බටහිර ගීත ක්ෂේත්‍රයේ කෝටි සංඛ්‍යාත සංගීත ලෝලීන් වසඟයට ගත් බොහෝ ගායක ගායිකාවන්ගේ අකල් මරණ නිරන්තරයෙන්ම සැකයට තුඩු දෙන ඒවාය. තනිකරම අබිරහස් ගුහාවකි. ඇතැමුන් ඒවා හඳුන්වන්නේ නොවිසඳුණු කුමන්ත්‍රණ හැටියටය. බටහිර මාධ්‍යයට එවැනි මරණ කාලාන්තරයක් යනතුරු මුල් පුවතකි.
රොක් ඇන්ඩ් රෝල් රජු ලෙස විරුදාවලි ලත් එල්විස් ප්‍රෙස්ලි 1977 අගෝස්තුවේදී අමෙරිකාවේ මෙම්පිස් ප්‍රාන්තයේ පිහිටි ඔහුගේ ග්‍රේස්ලන්ඩ් වතුයායේ විසල් මැදුරේදි මිය ගොස් සිටියේ ලොවම කුතුහලයට පත් කරමිනි. සංගීත ලෝකයේ විප්ලවීය ගායකයා බවට පත්ව සිටි ජැමෙයිකාවේ රෙගේ ගායක බොබ් මාලේ පිළිකාවකින් ජීවිතක්ෂයට පත්වූයේ ඊට වසර හතරකට පසුවය. එය ඔහුට පිළිකා කාරකයක් එන්නත් කිරීමෙන් සිදුවූ මරණයක් බවට අදටත් චෝදනා එල්ල වී ඇත්තේ සීඅයිඒ සංවිධානයටය. 2009 ජූනි මාසයේදී සිදුවූ ලොවක් වසඟ කළ පොප් ගී තරුව මයිකල් ජැක්සන් ලොස් ඇන්ජලිස් නුවර ඔහු විසින් කුලියට ගත් මන්දිරයක අබිරහස් මරණයට ගොදුරු වූයේ මැදියම් රැයේදීය. බටහිර පොප් ගී ලොව ඔටුනු නොපලන් කුමරු ලෙස ප්‍රකටව සිටි ‘ප්‍රින්ස්‘ 2016 අප්‍රේල් මැද භාගයේදී අමෙරිකාවේ මිනෙසෝටා ප්‍රාන්තයේ පිහිටි ඔහුගේ සුපිරි මන්දිරයේ සෝපානයේදී ජිවිතක්ෂයට පත්විය. මේවා අදටත් නොවිසඳුණු අබිරහස්ය.
කාලයෙන් කාලයට අලුත් වන එවැනි අබිරහස් අතරට ඊයේ පෙරේදා එක්වූ අලුත්ම ගී තරුව One Direction සංගීත කණ්ඩායමේ හිටපු සාමාජික ලියැම් පේන් ය. ලොව පුරා තරුණ තරුණියන් අතර අතිශය ජනප්‍රියත්වයට සහ ආදරයට පාත්‍ර වූ 31 හැවිරිදි මේ සුපිරි බටහිර ගායකයාගේ අකල් මරණය ඒ සියල්ලටම වඩා කුතුහලයට හා අවධානයට ලක්වූ එකකි. ඔහු මිය ගියේ ගොඩනැඟිල්ලක තුන්වැනි මහලෙන් බිමට වැටීමෙනි.
වසර 2008දී එවකට 14 හැවිරිදි වියේදී ලෝක ප්‍රකට එක්ස් ෆැක්ටර් රියැලිටි ගායන වැඩසටහනින් ගීත ලොවට පිවිසි මේ ඉංග්‍රීසි ජාතික ගායකයා ඊට වසර දෙකකට පසු තවත් තරුණයන් සිව්දෙනකු සමඟ එක්ව බිහි කළ ‘වන් ඩිරෙක්ෂන්‘ සංගීත කණ්ඩායම මෑත කාලයේ බටහිර පොප් ගීත ක්ෂේත්‍රය තුළ නොම්මර එකේ සංගීත කණ්ඩායම බවට පත්වී තිබිණි. ඔවුන් එක්ව නිර්මාණය කළ ‘What Makes You Beautiful‘, Live While We’re Young‘, Best Song Ever, Story of My Life‘ සහ Drag Me Down වැනි ගීත විදෙස් රටවල තරුණ තරුණියන් අතර පමණක් නොව ශ්‍රී ලංකාවේ බටහිර ගීතලෝලීන් අතරත් ලියැම් පේන් ‘සිහින කුමරකු‘ බවට පත් කර තිබිණි.
පසුකාලීනව ‘වන් ඩිරෙක්ෂන්‘ සංගීත කණ්ඩායම බිඳී යෑමෙන් පසු එහි සාමාජිකයන් වෙන් වෙන්ව සිය ගීත නිර්මාණ ඉදිරිපත් කළ අතර, ලියැම් පේන් ජීවිතක්ෂයට පත්වූයේ ‘වන් ඩිරෙක්ෂන්‘ සාමාජිකයකු වූ නියෝල් හෝරන්ගේ ගීත ප්‍රසංගයක් නැරැඹීමට අජෙන්ටිනාවට ගොස් සිටියදීය.
සඳළුතලයෙන් වැටුණාද? පැන්නාද?
බුවනොර්ස් අයර්ස් නුවර කැසසර් පලේමෝ හෝටලයේ තුන්වැනි මහලේ සඳළුතලයෙන් බිමට වැටුණු බවට මුලින්ම හෙළි වූ පුවත පසුව වාර්තා වූයේ ඔහු බිමට පැන සියදිවි හානි කරගත් බවටය. ඊට හේතු වූයේ ඔහුගේ මරණයට පෙර එම හෝටලයේ අමුත්තන් පිළිගැනීමේ කවුන්ටරයේ සේවකයා 911 පොලිස් හදිසි දුරකතන අංකයට ඇමැතුමක් ලබාදීමය. ඒ වන විට දින තුනක් පුරා එම හෝටලයේ නවාතැන් ගෙන සිටි ලියැම් පේන් අධික ලෙස මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කර පාලනය කරගත නොහැකි අයුරින් හැසිරෙන බවට පොලිසියට දුරකතන ඇමැතුමක් ලැබුණු බව ආජෙන්ටිනාවේ ෆෙඩරල් පොලිසිය ද තහවුරු කර තිබිණි. එම දුරකතන ඇමැතුම පොලිසියට ලැබී ඇත්තේ 16 වැනිදා පස්වරු 5.01ට ය. ඔහුගේ මරණය සිදුවී ඇත්තේ ඊට මිනිත්තු 10කට පසුවය.
“මම කෝල් කරලා කිව්වේ කාටහරි ඉක්මනට එන්න කියලයි. මොකද එයාගේ හැසිරීම අන්තිම දරුණු වෙලයි තිබුණේ”පිළිගැනීමේ කවුන්ටරයේ සේවකයා එසේ ප්‍රකාශ කර තිබේ. ලියැම් පේන් නවාතැන් ගෙන ඇත්තේ සඳළුතලයක් ද සහිත කාමරයක බැවින් ඔහුගේ ජීවිතය අනතුරේ බවත් පිළිගැනීමේ කවුන්ටරයේ සේවකයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව වාර්තා විය. ලියැම් පේන්ගේ ජීවිතය අවදානමේ බව හෝටලයේ කළමනාකරු ද ප්‍රකාශ කර තිබූ අතර, මරණයට පෙර ඔහු සිය කාමරය එහෙම පිටින්ම උඩුයටිකුරු කර තිබූ බව ද ඔහු සඳහන් කර තිබේ.
කෙසේ වුවත් පේන්ගේ මරණය සම්බන්ධව දැනටමත් පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතින බැවින් ඔහුගේ මරණයට සැබෑ හේතුව හෙළි වනු ඇත. පොලිස් විමර්ශන සිදු වන්නේ ඔහු සිය දිවි හානි කරගත්තාද, සඳළුතලයෙන් බිමට වැටුණාද යන්න පමණක් නොව කිසිවකු විසින් ඔහු සඳළුතලයෙන් බිමට තල්ලු කළාද යන්න ද තහවුරු කරගැනීමටය.
ලොව පුරා තරුණ තරුණියන් උන්මාදයට පත් කළ ලියැම් පේන් ජාත්‍යන්තර මාධ්‍ය හඳුන්වනු ලබන්නේ සංගීත ක්ෂේත්‍රයේ තවත් බොහෝ දුරක් යෑමට සිටි තරුණ ගායකයකු හැටියටය. ඔහු පසුවූයේ ‘වන් ඩිරෙක්ෂන්‘ සංගීත කණ්ඩායම බිඳ වැටීමෙන් පසු ගායකයකු ලෙස ගොඩ නඟාගත් සංගීත ජීවිතයේ මුල් අවධියේදීය. එවැනි අසීමිත ජනප්‍රියත්වයකට හිමිකම් කියන තරුණ ගායකයකුගේ අකල් වියෝව සිය දිවි හානි කරගැනීමක් බවට එක එල්ලයේම අනුමාන කළ නොහැකි බවට ද තොරතුරු පළ වී තිබේ.
‘වන් ඩිරෙක්ෂන්‘ සංගීත කණ්ඩායමෙන් ඉවත් වීමෙන් පසු ලියැම් පේන් 2017 දී නිකුත් කළ ඔහුගේ මංගල ගීත ඇල්බමය ‘Strip That Down‘ බ්‍රිතාන්‍ය ගීත දර්ශකයේ තුන්වැනි ස්ථානයට පත්වූ අතර, අමෙරිකාවේ බිල් බෝර්ඩ් ගීත දර්ශකයේ 10 වැනි ස්ථානය අත්කර ගැනීමට සමත්වී තිබිණි.
ෆවුස් මොහොමඩ්