Home » ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ ආධිපත්‍ය රැකගැනීමට ශ්‍රී ලංකාවට හැකි වේවිද ?

ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ ආධිපත්‍ය රැකගැනීමට ශ්‍රී ලංකාවට හැකි වේවිද ?

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment
ආසි­යානු නෙට්බෝල් ශූර­තා­ව­ලි­යට සහ­භාගි වීමට ඉන්දි­යා­වට යෑමට පෙර ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩා­යම අග­මැ­ති­නිය හා ක්‍රීඩා ඇමැ­ති­නිය ආචාර්ය හරිනි අම­ර­සූ­රිය හමුවූ අව­ස්ථාව. (වමේ සිට) නාලිකා ප්‍රසාදි (පුහු­ණු­කා­රි­නිය), කේ. මහේ­සන් (ක්‍රීඩා අමා­ත්‍යාංශ ලේකම්), දුලාං­ගනී වන්නි­ති­ලක (නායිකා), අග­මැ­ති­නිය හා ක්‍රීඩා ඇම­ති­නිය ආචාර්ය හරිනි අම­ර­සූ­රිය, ලක්ෂ්මි වික්ටෝ­රියා (නෙට්බෝල් සභා­ප­ති­නිය), මහා­චාර්ය ශෙමාල් ප්‍රනාන්දු (ක්‍රීඩා අධ්‍යක්ෂ), පද්මිණි හොර­ණගේ (කළ­ම­නා­කා­රි­නිය) සමඟ ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩා­යම

දෙවසරකට වතාවක් පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශූරතාවලිය 13 වැනි වරටත් ඉන්දියාවේදී ඇරඹිණි. මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ බැංග්ලෝර් නුවරදීය. පසුගිය 18 වැනිදා ආරම්භ වූ ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම වත්මන් ශූරියන් ලෙසත්, ශුරතාව දිනා ගැනීමට වැඩිම අවස්ථාවක් ඇති ජනප්‍රියතම කණ්ඩායම ලෙසත් තරගාවලියට එක්ව සිටී.

නායිකා දුලාං­ගනී වන්නි­ති­ලක

නායිකා දුලාං­ගනී වන්නි­ති­ලක

දශක 4කට ආසන්න ආසියානු නෙට්බෝල් තරග බිමේ එතෙක් මෙතෙක් සාර්ථකම කණ්ඩායම ද වන ශ්‍රී ලංකා පිල වසර 1985 මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවරදී රටවල් 5ක සහභාගීත්වයෙන් ආරම්භ වූ පළමු තරගාවලියේ සිට මේ දක්වා කුසලාන 6ක් දිනා ගැනීමට සමත් වූ අතර, අනුශූරතා 4කට ද හිමිකම් කියයි. ඒ අනුව අවස්ථා 10කදීම ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කළ එකම කණ්ඩායම බවට ද ශ්‍රී ලංකාව පත්වී සිටී. ශ්‍රී ලංකාවට අවසන් මහා තරග මඟ හැරුණේ අවස්ථා දෙකකදී පමණි. 1993 හොංකොං හි පැවැති තරගාවලියේදී සත්කාරක හොංකොං පිල ශුරතාව දිනූ අතර, අනුශූරියන් බවට පත්වූයේ සිංගප්පූරුවය. 2005 වසරේ සිංගප්පූරුවේ පැවැති තරගාවලියේදී සත්කාරකයන් ශූරතාව දිනා ගත් අතර, අනුශූරියන් වූයේ මැලේසියානු කණ්ඩායම ය. මේ දෙවතාවේදීම ශ්‍රී ලංකාව තුන්වැනි තැන අත්කර ගැනීමත් විශේෂත්වයකි.

නොම්මර එකේ කණ්ඩායම

හැම අතින්ම බලද්දී ශ්‍රී ලංකාව යනු ආසියාවේ නෙට්බෝල් තරග බිමේ ආධිපත්‍ය පතුරුවාලූ නොම්මර එකේ කණ්ඩායම ය. දුලංගනී වන්නිතිලකගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා පිල මෙවර තරගාවලියට ඉන්දියාවට ගියේ එම ගෞරවයත්, කීර්තියත් රැක ගැනීමේ අදිටන ඇතුවය.

ආසියානු නෙට්බෝල් තරග ඉතිහාසයේ වැඩිම රටවල් සංඛ්‍යාවක් තරග වදින පළමු අවස්ථාව ද මෙවර තරගාවලිය වේ. මීට පෙර 2018 දී සිංග්ප්පූරුවේ පැවැති තරගාවලියට රටවල් 12ක් තරග වැදුණු අතර, මෙවර එක්වී සිටින කණ්ඩායම් ගණන 14කි. ශ්‍රී ලංකාව සමඟ සත්කාරක ඉන්දියාව, ජපානය, පිලිපීනය, මාලදිවයින, සෞදි අරාබිය සහ මැලේසියාව ‘ඒ‘ කාණ්ඩයෙන් තරග වදිද්දී හොංකොං, චීන තායිපේ, සිංගප්පූරුව, ඉරාකය, බෘනායි, තායිලන්තය සහ බහරේන් තරග බිමට පිවිසෙන්නේ ‘බී‘ කාණ්ඩයෙනි.

පිලිපීනය සමඟ සිය පළමු තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල 19 වැනිදා සෞදි අරාබිය සමඟත්, 20 වැනිදා ඉන්දියාව සමඟත් තරග වැදීමට නියමිතව තිබූ අතර, 22 වැනිදා ජපානය සමඟ, 23 වැනිදා මැලේසියාව සමඟ හා 25 වැනිදා මාලදිවයින සමඟ ඉතිරි තරග පෙළගැස්ම සකස් වී තිබේ. 25 වැනිදා මූලික වටයේ තරග අවසන් වන අතර, 26 වැනිදා අවසන් පූර්ව තරගත්, 27 වැනිදා අවසන් මහා තරගයත් පැවැත්වීමට නියමිතය.

තරග බිමේ අඛණ්ඩ වාර්තාවක්

ශ්‍රී ලංකා නෙට්බෝල් පිල මෙවර තරගාවලියට එක්වූයේ තවත් වාර්තාවක් තැබීමේ අපේක්ෂාවෙනි. මේ දක්වා දෙවතාවක්ම අඛණ්ඩව ශූරතාව දිනා සිටින ශ්‍රී ලංකා පිල මෙවර තරගාවලියේදී යළි ඉතිහාසය අලුත් කරන්නේ නම් එය ආසියානු නෙට්බෝල් තරග බිමේ වාර්තාවක් ද වේ. මීට පෙර කිසිදු කණ්ඩායමක් පිට පිට තුන්වතාවක් ආසියානු නෙට්බෝල් කිරුළ දිනා නැත. මීට පෙර ශ්‍රී ලංකාව 1997 සහ 2001 වසරවලදීත්, 2018 සහ 2022 වසරවලදීත් අඛණ්ඩව ශුරතා දිනා ගත්තේය. (කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 තරගාවලිය නොපැවැත්විණි) මීට අමතරව ආසියානු තරග බිමේ ශ්‍රී ලංකාවට පමණක් දෙවැනි වන සිංගප්පූරුව 2012 සහ 2014 වසරවලදී පිට පිට ශුරතාව දිනා ගත්තේය.

ක්‍රීඩිකාවන් දිරිගැන්වීමට තර්ජනී සිවලිංගම් එක්වේ

ගයං­ජලී අම­ර­වංශ

ගයං­ජලී අම­ර­වංශ

දුලංගනීගේ නායකත්වයෙන් ආසියානු නෙට්බෝල් ශුරතාවලියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවෝ රැසක්ම ඇතුළත් වෙති. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් වන ගයනි දිසානායක සහ ගයංජලී අමරවංශ හිටපු නායිකාවෝ දෙදෙනකු වෙති. මීට පෙර ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ සාර්ථකත්වයට විශිෂ්ඨ දායකත්වයක් ලබා දුන් ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව තර්ජනී සිවලිංගම් ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් ඇති වූ හිඩැස මෙවර තරගාවලියේදී මඟ හරවා දැමීමට සමත් ක්‍රීඩිකාවෝ ද වෙති. කෙසේ වුවත් ඉන්දියාවෙන් විවාහයක් කරගත් තර්ජනී මෙවර බැංග්ලෝර් නුවර පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශුරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිගැන්වීමට පැමිණ සිටින අතර, ඇගේ අත්දැකීම් සෙසු ක්‍රීඩිකාවන් සමඟ බෙදා හදා ගනු ඇත.

එමෙන්ම එය කණ්ඩායමට ශක්තියක් ද වනු ඇත. අවසන් වරට ගයංජලී අමරවංශගේ නායකත්වයෙන් 2022 දී ආසියානු නෙට්බෝල් කිරුළ දිනූ ශ්‍රී ලංකා පිලේ සාමාජිකාවන් වූ දුලංගනී වන්නිතිලක, හසිතා මෙන්ඩිස්, රෂ්මි දිව්‍යාංජලී, මල්මී හෙට්ටිආරච්චි, ගයනි දිසානායක මෙවර තරගාවලියටත් එක්වී සිටින බැවින් කණ්ඩායමේ දස්කම් තවදුරටත් මුවහත් වනු ඇත.

දුලාංගනි වන්නිතිලක (නායිකා), හසිතා මෙන්ඩිස්, රෂ්මි දිව්‍යාංජලි, ගයංජලී අමරවංශ, තිසාලා අල්ගම, ශානිකා පෙරේරා, ගයනි දිසානායක, ගයාත්‍රි කෞෂල්‍යා, සුසීමා බණ්ඩාර, සචිනි රොඩ්‍රිගෝ, මල්මි හෙට්ටිආරච්චි, චලිනි නිෂා මෙවර ආසියානු නෙට්බෝල් ශුරතාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වන අතර, කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස නාලිකා ප්‍රසාදි , කළමනාකාරිනිය ලෙස පද්මිණි හොරණගේ කටයුතු කරති. මීට අමතරව ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ සභාපතිනිය ලක්ෂ්මි වික්ටෝරියාෙ ද සිය ක්‍රීඩිකාවන් දිරි ගැන්වීමට සංචාරයට එක්වී සිටින්නීය.

ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ ඉතිහාසය

වසර ශූරියෝ අනුශූරියෝ

1985 මැලේසියාව ශ්‍රී ලංකාව
1989 ශ්‍රී ලංකාව සිංගප්පූරුව
1993 හොංකොං සිංගප්පූරුව
1997 ශ්‍රී ලංකාව මැලේසියාව
2001 ශ්‍රී ලංකාව සිංගප්පූරුව
2005 සිංගප්පූරුව මැලේසියාව
2009 ශ්‍රී ලංකාව සිංගප්පූරුව
2012 සිංගප්පූරුව ශ්‍රී ලංකාව
2014 සිංගප්පූරුව ශ්‍රී ලංකාව
2016 මැලේසියාව ශ්‍රී ලංකාව
2018 ශ්‍රී ලංකාව සිංගප්පූරුව
2022 ශ්‍රී ලංකාව සිංගප්පූරුව

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division