කර්තෘ : බුද්ධදාස ගලප්පත්ති
ප්රකාශනය- සරසවි ප්‍රකාශකයෝ
ගලප්පත්ති කොතැන ද කවිය එතැනය. කවිය කොතැන ද ගලප්පත්ති එතැනය. බුද්ධදාස ගලප්පත්ති ඒ තරමට නූතන සිංහල කවිය සමඟ බැඳී සිටී. “පාර වසා ඇත”, “කැටපත් පවුර”, “රැජනක් හැඬුවාය”, “දෙදෙනාම දියණියෝ” දිවි නිමාවනතුරු අපේ මතකයෙන් අමතකව මැකී නොයන කාව්‍ය ග්‍රන්ථ නාමයි. “සමුදුර අසා සිටී” මොහුගේ දහතුන්වැනි කාව්‍ය සංග්‍රහයයි. මෙය මොහුගේ දොළොස්වැනි කවි එකතුව වන “ගිරි හිස සිට” කෘතිය පරයා නැඟී සිටින බව අමතකවීමට පෙර ලියා තබමි.
පෙර දවස විරෝධාකල්ප නිර්මාණයට බෙහෙවින් රුචියක් දැක්වූ අප රචකයා නවතම කාව්‍ය සංග්‍රහයේදී අලුත් වස්තු විෂයයන් ගවේෂණයට ප්‍රෝත්සාහී වී ඇති බව බැලු බැල්මට පෙනෙන ලක්ෂණයකි. “පුදුමයි ඒත් ඇත්තයි”, “අරුමැසි දසුනකි”, “ඩිලිවරි බෝයි” ඊට පැහැදිලි නිදසුන් ත්‍රිත්වයකි. ප්‍රතිභාසම්පන්න නිර්මාණකාරකයා වෙත නිර්මාණ දිවියේ හායන පක්ෂයක් ළඟා වේද? නොවේ ද? බුද්ධදාස ගලප්පත්ති තවමත් යොවුන් ප්‍රේමය පාදක කර ගත් කාව්‍ය නිර්මාණ නොපසුබටව බිහි කරයි.
සිනමා පටයක් වින්දනයට ගිය රචකයාට අපූරු පෙම් යුවළක් මුණගැසෙයි. ඔවුන්ගේ සුවිශේෂත්වය කවියා මෙසේ පාඨකයා හමුවේ තබයි.
“පෙම්වතාට තුරුලුව
තිරයේ දිසෙන රූපාවලිය
එකින් එක
තෝරා දෙන පහදා දෙන
පෙම්වතියක් දුටිමි
අඳුරම පිරි සිනමාහලයි”
මේ විපර්යාසය කුමක්දැයි කවියා විමසා බලයි. ඔහු සිත මේ හිරිහැරයෙන් කෝපයට පත්වුණා විය හැකිය.
“කළු පැහැ උපැස් යුවළකි
ඔහු නෙත් වැසුණු
එසේ විය හැකිදැයි
…………
…………
ආදරයෙහි විස්මිත හැඩය
හඳුනාගත නොහැකිව ද මා හට
පෙම්වතා අත රැඳුණු
සුදු සැරයටිය
නොපෙනුණි ද මා හට”
රචකයා තමාටම දොස් නඟා ගනී. මෙය කෙතරම් වෙනස් නිර්මාණයක් ද? අත්දැකීමකින් තොර මනසින් මැවීමක් ද? එසේ විය නොහැකිය. කෙසේ වුවත් මුළු නිර්මාණ සංග්රහයෙහි නිර්මාණ සියල්ල අතරින් මෙය පළමුව අප සිත සසල කළේය. උත්පාදක ශක්තියේ මහිමය මෙය නොවේ ද?
සම්බාහන මධ්‍යස්ථානවල සේවයෙහි නිමග්න වන්නියෝ සතුට දනිද් ද? දිවි සරි කර ගැනීම උදෙසා පීඩනය උසුලා සිටින්නියෝ නොවෙත් ද? එවන් අවාසනාවන්තියකට සැබෑ මිනිසෙක් දෙනෙත ඉදිරියේ පෙනී සිටීම කොතරම් සතුටක් ළඟා කරන්නක් වේද? “පුදුමයි ඒත් ඇත්තයි” නිර්මාණයෙන් එය සූචිතය.
මහන්සියි කියා මා කිව් කල ඔහුට
නිදාගන්න කීවා ළංවී කනට
කෙෙලසක එබස් අදහන්නෙද සිතුණි මට
සත්තයි නිදන්නට ඉඩ හැරියේ සුව
මෙය රචකයාගේ උත්පාදක ශක්තිය, බන්ධන චාතුර්යය, රසාවේෂණ ශක්තිය මැනවින් විද්‍යමාන වන අවස්ථාවක් ලෙස මෙය හඳුන්වාදීමට අපි කිසිසේත් පසුබට නොවෙමු. අනූපම කරුණා රසයකින් හද වෙලී ගියේය. නර රකුසන් අතර, උතුම් මනුෂ්‍යයෝ විරලව හෝ ගැවසෙති. කවියා අපට ජීවිතයට ආදරය කරන්නට මං පෙත පාදා දෙයි. උත්තම නිර්මාණයකින්, උත්තම නිර්මාණකාරකයකුගෙන් අප අපේක්ෂා කරන්නේ එය නොවේ ද? නිර්මාණකාරකයා පාඨකයාට ඉදිරියෙන් සිටින බව තහවුරු කරන කදිම අවස්ථාවකට නිදසුනකි.
වස්තුවිෂය අතින් නැවුම් වූ “ඩිලිවරි බෝයි” නම් රචනයෙන් ඉසියුම් බැඳීමක් සමඟ යතුරු පැදියක නැඟී ආහාර රැගෙන මහ මඟ වේගයෙන් ගමන් කරන තරුණයෙකුගේ දුඃඛිතභාවයෙන් බිඳක් ද මූර්තිමත් කෙරේ.
“තුරඟෙකු පිට නැගි අසරුවෙකි
අධි වේගයෙනි ගමන ඔහුගේ
ඔන්ලයින් ඩිලිවරිය පමා වුවහොත්….
නිර්මාණකාරකයකු ලෙසින් බුද්ධදාස ගලප්පත්තිගේ විමර්ශනශීලී බව, අලුත් යමක්, අලුත් වචනවලින් පාඨකයාට පිරිනැමීමේ වුවමනාව මේ පද්‍ය රචනයෙන් හොඳින්ම තහවුරු වෙයි. එහිදි විරිතක් කෙසේ වෙතත් කිසියම් ධ්වනියක් ජනනය කළේ නම්, තවත් සිත්ගන්නා සුලු බව කවියට සමවදිනු ඇත යන්න අපේ හැඟීමයි.
“නූතන මේවර සෙල්ලම, අරගල බිම සිට, SPA යුවතියගේ පාපොච්චාරණය, සක්කිලි වත්තේ රාජා, ප්‍රාථමිකයට ආ ඉංග්‍රීසි ගුරුතුමී“ සංකීර්ණ සමාජ ප්‍රශ්න විවරණයට අප කවියා කෙදිනත් දක්වන කුසලතාවට අගනා නිදසුන් වෙයි. ඇති නැති පරතරය හේතුකොටගෙන පැන නඟින සමාජ ප්‍රශ්න ශක්ති ප්‍රමාණයෙන් විවරණයට දක්වන රුචියම ගලප්පත්ති කවියකු ලෙස කරළියට ඒමට හේතු වූ බව ඉතා පැහැදිලි කරුණකි.
පළමු සාමූහික ප්රයත්නයෙන් පසු “කැටපත් පවුර” කාව්‍ය සංග්‍රහයෙන් ඉදිරිපත් කළ සංක්ෂිප්ත කාව්‍ය තවමත් පාඨක සිත්වල පැලපදියම්ව ඇති බව නිසැකය. “සමුදුර අසා සිටී” කාව්‍ය සංග්රහයෙහි ද එවන් නිර්මාණ ගණනාවක් අපට හමුවෙයි.
පෙති විදා ගත්
විකසිත කුසුම මම
ඔබ බඹරිඳු
රොන් උරනට ඇවිත්…
(සිපිරි ගෙදර)
“මේ ගැජුම
වැහි බිංදුවක්
නොහෙළන”
(ඈ)
මේවා විඳීම වින්දනය හිමි ඔබට භාර කරමු.
අවසාන වශයෙන් අපි මෙසේ පවසමු. “සමුදුර අසා සිටී” කෘතියෙන් බුද්ධදාස ගලප්පත්ති නන්දනටත්, රණවීටත් වෙනස් තැනකට කවිය කැඳවා තිබේ.
සුනිල් ගුණවර්ධන