Home » මීගස්වැව ඕ.අයි.සීට ඔත්තුකරුවෙක් හෙළි කළ රහස

මීගස්වැව ඕ.අයි.සීට ඔත්තුකරුවෙක් හෙළි කළ රහස

by Mahesh Lakehouse
October 19, 2024 12:30 am 0 comment

– රුපියල් ලක්ෂ 20 වටිනා ගෝඩා සහිත බැරල් 19කුත් සොයා ගනී
– අලි, කොටි ගහන මහ කැලේ කිලෝමීටර් 12ක් පොලිසිය පා ගමනින් ගොස් කළ මෙහෙයුමක්
– කවුඩුල්ල වැව් රක්ෂිතයේ මහා පරිමාණ කසිප්පු ජාවාරම වටලා 4ක් අත්අඩංගුවට

නීති විරෝධි මත්පැන් හෙවත් කසිප්පු ජාවාරම කොරෝනා වසංගත සමයේ රටපුරා පැතිර ගිය තවත් ඉමහත් වසංගතයකි. අනතුරුව කොරෝනා සමය පහව යාමත් සමඟ ආරක්ෂක අංශ විසින් මහා පරිමාණයේ නීති විරෝධි මත්පැන් ජාවාරම් රැසක්ම නීතියේ රැහැනට කොටුකර ගැනීමට සමත් විය. එවැනි නීති විරෝධි මත්පැන් ජාවාරම් තවමත් තැනින් තැන පවතින බවක් වර්තමානයේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සිදුකරන වැටලීම් ඔස්සේ පිළිබිඹු වේ.

කවුඩුලු වැව ආශ්‍රිතව කවුඩුල්ල රක්ෂිතයේ සිදුවූ මෙකී නීති විරෝධි මත්පැන් ජාවාරම ද එලෙස කලක් පුරාවට සිදුකළ ජාවාරමකි. පසුගියදා එම නීති විරෝධි මත්පැන් ජාවාරම මීගස්වැව පොලිසිය විසින් කොටුකර ගත් ආකාරය මෙලෙසිනි.

කවුඩුල්ල වැව් රක්ෂිතයේ පනහපිටිය, මීගහඇළ සහ දහම්වැව වැව් තාවුල්ල ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් පෙරීමට ගන්නා ලද රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා ගෝඩා ලීටර් 3080ක් සහ ගෝඩා බැරල් 19ක් සමඟ සැකකරුවන් 4 දෙනෙක් මීගස්වැව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නේ පසුගියදාය.

මෙම සැකකරුවන් අතර දර්ශනපුර, නවනගරය, මැදිරිගිරිය ලිපිනයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු සහ මැදිරිගිරිය නව නගරය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු සිටින බව මීගස්වැව පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදී හෙළි විය.

පොලිස් නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් මැදිරිගිරිය, දහම්වැව, වැව් තාවුල්ල ප්‍රදේශයේ රක්ෂිත කැලෑව තුළ ඉටිරෙදි උපයෝගී කරගෙන ගැඹුරට වළවල් හාරා වළ තුළට වතුර ගෙනැවිත් දමා එම වළවල් තුළ කාලයක් තිස්සේ නීති විරෝධි මත්පැන් පෙරීමේ නිරත වී සිටින පුද්ගලයන් බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරීයකු සඳහන් කළේය.

වැටලීම සිදු කළ දින මීගස්වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් බණ්ඩාරට හදිසියේ දුරකතන ඇමතුමක් ලැබිණි. “සර්… තොරතුරක් දෙන්නයි කතා කළේ… මේ වෙලාවේ කතා කරන්න පුළුවන් ද?“ යැයි විමසීය.

එම දුරකතන ඇමතුමට සවන් දුන් මීගස්වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් බණ්ඩාර ඇමතුම දුන් පුද්ගලයාට කීවේ,

“හොඳයි පණිවිඩය කියන්න…“ යැයි කියාය.

දුරකතනයෙන් කතා කළ පුද්ගලයා ඉන් අනතුරුව සියලු තොරතුරු අකුරක් නෑර පොලිස් ස්ථානාධිපතිවරයාට පවසන්නට වූයේ මෙලෙසිනි.

“සර්… මැදිරිගිරිය කන්තලේ මායිමේ තියෙන කවුඩුල්ල වැව් රක්ෂිතයේ මිගල්ලැව ඇළ දිගට කණ්ඩායමක් එකතු වෙලා කසිප්පු පෙරනවා… මේ ඇළේ මේ දවස්වල වතුර නෑ… කසිප්පු පෙරන්නේ වළවල් හදාගෙන… බූලිවලින් වතුර ගෙනැවිත් දාගෙන… කවුරුත් ඒ පැත්තට යන්නේ නෑ. වන සතුන් මරන්න දඩයක්කාරයෝ තුවක්කු බඳිනවා… ඒ නිසා කවුරුත් ඒ කැලෑව ඇතුළට යන්නේ නෑ. සර්ට දැනගන්න කීවේ…” යැයි පවසමින් තොරතුරු දුන් පුද්ගලයා ඇමතුම විසන්ධි කළේය.

තොරතුරු ලැබුණු සැණින් වැටලීම සිදු කිරීමට තීරණය කළ ද අනතුරුදායක ගමනක් වැටලීම සඳහා යාමට සිදුවන හෙයින්ස්ථානාධිපති සමන් බණ්ඩාර පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා, හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලේ යන නිලධාරීන්ගෙන් වැටලීම සඳහා යාමට උපදෙස් ලබාගන්නා ලදි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් බණ්ඩාර සමඟ පොලිස් නිලධාරීන් අටදෙනෙක් මෙම වැටලීම සඳහා යාමට සූදානම් විය. මීගස්වැව පොලිසියේ ස්ථානාධිපති සමන් බණ්ඩාරට තොරතුරු දුන් පුද්ගලයා කී මාර්ගයේ පොලිස් ජිප් රථයෙන් නැඟී මැදිරිගිරිය සිට කිලෝමීටර් 12ක් පමණ දුරක් නිලධරයෝ ගමන් කළහ. සිවිල් ඇඳුමෙන් සැරසුන පොලිස් නිලධාරීන් කැලෑව තුළ ජීප් රථය නතර කර ජීප් රථයෙන් බැස අලි, කොටි ගහන මාර්ගයක ගමන් කරමින් ඔත්තුකරු දුරකතනයෙන් කී ස්ථානයට පා ගමනින් කිලෝමීටර් දෙකක් පමණ යන විට කැලෑව තුළ වාඩි ගසාගෙන කසිප්පු පෙරන පුද්ගලයන් දැක එම ස්ථානය වට කරමින් පුද්ගලයන් 4 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදි. මේ පුද්ගලයන් කසිප්පු පෙරීම සඳහා උපයෝගී කරගත් ගෝඩා බැරල්වල තිබුණු ගෝඩා කැලෑව තුළදීම විනාශ කර ඇත.

ගෝඩා බැරල් සමඟ එලෙස මත්පැන් දැමීම සඳහා උපයෝගී කරගත් බූලි පහක් සහ තඹ දඟර මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබුණි. පොලිස් නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් කාලයක් තිස්සේ ඉතාමත් රහසිගතව කැලෑව තුළ නීති විරෝධී මත්පැන් පෙරීම සිදු කර අවට ගම්මානවලට තොග පිටින් අලෙවි කර මුදල් හරිහම්බ කරගෙන ඇති බවද විමර්ශනවලින් හෙළිදරව් වී තිබේ.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වාගේ උපදෙස් මත හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලේගේ අධීක්ෂණයෙන් මීගස්වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් බණ්ඩාරගේ මෙහෙයවීමෙන් මීගස්වැව පොලිසියේ උප පොලිස් පරීක්ෂක විරසේකර, සැරයන්වරුන් වන 46512 ජගත්, 69176 ගමගේ, 61212 පෙරේරා, 33324 උපාලි, 68931 බණ්ඩාර, කොස්තාපල්වරුන් වන 88883 ලක්ෂාල්, 11491 නිශ්ශංක, 106801 ගුණවර්ධන යන නිලධාරීන් මෙම වැටලීම සිදු කරන ලදි.

සැකකරුවන් හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නඩු පැවරීමට පොලිසිය කටයුතු යොදා ඇත.

ඇළහැර සරත් වෙලගෙදර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division