Home » ඉඩමක් සෙවූ ව්‍යාපාරිකයාට පහළ වූ ‘නිධානය’

ඉඩමක් සෙවූ ව්‍යාපාරිකයාට පහළ වූ ‘නිධානය’

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

– රන්කාසි දාහක්, දඹ රන් පිළිමයක් රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට විකුණන්න ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

පුරාවස්තු එකතු කිරීමට ඇතැම් පුද්ගලයන්ට ඇත්තේ ලොකු ආශාවකි. මේ හේතුව නිසාම පුරාවිද්‍යා රක්ෂිත වනසමින් නිධන් සොයන ජාවාරම්කරුවන්ට වැඩ වැඩි වී තිබේ. ඒ මෙවැනි පුද්ගලයන්ට නිධන් සහ පුරාවස්තු විකිණීම සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදුවීම නිසාය.

පුරාවස්තු, නිධන්, වාලම්පුරි, ගජමුතු, දඹරන් පිළිම, මැණික්, රන් කාසි විනෝදාංශයක් ලෙස එකතු කිරීමේ නිරත ඇතැම් පුද්ගලයන් එම ක්‍රියාවේ නිරත වන්නේ උමතුවෙන් මෙනි. ඒ අයගෙන් වැඩි දෙනා අතමිට මුදල් හදල් යහමින් ගැවසෙන ධනවතුන් යැයි කීවොත් මුසාවක් නොවේ. පිස්සු වැටුණාක් මෙන් හැසිරෙමින් නිධන් සහ පුරාවස්තු පසුපසම දුවන මේ පුද්ගලයන් ඉතා පහසුවෙන් රැවටිය හැකි බව පුරාවස්තු ජාවාරම්කරුවෝ හොඳින් දනිති. එවැනි ජාවාරම්කරුවන්ට රැවටි අතේ තිබෙන මුදලත් නැති කරගෙන හිරේ විලංගුවේ වැටීමටද සිදු වුණු අය බොහෝය. එහෙත් ‘අබිං කෑවා’ සේ මේ අය සිය ගමන නවත්වන්නේද නැත.

නිධන්වලින් ලබාගත් බව කියා රන් නෙළුම් මලක් රුපියල් ලක්ෂ ගණනකට අලෙවි කිරීමට ගිය පුද්ගලයෙකු මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය යටතේ ක්‍රියාත්මක වන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලුම් බණ්ඩාරට කොටු වුණේ පසුගියදාය. හොර ගජමුතු ජාවාරම්කරුවන් කීපදෙනෙකු නීතියේ රැහැනට හසු කරගැනීමට පොලිස් පරීක්ෂක කැලුම් බණ්ඩාරට පසුගිය දිනවල හැකි වී තිබිණි.

එලෙස ගජමුතු ජාවාරම්වල නිරත පුද්ගලයින් සැලකිය යුතු පිරිසක් පසුගිය දිනවල රටේ විවිධ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වීමද සුවිශේෂිය.

උතුරුමැද පළාත කේන්ද්‍රස්ථානය කරගනිමින් අනුරාධපුර සහ පොලොන්නරුව දිසාවල ක්‍රියාත්මක වූ ‘මරංචි’ සහ ‘ඇත්දළ’ ජාවාරමද පසුගිය කාලයේ කරළියට පැමිණියේය. නිධන්වලින් ලබාගත් රන්කාසි බව කියා ‘මරංචි’ අලෙවි කිරීමට ජාවාරම්කරුවෝ පෙළඹී තිබුණේ ඊට ඉතා පහසුවෙන් ලෙහෙසියෙන් ඇතැම් පුද්ගලයන් කොටුකරගැනීමට හැකිවීම නිසාය. ඇත්දළ ජාවාරමද එසේමයි.

තණ්හාව වැඩිකමටම ඇතැම් පුද්ගලයෝ මේ නිධන් සහ පුරාවස්තු ජාවාරමුන්ට ඉතා ලෙහෙසියෙන් පහසුවෙන් හසුවී අතේ ඇති මුදල් හදල් නැති බංගස්ථාන කරගන්නා බව පොලිසියේ අදහසයි. එම පන්නයේ අලුත්ම සිද්ධිය වාර්තා වූයේ ද අනුරාධපුර දිසාවෙනි. මේ ජාවාරම හෙළිකර ගන්නේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන් සිදු කරන ලද විමර්ශනයකදීය.

ධනවත් ව්‍යාපාරිකයෙක් තමාට ඉඩමක් අවශ්‍ය බවට පුවත්පතක දැන්වීමක් පළකර තිබිණි. එහි එම ව්‍යාපාරිකයාගේ දුරකතන අංකයද සඳහන් කර තිබුණේ අවශ්‍ය අයකුට ව්‍යාපාරිකයා සම්බන්ධ කරගැනීම සඳහාය. අදාළ දුරකතන අංකයට පසුගිය දිනෙක ඇමතුමක් ලැබිණි. එම ඇමතුම ලබා දී තිබුණේ අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයේ අයෙකි. එහෙත් ඔහු ව්‍යාපාරිකයාට කතාකර තිබුණේ ඉඩමක් ගැන දැනුම් දීමට නොව නිධානයකින් ගත් රන්කාසි තොගයක් පිළිබඳව කතා කිරීම සඳහාය.

ව්‍යාපාරිකයාගේ දුරකතන අංකයට ඇමතුම දුන් පුද්ගලයා තමා ව්‍යාපාරිකයාට හඳුන්වා දෙමින් පවසන්නේ නිධානයකින් ගොඩ ගත් රුපියල් කෝටි 5ක් පමණ වටිනා රන්කාසි දහසක් සහ දඹරන් පිළිමයක් රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට අලෙවි කිරීමට සුදානම් කර ඇති බවයි.

රුපියල් කෝටි පහක් පමණ වටිනා රන්කාසි සහ දඹරන් පිළිමය රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට තමාට ලබා ගැනීමට හැකිනම් ලොකු ලාභයක් ලබාගත හැකි බව කල්පනා කළ ව්‍යාපාරිකයා ඇමතුම දුන් පුද්ගලයා සමඟ සම්බන්ධ වී ඔහුට පවසන්නේ අදාළ රන්කාසි සහ පිළිමය පරීක්ෂා කර බලා ඊට වටිනා මිලක් නියම කළ හැකි බවයි.

මේ ගනුදෙනුව එලෙස සැලසුම් වෙද්දී අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමකටද මේ ගැන එහෙන් මෙහෙන් දැනගන්නට ලැබෙන්නේ රහසිගත තොරතුරු ඔස්සේය.

රන්කාසි ගනුදෙනුව සිදුවන අවස්ථාවේදීම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සැලසුම් සකස් වූ අතර පොලිස් නිලධාරිනියක් ‘උපාය දූතියක්’ ලෙස ද මේ සඳහා යොදවන්නේ සැලැසුම සියයට සියයක් නිවැරදිව ක්‍රියාත්මක විය යුතු නිසාමය.

රන්කාසි මිලට ගැනීමට අනුරාධපුර පැරණි බස් නැවතුම් පොළට ආ ව්‍යාපාරිකයා සහ ඔහුට රන්කාසි සහ දඹරන් පිළිමය අලෙවි කිරීමට ගෙනා පුද්ගලයන් දෙදෙනා කොටුකර ගැනීමට පොලිසියට හැකි විය.

ව්‍යාපාරිකයාට රන්කාසි සහ පිළිමය අලෙවි කිරීමට ආ දෙදෙනා අනුරාධපුර පරසන්ගස්වැව සහ දේවානම්පියතිස්සපුර පදිංචිකරුවෝය. ඔවුහු අවුරුදු 60 සහ 52 වයස්වල පසුවන අය වෙති.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ රන්කාසි කිලෝ දෙකක් පමණ බරැතිය. එහි රන්කාසි දහසකට ආසන්න සංඛ්‍යාවක් අඩංගුය. ඒවායේ සටහන්ව තිබුණ විවිධ පුරාණ අක්ෂර ද පොලිසියට නිරීක්ෂණය විය.

රන්කාසි සමඟ අත්අඩංගුවට ගන්නා ලද දඹ රන් යැයි කියූ පිළිමයේ සුවඳ හමන තෙලක් ගල්වා තිබූ අතර එහි සිවුරේ රැලි අතර පස් තැවරී තිබුණ බව පොලිස් නිලධරයන්ට නීක්ෂණය විය. එම පිළිමය භූගතව තිබියදී ගොඩ ගත් බව පෙන්වීම සඳහා ජාවාරම්කරුවන් පිළිමයේ සිවුරේ රැලි අතර පස් තවරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

මෙම පිළිමය සහ රන්කාසිවල පුරාවිද්‍යා වටිනාකමක් ඇත්දැයි සොයා බැලීම සඳහා ඒ සම්බන්ධව පුරාවිද්‍යා වාර්තාවක් ලබා ගැනීමට ද නියමිතය.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර, සැරයන්වරුන් වන 48317 බණ්ඩාර, 61406 නිශාන්, 71544 සමන්, කොස්තාපල් 88901 මධුෂංක සහ කොස්තාපල් රියැදුරු 80974 අලහකෝන් යන නිලධරයෝ විමර්ශන සිදු කළහ.

ඡායාරූප – අනුරාධපුර පී. බී. චතුරංග

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division