Home » හැමෝම දන්නා චරිතයක් වීම ලොකු වාසනාවක්

හැමෝම දන්නා චරිතයක් වීම ලොකු වාසනාවක්

උදේශ් ඉන්දුල

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

– මගේම ගීත එකතුවක් සමඟ දැවැන්ත ප්‍රසංගයක් කරන්නයි ඉදිරි බලාපොරොත්තුව
– කවදාවත් මට තරහකාරයෝ නැහැ

දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගාවලියේ මුල්ම ජයග්‍රාහකයා ලෙස වාර්තා තැබූ උදේශ් ඉන්දුල මේ දිනවල මොන වගේ නිර්මාණ කටයුතු එක්ක ද කාලය ගත කරන්නේ කියලා දැන ගන්නත් එක්කම අපි ඔහු සමඟ කතා බහ කළා.

කොහොමද මේ දවස්වල නිර්මාණවල වැඩ කටයුතු

මේ දවස් වල අලුත් ගීතයක් කරන්න සියලු කටයුතු ලෑස්ති කරගෙන යනවා. මගේ මුල්ම ගීතය වුණේ මීට අවුරුදු 16කට කලින් කරපු “ළං වෙලා ඉමු සීතේ” ගීතය. ඒ ගීතය සංගීතවත් කළේ රොමේෂ් සුගතපාල අයියා. ලිව්වේ නන්දන වික්‍රමගේ. ඒ වගේම සහ ඒ ටච් එකේ තියෙන සින්දුවක් රොමේෂ් අයියා එක්කම කරන්න හිතුවා. හැබැයි ඊට වඩා වෙනස්. මේ වෙද්දී සින්දුව ලියලා මෙලඩි හදලා ඉවරයි. මම හිතනවා තව මාසයක් වගේ කාලයක් යද්දී ඒක රිලීස් කරන්න පුළුවන් වෙයි කියලා. මේක තමයි මගේ අලුත්ම නිර්මාණය වෙන්නේ. මිට කලින් ගීත කිහිපයක්ම එළිදැක්වුණා.

ප්‍රසංග වේදිකාව තුළ ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මට ගොඩක්ම ඇරයුම් ලැබෙන්නේ ගෘහස්ථ ප්‍රසංග, වෙඩින් ෆන්ෂන්, ඉවෙන්ට් සහ ගේට් ටු ගෙදර් වගේ දේවල්වලට. මගේ සංගීත කණ්ඩායම සාරෝ. (saaro) ඉතින් සාරෝ බෑන්ඩ් එකත් එක්ක මට මගේ ප්‍රේක්ෂකයින් හම්බෙනවා. ඒ දවස්වල මට sms කරපු හැමෝම ගොඩක් ආදරෙන් තාමත් මට ඇවිත් කතා කරනවා. ඒ අයට තාමත් ඒ පරණ මතකය අලුත් වෙන තැන් තමයි මගේ බෑන්ඩ් එකත් එක්ක මුණගැහෙන හැම තැනක්ම. මේ දිනවල කම්පැනිවල ගේට් ටු ගෙදර් වගේ දේවල් එක්ක සංගීත කණ්ඩායම එක්ක සහභාගී වෙනවා. ඒ තුළින් ලබන ප්‍රතිචාර ඉහළයි.

විදෙස් සංචාරවලදී ලබන අත්දැකීම් කොහොමද?

විදේශ සංචාර රටවල් 28-30කට විතර ගිහින් තියෙනවා. මම ක්ෂේත්‍රයට ආවේ ඩ්‍රීම් ස්ටාර් හරහා. මට වාසනාව ලැබුණා ඩ්‍රීම් ස්ටාර් සංගීත කණ්ඩායමේ පළමු තරගයේ ජයග්‍රාහකයා වෙන්න. ඒ දවස්වල රියලැටිවලට ප්‍රේක්ෂක උන්මාදයක් තිබ්බා. ඒ ආදරේ තාමත් මට දක්වනවා. ඒ ආදරේට ස්තුතිවන්ත වෙනවා. මෑතකදී කොරියාවේ සංචාරයකට සහභාගී වුණා. මගේ බෑන්ඩ් එකත් එක්ක ගියේ පළමු වතාවට. සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුණා. අපි කොරියාවේ පෙබරවාරි මාසයේ වින්ටර් එකේ පවත්වපු වැඩිම ජනගහනයක් ආපු ප්‍රසංගය. වින්ටර් එකේ ප්‍රසංග තියන්නේ නැහැ. හේතුව සීතල වැඩි නිසා මිනිස්සු එන්නේ නැහැ. ඒත් අපිව බලන්න එදා ගොඩක් අය ඇවිත් හිටියා. ලබන වසරේත් අපි සහභාගී වෙන්න හිතන් ඉන්නවා.

වසර 16ක් තුළ සංගීත ක්ෂේත්‍රය තුළ කරන්න ලැබුණු දේවල් ගැන කිව්වොත්?

අවුරුදු 16ක් ගත වුණත් මගේ ආදරණීය ප්‍රේක්ෂකාගාරය එක්ක උදේශ් ඉන්දුල කියන නම තියාගෙන ඉන්න පුළුවන්. මම ගීත ගොඩක් කියලා නැහැ. උපරිම ගීත 16ක් වගේ කියලා ඇති. ඉන් ගීත 6ක් වගේ උපරිම ජනප්‍රිය මට්ටමින් තියෙනවා. තව ටෙලි නාට්‍යය ගීත සහ චිත්‍රපට ගීත තියෙනවා. මම දේදුනු ආකාසේ චිත්‍රපටයට ගැයූ මල් කලඹ ළඟ ගීතයට සම්මාන ලැබුණා. ඊට අමතරව ජින්ගල්වලට සහ වෙළඳ දැන්වීම්වලට හඬ භාවිතා කරලා තියෙනවා.

ඔබේම ඒක පුද්ගල ගී ප්‍රසංගයක් නැවත කරන්න අදහසක් නැද්ද?

මගේම ඒක පුද්ගල ගී ප්‍රසංගයක් මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු තුනකට පසුව කළා. ඒ වෙද්දී මම රියලැටි වේදිකාවේ ගයපු ජනප්‍රිය ගීත සහ මගේම ගීත කිහිපයක් එක්ක. දැන් එදාට වඩා මගේම ගීත තියෙනවා. මේ වෙද්දී මම වොයිස් ට්‍රේනින් උගන්වනවා. මම විශ්වවිද්‍යාලයක සේවය කළා. තව බාහිර පාඨමාලවල උගන්වනවා. ඒ දරුවන් එකතු කරගෙනම ලස්සන වැඩක් කරන්න හිතන් ඉන්නවා.

හැමෝම වගෙ දන්න රටේ ජනප්‍රිය චරිතයක් වීම දැනෙන්නෙ කොහොමද?

ගොඩක් සතුටුයි. බහුතරයක් දෙනා මාව හඳුනා ගන්නේ ඩ්‍රීම් ස්ටාර් වේදිකාව හරහා. ඉන් පසු ළංවෙලා ගීතයෙන් බොහෝ දෙනා අතරට මම ගියා. හැමෝම දන්නා චරිතයක් වීම ලොකු වාසනාවක්. අපි හැමෝම කැමතියි එහෙම ආදරේ ලබන්න. ඒ නිසා හැමෝ එක්කම සුහදව ළෙන්ගතුව බොහොම නිහතමානීව වැඩ කරන්න කැමති කෙනෙක්. කවුරුත් මට දොසක් කියනවට කැමතිත් නැහැ. මම එහෙම වෙන්න දෙන්නෙත් නැහැ. ඒ මගේ හැටි. මගේ ජීවිතේට හෝ මගේ ක්ෂේත්‍රයේ මට කවදාවත් තරහාකාරයෝ නැහැ. ඒ නිසා මම හරි සතුටින් මට ලැබුණු අවස්ථාව පරිහරණය කරනවා. තව තවත් ජනතාවගේ ආදරේ දිනා ගන්න පුළුවන් හොඳ දේවල් තියෙනවා නම් ඒ දේවල් කරන්න මම පැකිළෙන්නේ නැහැ.

ආදරණීය පවුලේ විස්තර මොනවද?

මගේ ආදරණීය බිරිඳ දිල්හාරා සෙනරත් සහ මගේ පුතා වර්ණ විභූ. අපි තුන්දෙනාගේ පුංචි පවුලක් තියෙන්නේ. අපේ fb page, TikTok ,Instagram සහ YouTube හරහා අපේ පවුලේ දේවල් බෙදා හදා ගන්නවා. ඒක හරි විනෝදයි. ඒ හරහාත් ප්‍රේක්ෂක ආදරේ ලැබෙනවා. දිල්හාරාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.

සපුරා ගන්න තියෙන ඉලක්කයන් මොනවද?

මගේ ජිවිතේ අවුරුදු 19 උපන්දිනයේ දී තමයි මම ඩ්‍රීම් ස්ටාර් වෙන්නේ. එතැනින් පස්සේ ගොඩක් දේවල් මගේ ජීවිතේට ලැබුණා . බලාපොරොත්තු නොවුණු අවස්ථාවක තමයි මේ දේවල් ලැබෙන්නේ. මගේ පුංචි පවුලේ බිරිඳ සහ පුතා, මගේ දෙමාපියන් සහ අක්කලා හතර දෙනා, වයිෆ්ගේ අම්මා තාත්තා මල්ලි හැමෝම එක්ක සතුටින් මේ බැඳියාවන් තියෙනවා නම් ඒක තමයි මම හිතන්නේ බලාපොරොත්තුව. ඒ එක්කම දරුවාට හොඳින් උගන්වලා හැමෝම ආදරේ කරන චරිතයක් වෙනවා නම් ඒක මම ආස දෙයක්. ඒක මට අභිමානයක් ගෞරවයක් ගෙන දෙන දෙයක්. ජිවිතේ කොහොමත් කාටවත් බරක් නොවී තමන්ගේ ජිවිතේ විඳිමින් සරලව ගෙනියන්න තමයි බලාපොරොත්තුව. සංගීත ක්ෂේත්‍රයේ රැඳෙමින් තව ඉදිරියට යන ගමන් මා විසින් නිර්මාණය කළ මගේම ගීත එකතුවක් සමඟ දැවැන්ත ප්‍රසංගයක් මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට පවත්වන්න ඉලක්කයක් තියෙනවා.

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division