Home » තාක්ෂණයෙන් සවිබල ගැන්වෙන අපේ ගොවිතැන

තාක්ෂණයෙන් සවිබල ගැන්වෙන අපේ ගොවිතැන

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

දිනෙන් දින වෙනස්වන ආර්ථික තත්ත්වයන්ට මුහුණ දෙනු වස් එහි පැවැත්මද දිනෙන් දින වෙනස් වේ. සිතාගත නොහැකි තාක්ෂණික සොයාගැනීම් හමුවේ නූතන කෘෂිකාර්මික ක්ෂේත්‍රයද වේගයෙන් වෙනස්කම්වලට භාජනය වන බව පෙනේ. අපි දැනටමත් එවැනි අපූරු වෙනස්කම් ගැන අසා මවිතයට පත්ව සිටින්නෙමු. මෙම ලිපියෙන් උත්සාහ කරනුයේ නව තාක්ෂණික දැනුමෙන් සුපෝෂණය වී විවිධ දිශාවන් ඔස්සේ විකාශනය වෙමින් පවතින කෘෂිකර්මාන්තය පිළිබඳව සොයා බැලීමටයි.

වඩාත් කාර්යක්ෂම සහ තිරසර ගොවිතැන් ක්‍රම හඳුන්වා දීමෙන් සහ ප්‍රවර්ධනය කිරීම තුළින් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට නවීන තාක්‍ෂණය මුසුවීම වර්තමාන ගොවියා සවිබල ගැන්වීමට සහ සමෘද්ධිමත් වීමට උපකාරී වේ. කෙසේ වෙතත්, කෘෂිකාර්මික තාක්ෂණය භාවිතා කිරීමේ මහඟු ප්‍රයෝජන ලැබෙනුයේ වඩාත් ඵලදායි ලෙස සැලසුම් කිරීම සහ මනා කළමනාකරණයක් තුළින් භෝග අස්වැන්න ඉහළ නැංවීම සඳහා අවධානය යොමු කිරීමෙනි. කෘෂි ව්‍යාපාරිකයින්ට, කෘෂි ක්ෂේත්‍ර නිලධාරීන්ට මෙන්ම කෘෂි-ආහාර දාමයේ අනෙකුත් සියලු කොටස්කරුවන්ට මෙවැනි දැනුවත්වීමක් එක සේ ප්‍රයෝජනවත් වේ.

කෘෂි තාක්‍ෂණය

කෘෂි තාක්‍ෂණය, “ඇග්‍රිටෙක් – Agritech” ලෙසද හඳුන්වනු ලබන කෘෂිකර්මාන්තයට තාක්ෂණය මුසු කිරීම, කෘෂිකාර්මික නිෂ්පාදන වැඩි දියුණු කිරීම උදෙසා පුළුල් පරාසයක විෂයයන්, ක්‍රමෝපායන් සහ උපාංග ඇතුළත් ක්ෂේත්‍රයකි. එයට යන්ත්‍රෝපකරණ, රොබෝ යන්ත්‍ර, පරිගණක, චන්ද්‍රිකා, ඩ්‍රෝන යානා මෙන්ම ජංගම උපාංග සහ මෘදුකාංග ඇතුළත් වේ. විප්ලවීය වෙනස්කම්වලට භාජනය කරමින් කෘෂිකර්මාන්තයට අදාළ විසල් දත්ත විශ්ලේෂණ (Big Data Analysis) සහ කෘත්‍රීම බුද්ධි (AI) තාක්‍ෂණය භාවිත කිරීම, කෘෂිකර්මාන්තයට නව පුනරුදයක් ලබා දී තිබේ.

පසුගිය දශක කිහිපය තුළ ගොවිතැන හා ක්ෂේත්‍ර කළමනාකරණය උදෙසා ලොව පුරා නවීන කෘෂි තාක්‍ෂණය යොදා ගැනීම භෝග කළමනාකරණයේ මෑතකාලීන සාර්ථකත්වයට සහ අස්වැන්න වැඩි කිරීමට ඉමහත් දායකත්වයක් ලබා දුන් බව නොරහසකි.

භෝග වගාව සඳහා අත්‍යවශ්‍ය සම්පත් ලෙස සැලකෙන ජලය, පොහොර, පළිබෝධනාශක වැනි සම්පත් තවදුරටත් “හිතේ මට්ටමට” යෙදීම හෝ ක්ෂේත්‍රය පුරා ඒකාකාරව යෙදීම සිදුකරන්නේ නැත. උසස් කෘෂි තාක්‍ෂණයන් භාවිත කිරීම තුළින් එක් එක් වගා භූමියට සරිලන සේ නිවැරදිව එවැනි සම්පත් යෙදීම මෙන්ම එක් එක් භෝගයට ආවේණික ලෙස ඒවා සපයා දීමට ද ඉන් ඉඩ සැලසේ.

කෘෂි තාක්ෂණයේ වාසි

කෘෂි තාක්‍ෂණයේ දියුණුව ගොවිතැනට ලබාගෙන ඇති ආකාරය පිළිබඳ උදාහරණ කිහිපයක් පහත සඳහන් වේ:

1. ජලය, පොහොර, පළිබෝධනාශක සහ අනෙකුත් ආදාන සම්පත් අඩුවෙන් භාවිතාකිරීමෙන් කෘෂි නිෂ්පාදකයින්ට තම පිරිවැය අඩුකර ලාභය ඉහළ නංවා ගත හැක.

2. මනා ලෙස සැලසුම්සහගතව කටයුතු කෙරෙන නිසා අඩු ශ්‍රම අවශ්‍යතාවයකින් වැඩි භෝග අස්වැන්නක් ලබා ගත හැකිය.

3. පළිබෝධනාශක වැනි රසායනික ද්‍රව්‍ය අවමව භාවිතා වන නිසා වගා බිම් ආශ්‍රිත ජල මාර්ගවලට ගලා යන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය වැළැක්වීමට හෝ අවම කිරීමට හැකියාවක් ලැබෙන නිසා එමඟින් ඇතිවෙන පරිසරය දූෂණය අඩු කර වැඩි තිරසර භාවයක් ළඟාකර ගත හැකි වේ.

4. ගොවීන්, කෘෂි ක්ෂේත්‍ර නිලධාරීන්, කෘෂි විද්‍යාඥයින් මෙන්ම අනෙකුත් කොටස්කරුවන් අතර ඇති සන්නිවේදනය කාර්යක්ෂම කරමින් ජංගම උපාංග, යෙදුම් හා අන්තර්ජාල වෙබ් අඩවි වැනි සම්පත් භාවිතාවේ යෙදෙන නිසා ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් සන්නිවේදනය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම පහසු වේ.

5. කෘෂිකාර්මික දත්තවලට මෙන්ම තාක්ෂණික, රක්‍ෂණ සහ මූල්‍ය සේවා දත්ත වෙත බාධාවකින් තොරව ප්‍රවේශ වීමට හැකිවේ.

6. සැමවිටම ක්‍රියාත්මක වන කෘෂිකාර්මික නිරීක්ෂණ පද්ධති ආධාරයෙන් පළිබෝධ, ස්වභාවික විපත් සහ අයහපත් කාලගුණය නිසා ඇතිවිය හැකි හානිය අවම කිරීමට හැකියාවක් ලැබේ.

7. නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩි දියුණු කොට මනා තත්ත්ව පාලනයක් ඇති කිරීම තුළින් ගොවිපළ ආදායම වැඩිවේ.

8. භෝග වගාවේ පෝෂක ඌනතාව කාලෝචිත ලෙස හඳුනා ගැනීමට සහ වගාවට අවශ්‍ය පොහොර වර්ගය සහ ප්‍රමාණය වැනි කෘෂි තාක්ෂණික දැනුම කලට වේලාවට දැනුම් දීමට හැකිවේ.

9. වත්මන් සහ ඓතිහාසික කෘෂිකාර්මික දත්ත විශ්ලේෂණයෙන් ලබා ගන්නා නිෂ්පාදන රටා සහ ප්‍රවණතා අධ්‍යයනය තුළින් ගොවිපළෙහි ඇතිවිය හැකි ගැටලු කල්තියා දැකීමේ හැකියාවක් ඇතිවේ.

10. කිසියම් කන්නයක ගොවීන්ගේ සමස්ත බෝග අස්වැන්න ඇස්තමේන්තු කිරීමටත්, පසුව එලඹෙන කාලය සඳහා අස්වැන්න කළමනාකරණය කිරීමටත්, හදිසි අවස්ථා සඳහා වඩා හොඳින් සූදානම් වීමටත් හැකියාවක් ලැබේ.

ලෝක කෘෂිකාර්මික පිබිදීම

කෘෂිකාර්මික රටවල් ලෙස හඳුනාගත්තද, අප වැනි දියුණු වෙමින් පවතින රටවල කෘෂි කර්මාන්තය බොහෝ විට මූල්‍ය සහනාධාර මත යැපෙන ස්වභාවයක් පෙන්වයි. අපහසු ආර්ථික තත්ත්වයන් මෙන්ම හීනවන ශ්‍රමය සහ දැනුම හමුවේ මේ තත්ත්වය තවත් තීව්‍ර වේ. මෙවැනි දුර්වල කෘෂි නිෂ්පාදන ආකෘතියක් වෙනස් කළ හැකි එකම මඟ තාක්ෂණය බව අවිවාදයෙන් පිළිගැනීමට සිදුවේ. එනිසා කෘෂි ක්ෂේත්‍රයේ පරිණාමනය පිළිබඳව වැටහීමක් ලැබීම වැදගත්ය.

දුර්වල ඵලදායිතාවක් සනිටුහන් කළ එහි මුල් යුගය “කෘෂිකර්මාන්තය-1.0 – Agriculture 1.0” ලෙස හඳුන්වනු ලබන අතර, බොහෝ ලෙස සතුන්ගේ උපකාරය ලැබීමත්, නගුල වනි සරල මෙවලම් භාවිත කිරීමත් දක්නට ලැබුණි. කෘෂිකර්මාන්තය-2.0 යුගය ආරම්භ වූයේ 19 වැනි සියවසේ අගභාගයේදී ට්‍රැක්ටර් වැනි යන්ත්‍රෝපකරණ හඳුන්වා දීමත්, වැඩි අස්වැන්නක් වෙනුවෙන් රසායනික ද්‍රව්‍ය භාවිතයත් සමඟය. දෙවැනි කාර්මික විප්ලවය ගෙනා තාක්ෂණික ප්‍රගතියේ වේගය කෘෂිකර්මාන්තයටද බලපෑවෙන් ක්‍රියාකාරී ලෙස සාම්ප්‍රදායික ගොවිතැන මෙම යුගයේදී පුළුල්ව සංවර්ධනය වනු දක්නට ලැබුණි. කෙසේ වුවද වෙනස්වන ජීවන රටාවේ බලපෑම නිසා ශ්‍රමය පිළිබඳවත්, භෝග වගාවේ සැපයුම් සහ නිපැයුම් කළමනාකරණයටත් නවීන ක්‍රමෝපායන්ගේ අවශ්‍යතාව දිනෙන් දින දැනෙන්නට වුණි.

කෘෂිකර්මාන්තය 3.0

අද අප පිවිස සිටින්නේ කෘෂිකර්මාන්තය-3.0 ලෙසද හැඳින්වෙන වඩාත් නිරවද්‍ය හා බුද්ධිමත් ගොවිතැනක් සනිටුහන් කරන සුහුරු ගොවිතැනක් පවතින යුගයකටයි. මෙහිදී භෝග නිෂ්පාදනයට අවශ්‍ය සියලුම ආදාන සම්පත් කෙරෙහි සැලකිලිමත් වීමත්, වඩාත් කාර්යක්ෂමව කෘෂි දාමය කළමනාකරණය කිරීමත් මුඛ්‍ය අවශ්‍යතා ලෙස සැලකේ. නිවැරදි කෘෂිකර්මාන්තයක් ඉලක්ක කොට කෘෂි තාක්‍ෂණය යොදාගැනීමෙන් නව ගොවිතැන් ක්‍රම සහ ඒ ආශ්‍රිත මෙවලම් දියුණුවට පත්වීම කැපී පෙනේ.

තිබෙන සම්පත් වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීමට GPS තාක්ෂණය යොදාගැනීම මෙම යුගයේ හඳුන්වා දුන් පෙරළිකාර ක්‍රමයකි. තිරසර කෘෂිකර්මාන්තය පිළිබඳ අදහස සැබෑවක් වීමටත් සහ ස්වයංක්‍රීයකරණ විකල්ප ගණනාවක් බිහි වීමටත් මෙම තාක්ෂණය ප්‍රධාන හේතුවක් වී තිබේ.

එහි සැබෑ ප්‍රතිඵලය වැඩි කල් නොයාම අපට අත්විඳින්නට හැකිවනු ඇත.

කෘෂිකර්මාන්තය 4.0

සුහුරු ගොවිතැනේ සිට සම්බන්ධිත ගොවිතැන (Connected Farming) දක්වා වූ පිම්ම කෘෂිකර්මාන්තයේ භාවිත කෙරෙන තාක්‍ෂණයත් සමඟම කිහිපයක් රටවල් ඉතා ඉක්මනින් වැලැඳගනිමින් සිටී.

ක්‍රමක්‍රමයෙන් අප මේ පිවිසෙන්නේ කෘෂිකර්මන්තය-4.0 යුගයටයි.

නවීන ස්වයංක්‍රීය යන්ත්‍ර, සංවේදක සහිත රොබෝවරු, Augmented Reality, IoT වැනි නවීනතම තාක්ෂණික සොයාගැනීම්, ඩ්‍රෝන යානා සහ චන්ද්‍රිකා වැනි තාක්‍ෂණ විධි කෘෂිකර්මාන්තය-4.0 යුගයේ කෘෂි පරිසරය ඔපවත් කරයි.

කෘෂිකාර්මික අංශයේ තීරණ ගැනීම උදෙසා මධ්‍යගතව ගබඩා කර ඇති දත්ත වෙත නවීන ඩිජිටල් මෙවලම් හරහා ප්‍රවේශ විය හැකි නිසා විශ්ලේෂණය කරන ලද දත්ත ආධාරයෙන්, ගොවීන්ට සහ අනෙකුත් කොටස්කරුවන්ට වඩාත් ඵලදායී තීරණ ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

මෙම යුගයේදී කෘෂි තාක්‍ෂණයේ සියලුම වර්ධනයන් ඒකාබද්ධවීම හා ජාලගත වීම වේගවත් වේ.

නිෂ්පාදන ක්‍රියාවලියේ සියලුම අදියරයන් ප්‍රශස්ත කිරීම, කළමනාකරණය සහ පාලනය ඉහළ නැංවීම මෙන්ම අනුබද්ධිත ව්‍යාපාරයන් අධීක්‍ෂණයද මේ තුළින් අරමුණු කෙරේ.

කෘෂි තාක්ෂණය වැළැඳ ගැනීම මෙලෙස වේගයෙන් ඉදිරියට යමින් තිබියදී, ඊට බාධා පමුණුවන කරුණු කිහිපයක් කෙරෙහි ද අවධානය යොමු කිරීම වටී.

1. කෘෂි ක්ෂේත්‍රයේ නියැළී සිටින අයට නවීන තාක්ෂණය පිළිබඳ නිසි අධ්‍යාපනය සහ ප්‍රායෝගික අත්දැකීම් එකසේ නොමැති වීම.

2. මඳ දැනුමකින් යුතු ගොවීන්ට යන්ත්‍රෝපකරණ සහ මෘදුකාංග ඵලදායි ලෙස ක්‍රියා කිරීමට නොහැකි වන අතර, ඔවුන්ට තාක්‍ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නොහැකි වීම.

3. නවීන යන්ත්‍රෝපකරණ හා තාක්ෂණික මෙවලම් මිල දී ගැනීමට සහ නඩත්තු කිරීමට අධික පිරිවැයක් දැරීමට සිදුවීම නිසා ඒ කෙරෙහි අවධානයක් නොලැබීම.

4. රසායනික පොහොර සහ පළිබෝධනාශක භාවිතය පිළිබඳ මුල් බැස ගත් වැරදි මතයන්ගෙන් බහැර වීමට ඇති මැළි බව.

5. සාම්ප්‍රදායිකව කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවියාගේ දැනුම යාවත්කාලීන කිරීමට ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් නොතිබීම.

ප්‍රසාරණය වන ජනගහනයක ආහාර අවශ්‍යතා අඩුවකින් තොරව සපුරාලීමට නම් කෘෂි තාක්ෂණය නිසි ලෙස යොදා ගත යුතු බවත්, එහි බලපෑමෙන් මිදීමට අපට නොහැකි බවත් පැහැදිලිය.

පරිසර හිතකාමී පිළිවෙත් අනුගමනය කරමින් සුහුරු කෘෂිකර්මාන්තයක යෙදීම කෘෂි ආහාර දාමයේ සියලුම කොටස්කරුවන්ට වාසිදායක වේ.

ගෝලීය වෙළඳපොළ වුවද ජයගත හැකි විභවයකින් හෙබි ශ්‍රී ලාංකික කෘෂි ක්ෂේත්‍රය නිසි ලෙස කෘෂි තාක්ෂණයෙන් සවිබල ගන්වනු දැකීම රටවැසි කාගේත් අපේක්ෂාවයි.

අජන්ත සෙනෙවිරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division