Home » ප්‍රතිවාදියෙක් වළපල්ලට යවන්න රොටුඹ අමිල ඩුබායි සිට ගහපු ප්ලෑන

ප්‍රතිවාදියෙක් වළපල්ලට යවන්න රොටුඹ අමිල ඩුබායි සිට ගහපු ප්ලෑන

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

– පිස්තෝලය සහ වෙඩික්කරු කොළඹ සිට මාතරට ගෙනා පුද්ගලයාත් දැලේ
– මාතර ත්‍රිරෝද රථ රියැදුරු සජිත් රොෂාන් ඝාතනයට සැක හයදෙනෙක් අල්ලයි
– ඝාතනයට හේතුව මත්කුඩු ආරවුලක්

මෙරට සිට හෝ රටින් පිටත සිට පාතාල කල්ලි කණ්ඩායම් පාතාල ක්‍රියාකාරකම් බොහොමයකට සම්බන්ධය. මේවාට සම්බන්ධ වැඩි දෙනෙකු ආරක්ෂක අංශවල සේවය කොට ඉවත් වූ අය බව හඳුනාගෙන ඇත. මේ නිසාම පාතාල සාමාජිකයන්ගේ බොහොමයක් ඉලක්ක සාර්ථක වූ අවස්ථා පසුගිය කාලය පුරාවට දක්නට ලැබුණි. මෙහි ආසන්නම අවස්ථාවක් වන්නේ මාතර පොලිස් වසමේ රුවන්ඇල්ල ප්‍රදේශයේ සිදු වූ මිනිස් ඝාතනයයි.

ඉකුත් ඔක්තෝම්බර් මස 15 වැනි දින ඝාතනය සිදු විය. නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරින් ඝාතනය වූයේ කැකණදුර ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකු වන 53 හැවිරිදි දිසානායක මොහොට්ටිගේ සජිත් රොෂාන්ය.  

මාතර කොටුවේගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ මගී ප්‍රවාහන සේවයේ යෙදී සිට ඇති රොෂාන් ඝාතනයට ලක් වූ දින සවස 3ත් 3.45ත් අතර මාතර කොටුවේ සිට මගියෙකු ත්‍රිරෝද රථයේ නංවාගෙන රුවන්ඇල්ල ප්‍රදේශයට කුලී ගමනක් යමින් සිටියදී රුවන්ඇල්ල විහාරස්ථානයට ආසන්නයේ මඟ දෙපස පිහිටි පාළු කුරුඳු ඉඩම ඉදිරිපිටදී කුලී ගමනට එක්ව ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් කරමින් සිටි මගියා විසින් පස්වරු 05ත් 5.10ත් අතර කාලයේදී පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් ත්‍රිරෝද රථයේ පිටුපස සිට රථය පදවමින් සිටි සජිත් රොෂාන්ගේ පිටට වෙඩි පහර දෙකක් එල්ල කිරීමත් සමඟ ත්‍රිරෝද රථය නවතා දැඩි වේදනාවකින් රොෂාන් ඉන් බහිනවාත් සමඟ ත්‍රීරෝද රථයේ පිටුපස කොටස ඇතුළට ඇද වැටී එම ස්ථානයේදීම මරුමුවට පත් විය.

ඒ සමඟින් ඝාතකයා එතැනින් පැනගෙන සැලසුම් ගත ලෙස ආසන්නයේ රඳවා තිබූ සුදු පැහැති මෝටර් රථයකට ගොඩ වී ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. මේ අපරාධය දින ගණනක සිට සිදුකර ඇති සැලසුමක ප්‍රතිඵලයක් බව පොලිසියේ සැකයයි.

මාතර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වෙත 119 හදිසි දුරකතන අංකයට ලද තොරතුරක් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. එච්. යාපා ඇතුළු කණ්ඩායම වහාම වෙඩි තැබීම සිදුවී ස්ථානයට ගොස් ඇති අතර පොලිස් කණ්ඩායම එම ස්ථානයට ළඟාවන විටත් වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සහ ඔහුගේ සහායක කණ්ඩායම ප්‍රදේශයෙන් පලා ගොස් සිට ඇත.

ඒ සමඟම මාතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි ඇතුළු තවත් පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණි අතර ඔහුගේ දැනුම් දීම මත මාතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ සහ ඇඟිලි සලකුණු අංශයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ ආරම්භ කළ අතර උසස් පොලිස් නිලධාරීන්ගේ දැනුම් දීම මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, මාතර අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරී කණ්ඩායම් එහි පැමිණ විමර්ශන ආරම්භ කළ ද ඝාතකයා ඇතුළු පිරිස කොටු කරගැනීමට අවස්ථාව ලැබුණේ නැත.

මූලික පොලිස් විමර්ශන මත හඳුනාගත් තොරතුරු ඔස්සේ ඝාතකයා සොයා අංශ කිහිපයකින් පොලිස් පරීක්ෂණ ආරම්භ කළ අතර ඒ සඳහා මාතර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ කණ්ඩායමක්, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කණ්ඩායම් දෙකක්, මාතර අපරාධ කොට්ඨාසය කණ්ඩායම් දෙකක් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් ඇතුළු පොලිස් කණ්ඩායම් හයක් යෙදවීමට පියවර ගෙන තිබුණි.

ඝාතනයෙන් පසු දින කීපයක් ගියද ඝාතකයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වුවද පොලිස් පරීක්ෂණ දිනෙන් දින ක්‍රියාත්මක වෙමින් තිබුණේය. ඒ අතර පරීක්ෂණ සඳහා එක්ව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකින් කියවුණේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු මාතර නගරාසන්නයේම ගම් කිහිපයක සිටින බවයි. ඔවුන් මේ ඝාතනයට සෘජුවම සම්බන්ධ බවත්, ඝාතනය සඳහා පැමිණි මෝටර් රථය රැගෙන ඒම, ඊට ඉන්ධන ලබා ගැනීම, අදාළ ස්ථානයට රැගෙන ගොස් ස්ථානගත කර තැබීම මෙන්ම එක් එක් අවස්ථාවල ඔත්තු බලමින් සැලසුම ක්‍රියාත්මක කිරීමට ඝාතකයාට තොරතුරු ලබාදීම සිදුකර ඇත්තේ මෙම පිරිස බව පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි විය.

ඒ අනුව ඉතා සූක්ෂම මෙහෙයුමක් සැලසුම් කළ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිස් ඉකුත් දාහත් වැනිදා කැකණදුර සහ මාතර තොටමුණ ප්‍රදේශවල සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ලද තොරතුරු මත මාතර වල්ගම ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සජිත් රොෂාන් ඝාතනයේ මෙහෙයුම විදේශගතව සිටින පාතාල කල්ලි නායකයකු වූ ‘රොටුඹ අමිල’ විසින් මෙහෙයවා ඇති බවත් කොන්ත්‍රාත්තුවක් මත සිදුකළ මෙම ඝාතනයේ සැකකරුවන් තිදෙනා ඝාතනයේ කොටස්කරුවන් වශයෙන් පවරන ලද වගකීම් ඉටුකර ඇති නිසා ඔවුන්ට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් ලබා දී තිබූ බවයි.

ලද තොරතුරු ඔස්සේ පරීක්ෂණ පවත්වා ඇති පොලිස් විශේෂ කාර්ය බළකාය ඝාතනයේ වෙඩික්කරු ලෙස කටයුතු කළ කර ඇති තැනැත්තා පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කරමින් සිටියදී ඉන් ඉවත් කරන ලද අයෙකු වූ මාතර පරමුල්ලේ පදිංචි අයෙකු බවද අනාවරණය කරගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පසුගිය 18 වන දින ඉදිරි විමර්ශන සඳහා මාතර මූලස්ථාන පොලිසිය වෙත භාරදී තිබුණි.

ඒ අතර සජිත් රොෂාන් ඝාතනයේ වෙඩික්කරු සහ ඝාතනය සඳහා කොළඹ සිට මෝටර් රථයකින් ගිනිඅවිය රැගෙන ආ වල්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ඇතුළු ඔවුන් දෙදෙනාට කෑගල්ලේදී නවාතැන් ලබාදුන් පුද්ගලයාද පසුගිය 22 දින දහවල් කෑගල්ලේදී සිදුකළ මෙහෙයුමකදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලිසිය සඳහන් කළේය.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේස්ත්‍රාත් සේනාරත්ත සහ මාතර හා තංගල්ල කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා යන නිලධරයන්ගේ උපදෙස් මත මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහගේ අධීක්ෂණයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන මාතර මූලස්ථාන පොලිසිය සහ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදු කරනු ලබන අතර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා එම ඒකක වෙත භාර දෙන ලදි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division