් නමැති බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවරයා බව ලංකා දුම්රිය ඉතිහාසය ගැන පිරික්සීමේදී පැහැදිලි වේ.
ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර කඳු ගැටය දක්වා දුම්රිය මාර්ගය ඉදිකරන අතරතුර ගොටුවල ප්‍රදේශයේ කඳු දෙක අතර විශාල පරතරයක් තිබිණි. මෙම කඳු දෙක අතර මඩ වගුරකි. එදා ලාංකික ඉංජිනේරුවරයා මෙම කඳු දෙක යා කිරීම සඳහා එංගලන්තයෙන් යකඩ පාලමක් ගෙන්වා ඇත. නමුත් එම පාලම දිගින් අඩු වීම නිසා බරපතළ ගැටලුවකට මුහුණ දී තිබීම නිසා එම ඉන්ජිනේරුවරයාට මෙය දරා ගත නොහැකිව සිය දිවි නසා ගැනීමට තැත් කර ඇත. පසුව එම ඉංජිනේරුවරයාගේ ළඟම විශ්වාසය දිනාගෙන සිටි හිතවත් පෙදරේරුවකු වන අප්පුහාමිගෙන් මෙයට විසඳුමක් අසා තිබේ. පසුව ඉංජිනේරුවරයාගේ ඉල්ලීම අනුව අප්පුහාමි මෙම පාලම සෑදීම ආරම්භ කර තිබිණි. ඔහු ශක්තිවන්ත කම්කරු පිරිසකගේ සහය ඇතිව එම මඩ වගුරට ඉහළින් ඇති කඳු ගැටයේ තිබුණු විශාල කළුගල් ගලවා පෙරළා කඳු මුදුනේ සිට වේගයෙන් පහතට පෙරළෙන කළු ගල් කුට්ටි මඩ වගුරේ පතිත කර කළු ගලින් පුරවා තිබිණි. එමෙන්ම ඉතා ගැඹුරට සාදන ලද වළවල් සඳහා කබොක් ගල් කුට්ටි, තලාතු මිනිරන් කුට්ටි සහ කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිතයෙන් එකිනෙක සවි කෙරිණි.
පාලම සෑදීම සඳහා භාවිත කර ඇත්තේ කළු ගල් නොව තුනට දෙකට අනුපාතයේ වැලි සහ ගල් මිශ්‍රණ සහිත කොන්ක්‍රීට් අච්චුවලට දමා සකස් කරගත් කොන්ක්‍රීට් ගල්ය. ඒ ගල් එකිනෙක සිමෙන්ති බදාම යොදා බැඳ ඇත. අප්පුහාමි ඉන්ජිනේරුවරයාගේ විශ්වාසය ඇති කිරීමට වැටුප් නොගෙන මෙම පාලම ඉදිකළ බව ජනප්‍රවාදයේ සඳහන් වී ඇත. මේ පාලම නිර්මාණය කර ඇත්තේ වංගුවක් සහිතවයි. දුම්රිය මාර්ගය අංශක 9 ක වක්‍රතාවක් ඇති අතර ආරුක්කු දෙකක් අතර ඇති දුර අඩි 30කි. මඩ ගොහොරුවේ පාදම සවි ශක්තියෙන් සකස් කර විශාල කුලුනු 10ක් ආධාර කරගෙන ආරුක්කු 9 නිම කොට ඇත. ඒ විශාල කුලුනු හැම එකකම විශාල කවාකාර හිඩැසක් දක්නට ලැබේ.
පාලම ඉදිකළ පසු පාලමෙන් දුම්රිය ධාවනය කරන්නට ඉංජිනේරුවරයා බිය විය. එහෙත් අප්පුහාමි පෙදරේරුවාට පැවැසුවේ ඔහුට දුම්රිය පාලමෙන් ධාවනය ආරම්භයට පෙර පාලම යට නිදා සිටින බවයි. දුම්රිය පාලම මතට ළඟා වන විට ඉංජිනේරුවරයා බියෙන් ඇස් දෙක වසාගෙන සිටි අතර පසුව දුම්රිය පාලමෙන් යද්දී පුදුම සතුටකින් බලා සිට තිබිණි. අප්පුහාමි මෙම පාලම සෑදීමට ගත් කාලයට හිඟ වැටුපත් මෙය සෑදීමට ගත් වෙහෙසට ත්‍යාග ලෙසින් රිදී කාසි මලූ 8 ක් ද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබිණි. බ්‍රිතාන්‍ය ඉංජිනේරුවරයා වන මාර්වුස් මහතා සමඟ අප්පුහාමි විශාල බැඳීමක් තිබී ඇත. ඒ නිසා ඔහුට ලැබුණු රිදී කාසිවලින් ගමේ හිතවතුන්ට දිවා ආහාරය සමඟ රිදී කාසියක් තෑගි දුන් බව ජනප්‍රවාදයේ සඳහන් වී ඇත.
ඉන්දික රොෂාන් ගරුසිංහ -වැල්ලවාය විශේෂ