Home » එන්න…. රටේ සැරිසරන්න

එන්න…. රටේ සැරිසරන්න

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

ආරුගම් බොක්කේ රළ ප්‍රවාහය චණ්ඩ සේම මේ දින කිහිපයේ එම ප්‍රදේශය මුල් කර ගනිමින් ද යම් චණ්ඩ කතාබහක් ඇතිව තිබේ. අග්නිදිග ශ්‍රී ලංකාවේ මේ සුන්දර වෙරළ තීරයට 2004 වසරේදී සුනාමියෙන් දැඩි හානි සිදු වූයේය. වෙරළ අවට ගොඩනැගිලි බොහොමයක් සහ ජිවිත ද යම් පමණකට අහිමිව ගියේය. ඉන් පසු මේ වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා රජය තීරණය කළේය. 2011 වසරේ, අවට ඇති සියලු ගොඩනැඟිලි කඩා දමමින් ආරුගම් බොක්ක ප්‍රදේශය මුළුමනින්ම ශුද්ධ කරන ලද්දේ හෙයින් එය ප්‍රදේශයේ ජනයා හඳුන්වන්නේ දෙවන සුනාමිය කියාය. පසුගිය දින කිහිපයේ ආරක්ෂක විධිවිධාන තර කරමින්, රජය ක්‍රියා මාර්ග නොගත්තේ නම් ආරුගම් ප්‍රදේශයට තෙවැනි සුනාමිය ද පැමිණෙනවා ඇත.

රාජ්‍ය ආරක්ෂාව විෂයයෙහි රටක් ලෙස අප දුර්වලභාවයට සඳහා, පාස්කු දින ප්‍රහාරයේ ආදීනව අප තවමත් විඳවන්නේය. මේ රටේ සංචාරක ව්‍යාපාරය ලද අසරණභාවය සමඟ කොවිඩ් වසංගතය ද ඊළඟට පැමිණීම හේතුවෙන්, ආර්ථිකය විපිළිසර වී ගියේය. එම ප්‍රවාහයේ අවසාන නවාතැන්පොළ වූයේ, ශ්‍රී ලංකා ආර්ථිකය සඳහා බංකොළොත් ලේබලය ඇලවී යෑමය.

ආරුගම් බොක්ක ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ත්‍රස්තවාදීන් සැරිසරන බව සහ එම ප්‍රදේශය මුල් කරගෙන යම් ප්‍රහාරයක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත වාර්තා ලැබීමත් සමඟ ඒ සඳහා අවශ්‍ය පියවර එකෙණෙහිම ගැනීම සඳහා ක්‍රියා කරන ලද්දේ හෙයින් එම තර්ජනය සපුරා ඉවත්ව ගොස් ඇති බව සඳහන් කළ හැකිය. ඊශ්‍රායල් ජනයාගේ ආගමික උත්සවයක් ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන අතර එය උත්සවාකාරයෙන් සැමරීම ඔවුනගේ සිරිතය. ඉන්පසු යම් විනෝදාස්වාදය සහිත ඉසව්වක් ද පැවැත්වෙන හෙයින් මෙම කවර ස්ථානයකදී හෝ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු තොරතුර මේ රටේ ආරක්ෂක අංශ සුළුවට භාර ගත්තේ නැත. එසේම ඒ සඳහා ප්‍රසිද්ධිය ලබා දුන්නේ ද නැත. බුද්ධි තොරතුරක් විෂයයෙහි ක්‍රියා කරන ආකාරය ප්‍රකාරව ඒ සියලු වැඩ කටයුතු සාර්ථක මට්ටමෙන් සිද්ධ වී හමාරය. මේ සඳහා මුල් වූවා යැයි සැලකෙන තිදෙනෙකු, අත්අඩංගුවේ පසුවන්නේය.

එවන් තත්ත්වයකට පරීක්ෂණ ගෙනැවිත් ඇත්තේ, ලැබුණු තොරතුරු සඳහා සංවේදී වීමේ සහ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙසය.

බුද්ධි තොරතුර අනුව සහ දැනට ලැබී ඇති තොරතුරු අනුව, මෙය ශ්‍රී ලංකාව විෂයයෙහි සිදුකරන ත්‍රස්ත ක්‍රියාවක් නොවේ. ඊශ්‍රායලය සමඟ ඇති ආරෝවක් මේ භූමියේදී ක්‍රියාත්මක කිරීම සඳහා දරන උත්සාහයක් පමණය. එසේම මෙය අඛණ්ඩ ස්වභාවයක් සඳහා ගමන් කරන්නේ ද ආදිය පිළිබඳව, විමර්ශකයෝ උත්සුකව සොයා බලමින් සිටින්නෝය.

සමස්ත පසුබිම මෙයය. මෙතැන් සිට අප හමුවේ ඇති අභියෝගය කුමක්දැයි සාකච්ඡා කළ යුත්තේය. සංචාරක ව්‍යාපාරය සඳහා මෙය පළමුව බලපානු ඇත්තේය. යම් බියක් ජනිත වූ සැණින් සංචාරකයා එම ප්‍රදේශයට එන්නේ නැත. එහෙයින් මේ සඳහා රටක් ලෙස අප සහතිකයක් දිය යුත්තේය. මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස විජිත හේරත් ද වැඩ බලන පොලිස්පතිවරයා ද පෙරේදා මාධ්‍ය හමුවක් පවත්වා ලබාදෙන ලද්දේ එ් වගකීමේ සහතිකයය.

මේ සියල්ල සමඟ අපට වැදගත් වන්නේ විදේශ රටවල් කිහිපයක් සිය පුරවැසියන් සඳහා ලබා දුන් සංචාරක අවවාදයය. ඒ හේතුවෙන් සංචාරක මනස සලිත වේදැයි බියක් අප තුළ හට ගන්නේය. මේ රටේ ආර්ථිකයේ ප්‍රධාන ධාවක බලවේගයක් වන්නේ සංචාරක ව්‍යාපාරයය. සංචාරය කිරිමට ලොව හොඳම රටවල් අතර පස්වන ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ ඇති බව සී ඕ වර්ල්ඩ් ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කරන ලද්දේ පසුගිය සතියේය.

වාර්ෂික සංචාරක ඉලක්කය මිලියන හතර දක්වා ගෙන යෑමේ රජයේ ඉලක්කය සඳහා එය අනගි තල්ලුවක් විය.

මේ වසරේ මුල්මාස නවය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව දාහතර ලක්ෂය ඉක්මවා ඇත්තේ හෙයින් එතැන් සිට අපේ ගමන යා හැකි බව රටක් ලෙස කල්පනාවට එන්නේය. ඒ ආකාරයේ සාධනීය තත්ත්වයක් ව්‍යාපාරයක් සඳහා ලැබෙනුයේ කලාතුරකිනි. 2024 වසරේ මුල්මාස අට තුළ දී ඩොලර් බිලියන 2.16ක් මුදලක් සංචාරක කර්මාන්තයෙන් ඉපැයීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති හෙයින් සංචාරක ව්‍යාපාරයෙන් සිය ජීවිකාව සිදුකරගෙන යන ග්‍රාමීය මට්ටමේ ජනීජනයාගේ සුඛ විහරණය සඳහා එය පුළුල් සේවාවක් ඉටු කර ඇත්තේය. ඔය වැනි තත්ත්වයකදී මේ කඩාවැටුණු මරාලය කුමක්දැයි අප සිහි උපද්දවා බැලිය යුතුය. අතට අසුවෙන හැමදෙයක්ම ආණ්ඩු පෙරළීම සඳහා පාවිච්චි කිරීමේ යල්පැනගිය උපායෙන් පිට පනින ලෙස පළමුව ඉල්ලා සිටිය යුතුය. රටේ න්‍යාය පත්‍රය ඇත්තේ බලපෙරළියට ඉහළින්ය.

පසුගිය වසරට සාපේක්ෂව 10%ක පමණ වර්ධනයක් සංචාරක ව්‍යාපාරය ගෙන දී ඇති හෙයින් මෙම කර්මාන්තය සඳහා පැමිණෙන අභියෝගය හමුවේ අප පෙනී සිටිය යුතුය. ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සියලු වගකීම් ඉටුකර හමාරය.

මේ මොහොතේ වඩා වගකීමක් විදෙස්ගත ශ්‍රී ලාංකේය ප්‍රජාව වෙත ඇත්තේය. සිය දේශය සඳහා අභියෝග එල්ල වූ හැම මොහොතකම ඒ ප්‍රජාව එතෙර සිට සිදු කළ මෙහෙය අමතක නොකරනවා සේම, මේ මොහොතේදී ද රට වෙනුවෙන් එම සේවය දියත් කරන මෙන් ඉල්ලා සිටිය යුතුය.

සමහර රටවල් නිකුත් කළ නිවේදන වැරදි ආකාරයේ අර්ථකථන සහිතව ව්‍යාප්තව වී යා හැක්කේය. එයින් මේ රටේ සංචාරය සඳහා යොමුවීමට සිටින පුද්ගලයෝ වෙන ගමනාන්ත සොයනවා විය හැකිය. තම පුළුල් වෙර යොදා ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සැබෑ චිත්‍රය ලෝකයට ඔවුනට ගෙන යා හැක්කේය. මහමඟදී, සුපිරි වෙ‍ෙළඳසලේදී ආදී ලෙස මෙම දායකත්වය ලබාදී දේශයේ ආදායමේ උල්පතක් ආරක්ෂා කර ගැනීම සඳහා දායක වෙන ලෙස සිළුමිණ ඉල්ලා සිටින්නේ වැදූ මවත්, දිනූ දැයත් ස්වර්ග රාජ්‍යයට ද වඩා උතුම් හෙයිනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division