– පස්දරු මවගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඒවා අන්තර්ජාලයට දමනවා යැයි කියා කප්පම් ඉල්ලලා
– ඔක්කම්පිටිය පොලිසියෙන් ඇසුණු කතාවක්
– සැකකරු පොලිස් අත්අඩංගුවට
අන්තර්ජාලය ඔස්සේ විශේෂයෙන් තරුණ කාන්තාවන්, සිසුවියන්, අපහසුතාවට, කරදරයට, දුකට, කනස්සල්ලට පත් කිරීමේ සිදුවීම්වල දිනෙන් දින ප්‍රවණතාවක් දක්නට ලැබෙන්නේ ඒ පිළිබඳව පොලිසියට ලැබෙන පැමිණිලිවලද ක්‍රමික වර්ධනයක් දක්නට තිබෙන නිසාය. පොලිසියට වාර්තා නොවන තවත් සිදුවීම් යම් ප්‍රමාණයක් ඇති බව නම් හොඳින් පැහැදිලිය.
ආදරය කරන කාලයේ කරන කියන දෑ ගැන පරෙස්සම් විය යුත්තේ මේ ‘ආදර කතා’ බොහොමයකටම එතරම් ආයුෂ නැති නිසාය. තම පෙම්වතිය අමනාප වූ පමණින් ක්‍රියාත්මක වන ඇතැම් පෙම්වතුන්, පෙම්වතියන්ගේ ආත්මයම නැති බංගස්තාන කරන්නේ අන්තර්ජාලය ඔස්සේය.
ආදරය කරන කාලයේ පෙම්වතාගේ ඉල්ලීමට අන්තර්ජාලය ඔස්සේ ඔහුට යැවූ තම නිරුවත් පින්තූර පෙම්වතා තරහා වූ විට ලෝකයාම දකින්නේ අන්තර්ජාලය මඟිනි. එවැනි අමන පෙම්වතුන් ගණනාවක් ගැන පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේය. ‘මුහුණුපොත’ මෙන්ම ‘ටික්ටොක්’ යෙදුමද ඇතැම් පුද්ගලයින් නරකට භාවිත කරන බව නොදන්නා කෙනෙක් නැත. ටික්ටොක් යෙදුම සහ මුහුණුපොත ඔස්සේ තරුණ කතකට සහ සිසුවියකට මුහුණපාන්නට සිදුවූ අනුවේදනීය සිදුවීම් දෙකක් පසුගියදා වාර්තා වූයේ නිට්ටුඹව මූලස්ථාන පොලිසියෙන් සහ මොනරාගල දිසාවේ ඔක්කම්පිටිය පොලිස් ස්ථානයෙනි.
මේ කතා දෙකම දිගහැරෙන්නේ මෙසේය.
ඇය පනස්තුන් හැවිරිදිය. පස්දරු මවකි. පදිංචිය මොනරාගල දිසාවේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේය.
මේ පස් දරු මව සිය සැමියාගෙන් වෙන් වන්නේ මීට වසර 08කට පමණ පෙරදීය. ඉන් අනතුරුව ඇය වෙනම ජීවත් වූවාය. ඇය විදේශගත වූවාය. ඒ ගෘහ සේවිකාවක වශයෙනි. වසර කිහිපයක් ගෘහ සේවිකාවක ලෙස විදේශයක සේවය කළ ඕ වතා කිහිපයකදී මෙරටට පැමිණියාය. අවසන් වරට ඇය ගෘහ සේවය සඳහා කුවේටය බලා ගොස් ඇත්තේ 2023 වසරේදීය. මේ පස්දරු මව මුහුණුපොත පරිශීලනය කළාය. ඇය එහිදී ශ්‍රී ලාංකික තරුණයකු දැනහැඳින ගත්තාය. එසේ දැනහැඳින ගත් පුද්ගලයාද මොනරාගල දිසාවේ ඔක්කම්පිටිය පොලිස් බලප්‍රදේශයේ බුරුතගොල්ල ගම් පළාතේ අයෙකි.
මුහුණුපොතින් දැන හඳුනාගත් දෙදෙනා කලකදී පෙම්වතුන් පෙම්වතියන් බවට පත් වූහ. තරුණයා එක දිනක් ඇයට ආයාචනා කරන්නේ ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ තමන්ට එවන ලෙසය. මුහුණු පොතේ පෙම්වතා ගැන සැකයක් නොසිතන පස්දරු මව ඔහුට තමාගේ නිරුවත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය ඔස්සේ ලැබෙන්නට සැලස්සුවාය. ඊට අමතරව ඇය තමා නිරුවතින් හැසිරෙන වීඩියෝ දර්ශනද පෙම්වතාට එව්වාය.
මේ පෙම්වතා මෙලෙස පස්දරු මවගෙන් නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ගෙන්වා ගන්නේ හොඳ අරමුණකින් නොවේ. ටික දවසකින් පස්දරු මව සමඟ බොරු ගෝරියක් දමාගත් කපටි පෙම්වතා ඇයට තර්ජනය කරන්නේ ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දමන බවට තර්ජනය කරමිනි. පස්දරු මව මේ පුවත අසා අසරණ වූවාය. පෙම්වතා නැවත ඇයට පවසන්නේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට නොදමා සිටීමට නම් තමන්ට මුදල් අවශ්‍ය බවයි. තමන්ට මුහුණ දීමට සිදුවන අපහසුතාව, ලඡ්ජාව ගැන කල්පනා කළ කාන්තාව තරුණයාට මුදල් එව්වාය. එහෙත් ඒ තර්ජනය නැවතුණේ නැත. තරුණයා තර්ජනය කරන වාරයක් වාරයක් පාසා ඔහුට මුදල් එවීමට මේ පස්දරු මවට සිදු විය.
ඉන් අනතුරුව පෙම්වතා ඇයට පවසන්නේ මෙරටට වහාම පැමිණෙන ලෙසයි. පෙම්වතාගේ බස් ඇසූ පස්දරු මව මෙරටට ආවාය. ඒ ඉකුත් අගෝස්තු මාසයේදීය. ඉන් අනතුරුව ඇයට සිදු වූයේ ඔහුගේ නිවසේ අඹුසැමියන් ලෙස ජීවත් වීමටයි.
තමා මුහුණපා සිටින මේ අකරතැබ්බයෙන් බේරීම සඳහා උපායක් කල්පනා කරන මේ පස්දරු මව මේ ගැන ඔක්කම්පිටිය පොලිසියට පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය. මේ සිදුවීම ගැන විමර්ශන කරන ඔක්කම්පිටිය පොලිස් නිලධාරින් බුරුතගොල්ලේ පදිංචි සැකකාර තරුණයා අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.
මීට බෙහෙවින් සමාන අනෙක් සිද්ධිය වාර්තා වන්නේ ගම්පහ දිසාවේ නිට්ටඹුව පොලිස් ස්ථානයෙනි.
කැලණිය, පෙතියාගොඩ පදිංචි 20 හැවිරිදි තරුණයෙක් අන්තර්ජාලයේ ‘ටික් ටොක්’ හරහා සිසුවියක දැනහැඳින ගන්නේ මීට ටික කාලයකට කලිනි. දෙදෙනාගේ ඇසුර ප්‍රේමයකට පෙරැළිණි. මේ සිසුවිය ප්‍රේමය ඇසුරේදී පෙම්වතාට පවසන්නේ තමාගේ වයස අවුරුදු 17ක් බවය. අදාළ සිසුවිය 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අතර ඒ වන විට ඇගේ වයස අවුරුදු 14යි මාස 10 කි.
දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධය මෙසේ පැවැත්වෙද්දී 20 හැවිරිදි තරුණයා ඇය තම නිවසට කැඳවාගෙන ගියේ ඇය සමඟ දිගටම අඹුසැමියන් ලෙස ජීවත් වීම සඳහාය. මෙලෙස මේ දෙදෙනා සති තුනක් අඹුසැමියන් ලෙස ජීවත් වූහ.
තම දියණිය ආගිය අතක් නැති බව දැනගත් මව මේ ගැන නිට්ටඹුව මූලස්ථාන පොලිසියට පැමිණිලි කළාය. මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් චන්දනගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කෙරිණි.
පොලිස් විමර්ශනවලදී හෙළි වන්නේ සිසුවිය සිය පෙම්වතා සමඟ ගොස් ඇති බවයි. එම පුද්ගලයා පිළිබඳව සියලු තොරතුරු පොලිසිය සොයාගන්නේ ඉන් අනතුරුවය. පෙම්වතා ඉතා උපක්‍රමශීලිව කිසියම් ස්ථානයකට ගෙන්වාගෙන අත්අඩංගුවට ගැනීම පොලිස් නිලධාරින්ගේ සැලසුම වූ අතර, එය ‘කිරි ගහට ඇන්නාක්’ සේ ක්‍රියාත්මක වූයේ පෙම්වතා පොලිස් අත්අඩංගුවට පත්වීමෙනි.
සිසුවිය අධිකරණ නියෝග මත වෛද්‍ය පරීක්ෂණයකට ලක්කෙරිණි.
නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් චන්දන කුමාරගේ උපදෙස් මත ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී පොලිස් පරීක්ෂිකා වසුන්දරා ගුණරත්න, සැරයන් (5172) නිර්මලා කරුණාරත්න, කාන්තා කොස්තාපල් (6690) දීපිකා නිශාන්ති, කොස්තාපල් (76136) එම්. ඒ. ධනංජය යන නිලධාරින් වැඩිදුර විමර්ශන සිදු කරන ලදි.
දීපාල් සමරසේකර