– පොලිස් පරීක්ෂණ ඇරඹෙද්දී කාරය පෑලියගොඩ පොලිසිය අසල දමා ගිහින්
– පිළියන්දල විශ්‍රාමික වෛද්‍යවරයකුගේ නිවෙසේ වැඩට ආ රියැදුරෙක් දොස්තරගේ ලක්ෂ 40ක කාරය උස්සලා
– වෛද්‍යවරයාගේ පුතයි මුනුපුරයි මරන බවට තර්ජනත් කරලා
පුවත්පත්වල සහ අන්තර්ජාලයේ පළවන දැන්වීම් බලා විශේෂයෙන් නිවාසවල රැකියා සොයාගෙන එන ඇතැම් පිරිමින් සහ කාන්තාවන් නිවැසියන් රවටා ඔවුන් සන්තකයේ ඇති මිල මුදල්, රන් ආභරණ සහ දේපළ සොරකම් කරගෙන පලා ගිය සිදුවීම් රැසක් පසුගිය කාලයේ අසන්නට දකින්නට ලැබිණි. මේ තොරතුරු වැඩිදුර වාර්තා කර තිබුණේ ජනමාධ්‍ය මඟිනි.
ගෘහ සේවයට එන ඇතැම් කතුන් නිවැසියන් රවටා නිවැසියන් සතු රුපියල් ලක්ෂ ගණනක මුදල්, රන් ආභරණ සොරකම් කරගෙන පලා යාමේ සිදුවීම් රැසක් ද පසුගියදා වාර්තා විය. එවැනි සිදුවිම් සැලකිය යුතු සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට දීර්ඝ විමර්ශනයක් ද සිදුකරගෙන යන බව දැනගන්නට තිබේ.
පුවත්පතක පළවූ එවැනි දැන්වීමක් බලා වෛද්‍යවරයකුගේ නිවෙසකට රියැදුරු රැකියාවකට පැමිණි වංචනික පුද්ගලයකු වෛද්‍යවරයා සතු රුපියල් ලක්ෂ හතළිහක් පමණ වටිනා කාරය සොරකම් කරගෙන පලා යාමේ සිද්ධියක් පසුගියදා හෙළි වූයේ පිළියන්දල පොලිසිය සිදුකරන ලද විමර්ශනයේදීය.
මේ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.
ඔහු විශ්‍රාමික වෛද්‍යවරයෙකි. පදිංචිය පිළියන්දල පොලිස් වසමේය. තමාට අයත් කාරය ධාවනයට රියැදුරකු සොයන මේ වෛද්‍යවරයා ඒ සඳහා සතිඅග පුවත්පතක දැන්වීමක් පළ කරන්නේ නිවෙසේ නැවතී සේවය කළ හැකි රියැදුරෙකු අවශ්‍යව ඇති බව සඳහන් කරමිනි. වෛද්‍යවරයා පළ කළ දැන්වීමට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයකු වෛද්‍යවරයා සොයා එන්නේ දින කීපයකට පසුය.
එසේ ආ පුද්ගලයාගේ වයස අවුරුදු 31කි. ඔහුගේ රියැදුරු බලපත්‍රය වෛද්‍යවරයා පරික්ෂා කෙරෙන්නේ ඉන් අනතුරුවය.
තමන් විවිධ ප්‍රභූ පුද්ගලයන්ගේ රියැදුරකු ලෙස කටයුතු කළ බව රැකියාව සොයා ආ පුද්ගලයා වෛද්‍යවරයාට දන්වන්නේ අනතුරුවය. එය තහවුරු කිරීම සඳහා ඔහු තමන් විවිධ තරාතිරම්වල ප්‍රභූ පුද්ගලයන් සමඟ එකට සිටින ඡායාරූප ද වෛද්‍යවරයාට පෙන්විය. මේ පුද්ගලයා ගැන පැහැදුණු වෛද්‍යවරයා ඔහු සතු සහතික සහ රියැදුරු බලපත්‍රයත් ජාතික හැඳුනුම්පත පරික්ෂා කර බලා ඔහුට රැකියාව ලබා දුන්නේය. ඒ ඔහුට අයත් කාරයේ රියැදුරු ලෙසය.
මාස දෙකක් පමණ ඉතා හොඳින් අදාළ නිවෙසේ කල්ගත කරමින් රැකියාවේ නිරත වුණු රියැදුරා විශ්‍රාමික වෛද්‍යවරයාගේ ද සිත දිනා ගත්තේය. ඒ අතර ඔහු එම නිවෙසේම සේවය කරන තවත් පුද්ගලයකු සමඟ බහින්බස් වී මත ගැටුමක් ඇතිකර ගත්තේ අනපේක්ෂිතවය.
එම බහින්බස් වීමෙන් අනතුරුව රියැදුරා විශ්‍රාමික වෛද්‍යවරයාට පවසන්නේ තමා රැකියාවෙන් සමුගන්නා බවය. එය රියැදුරාගේ කැමැත්ත බව ඔහුට පහදා දුන් විශ්‍රාමික වෛද්‍යවරයා රියැදුරාට සමු දුන්නේ ඔහු එතෙක් කළ සේවයට කෘතඥතාව ද දක්වමිනි.
ඒ අවස්ථාවේ රියැදුරු සිටියේ කාරය සෝදා පවිත්‍ර කරමිනි. වෛද්‍යවරයා ඔහුගෙන් ඉල්ලීමක් කළේ ඔහු නිවෙසින් පිටවී යාමට පෙර කාරය ගරාජයට දමා යන ලෙසය.
තවත් ටික වේලාවකින් වෛද්‍යවරායට දුරකතන ඇමැතුමක් ලැබිණි. ඒ වෛද්‍යවරයාගේ නිවෙස ඉදිරිපිට පිහිටි දෙමහල් නිවෙසේ ඉහළ මාලයේ සිටින නිවෙස හිමිකරුගෙනි. ඔහු වෛද්‍යවරයාගේ රියැදුරු සහ ගෘහසේවකයා අතර ඇතිව තිබූ ආරවුල ගැන දැන සිටි අතර රියැදුරු කාරය සෝදා එය ධාවනය කරගෙන නිවෙසින් පිටව යනු දැක තිබිණි. ඔහු දුරකතන ඇමතුමක් දී වෛද්‍යවරයා ඒ ගැන දැනුම්වත් කරන්නේ එවිටය.
තමාගේ කාරය රියැදුරු ගෙන යන බව දැනගත් වෛද්‍යවරයා ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් දී විමසන්නේ ඔහු කොහේදැයි කියාය. තමන් කාරයත් රැගෙන පිළියන්දලට ආ බවත් කෑම එකක් රැගෙන නැවත නිවෙසට පැමිණ කාරය භාර දී යන බව රියැදුරු වෛද්‍යවරයාට පවසන්නේ එහිදීය.
රියැදුරු නැවත නිවෙසට පැමිණියේ නැත. ඔහු වෛද්‍යවරයාගේ දුරකතන ඇමතුම්වලට පිළිතුරු නොදුන් නිසා වෛද්‍යවරයා වහාම කරන්නේ මේ ගැන පිළියන්දල පොලිසියට ගොස් පැමිණිල්ලක් කිරීමයි.
පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගමගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර ඇතුළු කණ්ඩායමක් වහාම සිදුකරන්නේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට කතා කර අදාළ කාරයේ ලියාපදිංචි අංකය දන්වා එය කිසිවකුට අලෙවි කළ නොහැකි ලෙස කටයුතු කිරීමයි. එහෙත් එහිදී හෙළිවන්නේ ඊට ටික දිනකට පෙර එම කාරය රියැදුරාගේ නමට ලියාපදිංචි කරගෙන තිබුණ බවයි.
ඒ අනුව එම නමට අදාළ ලිපිනය සොයාගත් පොලිස් නිලධාරින් කැලණිය ප්‍රදේශයේ පිහිටි අදාළ නිවෙසට ගියද එහි සිට ඇත්තේ රියැදුරුගේ බිරිය පමණි. බිරියගෙන් පොලිසිය ප්‍රශ්න කරද්දී ඇය පවසන්නේ සැමියා දින කීපයකින් නිවෙසට නොපැමිණි බවකි.
රියැදුරු සොයන පොලිස් නිලධාරින් කැලණිය ප්‍රදේශයේ තවත් නිවෙසකට යන අතර එම නිවසේ ද ඔහු නොමැති නිසා ඔහුගේ ගම් පළාත වන මතුරට ප්‍රදේශයට යන්නේ රියැදුරු එහි ගොස් ඇත්දැයි බැලීම සඳහාය.
රියැදුරුගේ ගම් ප්‍රදේශය වන මතුරටට ගිය පොලිස් නිලධාරින් ඔහුගේ නිවෙස සොයාගෙන රියැදුරු ගැන විමසද්දී නිවැසියන් පොලිසියට පවසන්නේ රියැදුරු බසයක නැඟී ඊට පෙර දින කොළඹ ගිය බවයි. පොලිසිය තමන් පසුපස හඹා එන බව දැනගත් රියැදුරා විශ්‍රාමික වෛද්‍යවරයා අමතා පවසන්නේ වෛද්‍යවරයාට අයත් කාරය පෑලියගොඩ පොලිසිය අසල නවතා ඇති බවය. වාහනයට කිසිම අලාභයක් සිදුකර නැති බව වෛද්‍යවරයාට පවසන රියැදුරු ඔහු අමතා තවදුරටත් පවසන්නේ පොලිසිය තමාගේ බිරිය හෝ දරුවා රැගෙන ගියහොත් තමා වෛද්‍යවරයා, ඔහුගේ පුත්‍රයා සහ මුනුපුරා ඝාතනය කරන බවය.
මේ තොරතුරු විශ්‍රාමික වෛද්‍යවරයා පොලිසියට ලබා දුන් අතර පෑලියගොඩ පොලිසිය අසලට ගිය පිළියන්දල පොලිස් නිලධාරින් ඒ අසල නවත්වා තිබුණු කාරය සොයා ගන්නේ විනාඩි කීපයක් ඇතුළතදීය. පොලිසිය කාරය සොයාගෙන පැය කීපයක් ඇතුළතදී සැකකාර රියැදුරු නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට ඉදිරිපත් විය.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්න කරද්දී මුලින්ම හෙළි වී ඇත්තේ සැකකරු වෛද්‍යවරයාගේ කාරය තමාගේ නමට ලියාපදිංචි කරගත් ආකාරය ගැනයි. සැකකාර රියැදුරා විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවෙසේ සේවය කළ කාලයේ වෛද්‍යවරයාට අයත් කාරයේ ලියාපදිංචි සහතිකය, වෛද්‍යවරයාගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක් සොරකම් කර තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළි විය. සැකකාර රියැදුරා ඒ කාලය ඇතුළත විශ්‍රාමික වෛද්‍යවරයාගේ අත්සන ද ඒ විදිහටම යෙදීමට හුරුපුරුදු වූ බවද අනාවරණය විය.
ඡායාරූපය – බණ්ඩාරගම බිමල් ජයසිංහ