Home » ලේට්න් බොක්සිංවල හෙට දවස
ජපනා කොළඹට බෝම්බ දැමූ උණුසුම මැද්දේ ඇරඹුණු

ලේට්න් බොක්සිංවල හෙට දවස

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

ලේට්න් කුසලාන බොක්සිං තරගාවලිය පසුගියදා මීගමුව වෙරළ තීරයේ නිමාවට පත්වෙද්දී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධවත්, පාස්කු දා ප්‍රහාරයේ කොමිෂන් සභා වාර්තා සම්බන්ධවත් කතාබහ යළි මතු වෙමින් තිබිණි. ලේට්න් කුසලානයට පාස්කු ප්‍රහාරය ඈඳා ගැනීමට සිදුවූයේ අන් කවරක් හෝ නිසා නොව ලේට්න් කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බොක්සිං තරග ආරම්භ වූයේ ජපන්නු කොළඹට බෝම්බ දැමූ වසරේදී වීම නිසාය. ජපන්නු කොළඹට බෝම්බ දැමුවේ 1942 පාස්කු දිනයේදී වීම නිසාය. Easter Sunday Raid නමින් ලොව පුරා ප්‍රකට වූ 1942 අප්‍රේල් පස්වැනිදා පාස්කු දිනයේදී ජපන්නු කොළඹට බෝම්බ දැමීමේ සිද්ධියටත්, ලේට්න් කුසලාන බොක්සිං ශූරතාවලියේ ඇරඹුමටත් මේ වසරට හරියටම වසර 82කි.

ඊයේ පෙරේදා මීගමුවේදී අවසන් වූයේ 82 වැනි ලේට්න් කුසලාන බොක්සිං ශුරතාවලියේ ආරම්භය සිදුවූයේ ජපන්නු කොළඹට බෝම්බ දමා මාස කිහිපයකට පසුවය. 1942 අප්‍රේල් මස 5 වැනිදා ජපන්නු කොළඹට බෝම්බ දමද්දී ඉන්දීය සාගරයේ නැංගූරම් ලා තිබූ බ්‍රිතාන්‍ය හා අමෙරිකාව ඇතුළු මිත්‍ර පාර්ශ්වික රටවල නෞකාවල අණදෙන නිලධාරියා වූයේ බ්‍රිතාන්‍ය ජාතික අද්මිරාල් ජෙෆ්රි ලේට්න් ය. මිත්‍ර රටවල ඒකාබද්ධ නාවික හමුදා අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ අද්මිරාල් ලේට්න් සිය මෙහෙයුම් සිදු කළේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරමිනි. එය දෙවැනි ලෝක මහා යුද සමයේ සිදුවීමකි. අද්මිරාල් ජෙෆ්රි ලේට්න් කුසලානය පිරිනමනු ලබන්නේ තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට ය.

සෑම වසරකම ලේට්න් කුසලාන බොක්සිං තරගාවලිය ඇරඹෙද්දී ජපන්නු කොළඹට බෝම්බ දැමීමේ සිදුවීමත් මතකයට නැඟෙන්නේ නිරායාසයෙනි. එහෙත් මේ සිදුවීම් ද්විත්වය ගැන වැඩිදෙනකු කතා නොකරන්නේ එහි අතීතය දන්නා පිරිස අතළොස්සක් වන බැවිනි.

ලංකාවේ බොක්සිං ක්‍රීඩාවේ ආරම්භය

වසර 1918දී එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී රටක් ලෙස පැවැති ශ්‍රී ලංකාවේ බොක්සිං ක්‍රීඩාව ආරම්භ වූයේ ත්‍රිවිධ හමුදාව මුල් කර ගනිමිනි. බොක්සිං වළල්ලේ දස්කම් පෑවේ ද ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩකයෝය. බන්ධනාගාර, පොලිසිය හා දුම්රිය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ක්‍රීඩකයන් ඊට ඇතුළත් වූයේ පසුකාලීනවය. එම අවස්ථාව ලැබුණේ 1927දී ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය ආරම්භ වීමෙන් පසුවය.

1942දී අද්මිරාල් ලේට්න්ගේ නමින් බොක්සිං තරගාවලිය ආරම්භ වූයේ ඔහු අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ නෞකාවල හමුදා භටයන්ටත් සහභාගිවීමේ අවස්ථාව සලසා දෙමිනි. පළමුවරට පැවැති එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලේට්න් කුසලානය දිනාගත්තේ බ්‍රිතාන්‍ය කාලතුවක්කු හමුදාවේ එල්. හැරිසන්ය. නමුත් ඊළඟ වසරේ පැවැති තරගාවලියේ දි පළමුවතාවට ශ්‍රී ලංකාවට එම ගෞරවය ගෙනදීමට එවකට රෝයල් සිලෝන් වොලන්ටියර් නේවි හමුදාවේ කේ. එඩ්වින් සමත් විය.

එදා මෙදාතුර පැවැති තරගාවලි 81කදී විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රිඩිකාවන් රැසක් දායාද කිරීමට සමත්වූ ලේට්න් කුසලාන බොක්සිං තරගාවලියේ පසුගියදා පැවැති 82 වැනි තරගාවලියේ කුසලානය දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිස් බොක්සිං සමාජයේ හසිත නුවන් ජිනදාසය. කාන්තා අංශයේ කිරුළ හිමිවූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං සමාජය නියෝජනය කළ ඉෂාරා තුෂාරි පෙරේරාටය.

ඉතිහාසයේ පළමුවරට එළිමහනේ

ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන ලේට්න් බොක්සිං ඉතිහාසයේ මෙවර පැවැති තරගාවලිය එළිමහනේ තරග පැවැති පළමු අවස්ථාව ද විය. ලේට්න් කුසලාන බොක්සිං ශූරතාවලියේ අවසන් තරග එළිමහනේ පැවැත්වීම ක්‍රීඩාවේ අභිවෘද්ධියට මෙන්ම විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ද හේතු වී තිබිණි. ඉදිරියේදී එවැනි තරග ගාල්ල හා මහනුවර කේන්ද්‍ර කරමින් පැවැත්වීමටත් බොක්සිං ආයතනයේ අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ සභාපති අනුරුද්ධ බණ්ඩාර කීවේය. එහි තවත් විශේෂත්වයක් වූයේ එම තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් මත වසර අටකට පසු පළමු වතාවට ජාතික බොක්සිං සංචිතය තෝරා ගැනීමට ද කටයුතු යොදා තිබීමය. ඒ සඳහා අවස්ථාව උරගා බැලීමට ලේට්න් බොක්සිං වළල්ලට මෙවර සේන්දු වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 185කි.

කාන්තා හා පිරිමි බර පන්ති 21ක් ඇතුළත් වූ මෙවර ලේට්න් කුසලාන අවසන් තරගවලදී පිරිමි තරග අංශයේ වැඩි ගෞරවය අත්කර ගනිමින් ජයග්‍රහණ 7කට හිමිකම් කී අතර, කාන්තා තරග අංශයේ වැඩි ගෞරවය දිනා ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජයග්‍රහණ 5කට හිමිකම් කීවේය.

ලේට්න් කුසලාන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර බොක්සිං වළල්ලේ එළැඹෙන තරගාවලි ඉලක්ක කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් 43 දෙනකුගෙන් සමන්විත ජාතික බොක්සිං සංචිතය නම් කරනු ලැබූ අතර, එය සිදු කරනු ලැබුවේ අබ්දුල්ලා ඉබ්නු මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික බොක්සිං තේරීම් කමිටුව විසිනි. වසර අටකට පසුව නම් කළ ජාතික බොක්සිං සංචිතයට ක්‍රීඩකයෝ 30 දෙනකු සහ ක්‍රීඩිකාවෝ 13 දෙනකු ඇතුළත් වූහ. ඊට ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත්වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං සමාජය නියෝජනය කරන 37 හැවිරිදි ගයාන් ඉන්දික බණ්ඩාර සංචිතයේ වයස්ගතම ක්‍රීඩකයා ලෙසත්, මහනුවරින් බිහි වූ විශිෂ්ට යොවුන් ක්‍රීඩක 19 හැවිරිදි යස්මින් උසෙයිත් ළාබාලතම ක්‍රීඩකයා ලෙසත් සංචිතයට එක්වූහ.

වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්

ජාතික බොක්සිං සංචිතය නම් කිරීමෙන් පසු එළැඹෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය වන්නේ ආසියානු බොක්සිං සම්මේලනයේ ආසියානු එලයිට් බොක්සිං ශූරතාවලියයි. එම තරග ඉතිහාසයේ මෙතෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරන වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව මෙවර තරගාවලියට සහභාගි කිරීමට ශ්‍රී ලංකා බොක්සිං ආයතනය පියවර ගෙන තිබේ. ලබන නොවැම්බර් මස 28 වැනිදා සිට දෙසැම්බර් මස 12 දක්වා ජෝර්දානයේ අම්මාන් නුවර පැවැත්වීමට නියමිත මෙවර ආසියානු එලයිට් බොක්සිං ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම 13 දෙනකුගෙන් සමන්විත වන අතර, ඊට ක්‍රීඩිකාවෝ සිව්දෙනකු ද ඇතුළත් වෙති.

ලේට්න් කුසලාන බොක්සිං තරගාවලියෙන් එදා මෙදා තුර මෙරට බොක්සිං වළලල්ලට දායාද කළ විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසකි. ඉන් වැඩිදෙනකු ඉන් ඔබ්බට ගොස් ජාත්‍යන්තර බොක්සිං වළල්ලේදී පවා ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් හා ගෞරවයක් ගෙන දීමට ද සමත්ව සිටිති. ඉන් නොනැවතී තවදුරටත් ජාත්‍යන්තරය ජය ගැනීමේ දස්කම් සපිරි යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් ලේට්න් බොක්සිං වළල්ලෙන් බිහි වන්නේ 1942 පාස්කු දා ජපන්නු කොළඹට බෝම්බ දැමීමේ සිදුවීම වසරින් වසර අලුත් කරමිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division