Home » පාස්කු දින ම්ලේච්ඡ ප්‍රහාරයේ පිළිතුරු නොලැබුණු අබිරහස් ගොන්නක්

පාස්කු දින ම්ලේච්ඡ ප්‍රහාරයේ පිළිතුරු නොලැබුණු අබිරහස් ගොන්නක්

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

පාස්කු දින මිලේච්ඡ ප්‍රහාරයේ විමර්ශන නැවතී තිබුණු තැනින් යළි ආරම්භ වී තිබේ. මේ පුවත ඇතැමුන් බියෙන් සලිත කරවන එකකි. දැන් ඔවුහු සංවිධානාත්මකව එකී විමර්ශනවලින් ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න ඉවත් කරලීමට නොයෙක් කුමන්ත්‍රණ දියත් කරමින් සිටිති. ගම්මන්පිල නාඩගම ඉන් එකකි. කෙසේ වෙතත් අපරාධකරුවන්ට ලැබී ඇති ‘දණ්ඩ මුක්තිය’ දැන්වත් අවසන් කළ යුතුව තිබේ.

මව්පියන්ට දරුවනුත්, දරුවන්ට මව්පියනුත්, සහෝදර සහෝදරියන්ට සහෝදර සහෝදරියනුත් අහිමි කළ ම්ලේච්ඡ ප්‍රහාරයට මාස හැට හයක් ගත වී තිබේ. මේ සාහසික ප්‍රහාරයෙන් මියගිය පිරිසටත්, වින්දිතයන් වූ පිරිසටත් අවමන් කරමින් එකී අපරාධය හුදු දේශපාලන ක්‍රීඩාවක් කර ගැනීමට ඇතැම්හු උත්සුක වෙමින් සිටිති.

දේශපාලන “බල වියරුවක්” සාක්ෂාත් කර ගැනීම පිණිස සිදු කර වූ ඒ මහා අපරාධයෙන් අහිමි වූ ජීවිත ගණන දෙසීය හැත්තෑ දෙකකි. සදාකාලික ආබාධිතයන් වූ පිරිස පන්සියයකට ආසන්නය. ඉහත ඛේදවාචකය සිදු කර මාස හැට හයක් ගෙවුණද, මෙතෙක් පිළිතුරු නොලැබුණු ‘අභිරහස්’ ගොන්නක් අප ඉදිරියේ ඉතිරි වී තිබේ. පහත ‘අභිරහස්’ තිර ලෙසම එළි පෙහෙළිකර ගන්නා තුරු, කුප්‍රකට “මහ මොළකාරයන්” සොයා ගැනීම උගහටය.

වර්ෂ 2019 අප්‍රේල් 21 පාස්කු ඉරු දින සිදු කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා දෙකක් සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවක් අප සතුව තිබේ. (පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පත් කළ කමිටු වාර්තා නොසැලකේ) ඉහත වාර්තාවලින් කියැවුණු ‘අබිරහස්’ සහ ගෙවුණු කාලය තුළ මතු වුණු අලුත් අභිරහස් පිළිබඳ අවසානයක් දක්වා ගැඹුරින් විමර්ශනය කර නැත. ඒ අබිරහස් මොනවාද ?

රාජ්‍ය බුද්ධි සේවය සහ යුද හමුදා බුද්ධි සේවය ප්‍රහාරය නොදැන සිටියේද?

පාස්කු දින ප්‍රහාරයට පෙරත්, ප්‍රහාරයෙන් පසුවත් ඉහත බුද්ධි සේවා දෙකේ ප්‍රධානීන් සහ ඇතැම් සෙසු නිලයන්ගේ ක්‍රියාකාරීත්වය සලකා බලන විට ඔවුන් මේ ප්‍රහාරය කල් තියා නොදැන සිටි බවට කිසිදු තහවුරුවක් පෙනෙන්නට නැත. පහත අභිරහස්වලින් එය මනාව පැහැදිලිය.

වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම

මඩකලපුව වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ 2018.11. 30 දින රාජකාරී කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් සිදු කළ ක්‍රියාවක් බවට සම්පූර්ණ ව්‍යාජ තොරතුරු සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළේ රාජ්‍ය බුද්ධි සේවය සහ යුද හමුදා බුද්ධි සේවය විසිනි. එහෙත් පසුව සියලු සාක්ෂි සහිතව තහවුරු වුයේ එකී ඝාතන සිදු කර ඇත්තේ එල්. ටී.ටී.ඊ. ය නොව පාස්කු දින ප්‍රහාර සිදු කළ සහරාන් හෂීම්ලාගේ කණ්ඩායම විසින් බවය.

එවකට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සහ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ චූලා කොඩිතුවක්කු යන දෙදෙනා ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද අසත්‍ය තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇත්තේ ඇයි ? පාස්කු දින ප්‍රහාරයට පෙර ‘සහරාන් හෂීම්ලා’ පොලිස් අත්අඩංගුවට පත්වීම වැළක්වීම පිණිසය. කෙටියෙන් කියනවා නම් , කිසිදු බාධාවකින් තොරව පාස්කු දින ප්‍රරහාරය සිදු කිරීමට සහරාන් හෂීම්ලාට මඟ හසර තනා දීමටය.

රටේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සහ යුද හමුදා බුද්ධි ප්‍රධානියා එසේ ක්‍රියා කළේ කාගේ වුවමනාවට ද? ව්‍යාජ තොරතුරු සපයමින් එක් අපරාධයක අපරාධකරුවන් අත්අඩංගුවට පත්වීම වළක්වා මේ සා විශාල අපරාධයකට දොරටු විවෘත කිරීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධනට සහ චූලා කොඩිතුවක්කුට නීතිය ක්‍රියාත්මක නොවූයේ ඇයි ?

ජාතික ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉඩ නොදීම

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිමවලට පහරදීම, වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100ක් හමුවීම ගැන දැනුම් දීමට 2019.02.02 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රවී සෙනෙවිරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානී අබේසේකර කොළඹ 07 පැජට් පාර නිවසේදී මෛත්‍රීපාල සිරිසේන හමුවිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක මණ්ඩල සාමාජිකයකු නොවන බැවින් මේ පිළිබද දැනුම් දීමට අවස්ථාවක් ඉල්ලා ඇත. එහිදී ඊට කැමැත්ත පළ කළද ඉල්ලා සිටි අවස්ථාව කිසිදිනෙක ලබාදී නැත.

ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමෙන් පිටකර යැවූ සැකකටයුතු ලොරි රථය

2019 අප්‍රේල් 04 දින අලුයම 3.20 ට අධිවේගී මාර්ග පිවිසුමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට භාජනය නොකොට අදාළ ලොරි රථය පිටත්කර යවන ලෙස බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නියෝග දුන්නේ ඇයි ? එකී ලොරි රථයට රැකවරණය ලබා දෙමින් ඉදිරියෙන් ගමන් කළ කැබ් රථය කාගේ ද ?

අබ්දුල් ලතීෆ් ජමීල් ස්වයං ඝාතක බෝම්බකරු සමඟ යුද හමුදා බුද්ධි සේවයේ සබැඳියාව

2019 අප්‍රේල් 21 කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී බෝම්බය පුපුරවා ගැනීමට සිටි අබ්දුල් ලතීෆ් ජමීල් එම බෝම්බය පුපුරවා නොගෙන දෙහිවල ට්‍රෝෆිකල් ඉන් තානායමට යාමටත් මත්තෙන් ඔහුගේ නිවෙසට සහ ඔහුගේ මවගේ නිවෙසට යුද හමුදා බුද්ධි නිලධාරීන් ගියේ කෙසේද?

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබද අවසන් නොවූ විමර්ශනවලදී අනාවරණය වී ඇති “අබුහින්ද්” නැමති පුද්ගලයා කවුද? මරාගෙන මැරුණු සහරාන් හෂීම්ගේ බිරිය ෆාතිමා හාදියාගේ කට උත්තරයේ සඳහන්, නිතර නිතර සහරාන් සමඟ දුරකතනයෙන් කතා කළ මේ ‘අබුහින්ද්’ කව්ද ? යන්න සොයා ගැනීමට ක්‍රියා කළ යුතුව තිබේ. මේ ‘අබූහින්ද්’ යනු අන්වර්ථ නාමයක් විය හැකි අතර ඔහු මේ ප්‍රහාරයේ මහ මොළකරු ද විය හැකිය.

මාතලේ පොඩි සහරාන් සහ රාජ්‍ය බුද්ධි සේවයේ සොනික්

පාස්කු දින ප්‍රහාරයේ මූලික විමර්ශනවලදී හෙළිදරව් වූ ‘ෆස්තුල් රහුමාන්’ නොහොත් මාතලේ පොඩි සහරාන් සමඟ සම්බන්ධතා පැවැත්වූ රාජ්‍ය බුද්ධි සේවයේ නිලන්ත ජයවර්ධන යටතේ සේවය කළ එවකට උප පොලිස් පරීක්ෂක බණ්ඩාර නැමැත්තා ක්‍රියා කළේ කාගේ වුවමනාවන් අනුවද ? ඔහු මාතලේ පොඩි සහරාන් හරහා ISIS සංවිධානය ප්‍රහාරයේ වගකීම භාර ගැනීමේ ප්‍රමාදය ගැන විමසුවේ කාගේ උපදෙස් පරිදි ද ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී එසේ නොකරන ලෙසට කවුරුන් හෝ දන්වා සිටියේද? එසේ නම් ඒ ඇයි? එය කාගේ වුවමනාවට ද ?

FBI වෙතින් සොයා දුන් සහරාන් සමග සම්බන්ධතා පැවැත්වූ යුද හමුදා නිලධාරියා

අ‍ෙමරිකානු මධ්‍යම තොරතුරු කාර්යාංශය (FBI) මඟින් සිදු කරන ලද විමර්ශනාත්මක විශ්ලේෂණ තුළින් අනාවරණය කළ සහරාන් හෂීම් සමග නිරන්තර සබඳතා පැවැත්වූ අන්තර්ජාල ප්‍රොටෝකෝල ලිපිනය (IP Address) භාවිතා කළ යුද හමුදා බුද්ධි අංශයට අයත් බුද්ධි නිලධාරියා කවුරුන්ද ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න නොකළේ ඇයි ? ඔහු එලෙස ක්‍රියා කළේ කාගේ නියෝගයන්ට අනුවද ?

පුලස්ථිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්

කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බය පුපුරුවා ගත් අච්චි මොහොමදු හස්තූන්ගේ බිරිය පුලස්ථිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් මේ ප්‍රහාරය පිළිබද බොහෝ තොරතුරු දැන සිටි බව තහවුරු වී තිබේ. ප්‍රහාරයෙන් පසු සයින්දුමර්දු ප්‍රදේශයේ සිදුවූ ස්වයං ඝාතක බෝම්බ පිපිරුමෙන් ඇය මිය නොගිය බවට බොහෝ සාක්ෂි තිබිණි.

එහෙත් ඇය මියගිය බව සනාථ කිරීමට කළ DNA පරීක්ෂණ දෙකකින් ඇයගේ ශරීර කොටස් නොතිබූ බවට තහවුරු විය. ඉන්පසු සැක කටයුතු තුන්වැනි DNA පරීක්ෂණයක් ද පවත්වා ඇය මිය ගිය බව තහවුරු කිරීමට ගත් ක්‍රියාමාර්ග බරපතළ සැකයට භාජනය වී තිබේ.

රාජ්‍ය බුද්ධි ප්‍රධානියාට කල්තියා ලැබුණු තොරතුරු පරිගණකයෙන් මකා දැමීම

එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනට පාස්කු දින ප්‍රහාරය පිළිබඳව කල් තියා ලැබුණු තොරතුරු ඔහුගේ පරිගණකයෙන් සහ දුරකතනයෙන් මකා දැමීම බරපතළ කාරණයකි. එය රටේ ඉහළ පොලිස් නිලධාරියකුට නොව සාමාන්‍ය පුරවැසියකුටවත් නිදහසට කාරණයක් නොවේ. දෙසීය හැත්තෑ දෙකක් ඝාතනය වුණු සිද්ධියකට අදාළව තොරතුරු එලෙස මකා දැමීම බලපතළ වරදකි. එහෙත් එකී වරදට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත.

මේජර් ජෙනරල් සුරේෂ් සලේගේ භූමිකාව කුමක්ද ?

විදේශ රටක හිඳිමින් පාස්කු දින ප්‍රහාරය සිදු කරවන ලද්දේ යුද හමුදා බුද්ධි සේවයේ සිටි මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ මෙහෙයවීම සහ පූර්ණ අනු දැනුම මත බවට අසාද් මවුලානා නමැති පුද්ගලයකු මානව හිමිකම් සංවිධානයට කර ඇති ප්‍රකාශය පදනම් කොට එහි ඇති සත්‍ය අසත්‍ය බව තහවුරු කර ගැනීමට පුළුල් විමර්ශනයක් කළ යුතුව තිබේ.

පාස්කු දින ම්ලේච්ඡ ප්‍රහාරයට විදේශ රටකට සබඳතා තිබේද ?

පාස්කු දින ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ විමර්ශන පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විදේශ අපරාධ විමර්ශකයන් සමස්ත විමර්ශනයේදී මේ ප්‍රහාරයට කිසිදු අන්තර්ජාතික සංවිධානයක්, ත්‍රස්තවාදී කණ්ඩායමක් සම්බන්ධ නැති බවට තහවුරු කර තිබේ. එවැනි තත්ත්වයක් තුළ අසල්වැසි ඉන්දියාව, ISIS සංවිධානය මීට සම්බන්ධ බවට ව්‍යාජ මත පතුරවන පිරිස් එසේ සිදු කරන්නේ කාගේ වුවමනාවට ද යන්න විමර්ශන කළ යුතුය. එය හුදෙක් ඇත්ත අපරාධ කරුවන් වසන් කිරීමට කරන උත්සාහයක් ද යන්න සොයා බැලිය යුතුය.

හිටපු ජනපති මෛත්‍රීපාලගේ වගකීම

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ ප්‍රහාරය ගැන පූර්ව දැනුම්වත්වීමක් අංශු මාත්‍රයකින් හෝ දැන නොසිටියේ යැයි කරන ප්‍රකාශය පිළිගත හැකිද? එය ජනාධිපති විමර්ශන කොමිසමත් ශ්‍රේෂ්ඨාධිකරණයත් පිළි නොගත් ප්‍රකාශයකි. ඔහුගේ රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනට කල්තියා ලැබුණු තොරතුරු තමන්ට නොදැන්වූයේ නම්, ප්‍රහාරයෙන් පසු දිවයිනට පැමිණ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පළමු රාජකාරිය විය යුතුව තිබුණේ නිලන්ත ජයවර්ධනට එරෙහිව වහාම නීතිමය පියවර ගැනීමය. එවැන්නක් සිදු වූයේ නැත.

ප්‍රහාරය සිදු වූ පසු රටේ ජනාධිපතිවරයා ලෙස සිංගප්පූරුවේ සිට වහාම දිවයිනට පැමිණිය යුතුව තිබුණද ඔහු ප්‍රකාශ කළේ ලංකාවට පැමිණීමට ගුවන් යානා නොතිබුණු බවයි. එයද සම්පූර්ණ අසත්‍යයකි. එමෙන්ම ප්‍රහාරය සිදුවූ විගස එවකට අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ කැඳවූ ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගි නොවන ලෙස ත්‍රිවිධ හමුදාපතිවරුන්ට නියෝග කර තිබිණි. එය කවර අරමුණකින් සිදු කරන ලද්දේ ද ? 2018 ඔක්තෝබර් මාසයෙන් පසු රටේ අගමැතිවරයා පමණක් නොව, පොලිස්පතිවරයා පවා ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට කැඳවා නැත. ඒ ඇයි..?

පාස්කු දින සිදු කරවා ඇති මහා අපරාධයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකර දීමට ඉහත අබිරහස් පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කළ යුතුය. ඊට අදාළව පත්කර තිබූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවල නිර්දේශයන්ද ක්‍රියාත්මක කළ යුතුව තිබේ. එනයින් මෙතෙක් එම අපරාධකරුවන්ට ලැබී තිබෙන දණ්ඩ මුක්තිය ද අහෝසි කළ යුතුය. නො එසේ නම් තවත් දේශපාලන බල වියරුවක් වෙනුවෙන් ජීවීත දෙසීය හැත්තෑ දෙකක් වෙනුවට තවත් ජීවිත දහසක් හෝ නැති කිරීමට මෙවන් අපරාධකරුවන් පසුබට නොවනු ඇත.

පෝද්දල ජයන්ත

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division