ආදරණීය දුවේ පුතේ,
අද මම ඔබට කියන්න හදන්නේ පුංචි කතාවක්. මේ කතාව මමත් මගෙ අම්මගෙන් අහගත්ත කතාවක්. ඒ පුංචි කතාව ඇතුළේ කොයිතරම් ලොකු කතාවක් තියෙනවද කියලා මගේ පුංචි කාලෙටත් වඩා අද මට තේරෙනවා.
ඔන්න එක කැලේක පුංචි හා පවුලක් හිටියා. හා පවුලක් කිව්වාම ඒ පවුලේ හිටියේ හා අම්මයි, හා තාත්තයි පුංචි හා පැටියයි. මේ හා පැංචා හරිම දඟයි. උදේ ඉර එළිය වැටෙනකොටම මේ පැංචා තමන්ගේ ගුහාවෙන් එළියට එනවා. ඊට පස්සේ එයා අතන මෙතන ඇවිදිනවා. මෙහෙම ටික කාලයක් යද්දි හා පැංචට ඒ පරිසරය එපා වුණා. හා පැංචට හිතුණා මීට වඩා ලස්සන පළාතක් හොයාගෙන යන්න ඕන කියලා. එයා එයාගේ අම්මටයි තාත්තටයි ඒ බව කිව්වා. හා අම්මා කිව්වා “පුතේ… අපි මේ ඉන්නේ ලොකේ තියෙන ලස්සනම තැන තමයි” කියලා. හා පැංචගෙ තාත්තත් එහෙම කිව්වා.
“බලන්න පුතේ, මේ වටේම ලස්සන ගහ කොළ තියෙනවා. ඕන වෙලාවක වතුර බොන්න පුළුවන් දොළ පාරක් තියෙනවා. හැමතැනම උදුපියලිය තියෙනවා. අපිට මෙතැන හරි ආරක්ෂිතයි. මේ කැලේ ඉන්න සතුත් මයෙ පැංචව අඳුරනවා. ඒ නිසා කාගෙන්වත් හිරිහැරයක් නැහැ.”
ඒත් පැංචට හිතුණා “ නෑ මම ඇවිදලා බලන්න ඕන… මෙතැනින් එහාට මීට වඩා ලස්සන තැනක් ඇති.” එහෙම හිතාගෙන හා පැංචා නිදාගත්තා.
පහුවදා උදෙන්ම ඇහැරුණ පැංචා අම්මටවත් තාත්තටවත් නොකියා ගෙදරින් එළියට ආවා. අද මං හොයාගෙන යනවා ලස්සනම තැන. එහෙම තමන්ටම කියලා එයා ඇවිදින්න ගත්තා. කොච්චර ඇවිද්දත් එයාට එහෙම තැනක් ඒ වෙනකොටත් හමුවෙලා තිබුණේ නැහැ. ඉර බැහැගෙන ගිහිල්ලා හැන්දෑ කළුවර වැටෙන්න ගත්තා. දැන් හා පැංචට හරි මහන්සියි. එයා කැලෑ පාරවල් දිගේ එහෙට මෙහෙට ඇවිද්දා. හොඳටම කළුවර වැටුණා. හා පැංචට හරි නිදිමතයි. එයා කළුවරේම ගහක් මුල වැතිරුණා.
හා පැංචට එකපාරටම ඇහැරුණා. එහෙම ඇහැරුණේ ලස්සන කුරුලු හඬක් ඇහිලා. එයා ඇස් පිහදාලා අවට බැලුවා. ඉර ලස්සනට පායලා. පුංචි පුංචි මල් පිපිලා. සමනල්ලු එහෙන් මෙහෙන් පියඹනවා. හා පැංචට හරිම සතුටුයි. එයා උඩ පැනලා කෑ ගහන්න ගත්තා. “ලෝකේ ලස්සනම තැන මම හොයා ගත්තා“ කියලා. ඒ හඬට හා පැංචගෙ අම්මයි තාත්තයි පැංචා ළඟට ආවා.
“මගෙ රත්තරන් කොහෙද ඔයා ගියේ. තාත්තයි මමයි හැමතැනම ඔයාව හෙව්වා” හා අම්මා එහෙම කියලා පැංචව තුරුළට ගත්තා.
හා පැංචට හරිම සතුටුයි… තමන් බොරුවට නේද ඇවිද්දේ කියලා එයාටම හිතුණා. අම්මා තාත්තා ඉන්න තැන තමයි සුන්දරම තැන, ආයේ කවදාවත් කොහේවත් යන්නේ නැහැ කියලා පැංචා හිතා ගත්තා.
ආදරණීය දුවේ පුතේ, ඔයාගේ ගෙදර අම්මා තාත්තා සහෝදර සහෝදරියන් එක්ක සතුටින් ඉන්න හැම වෙලේම උත්සාහ කරන්න. ඒ තමයි ඔයාට තියෙන සුන්දරම ලස්සන නවාතැන.
ඔයා වැඩිහිටියෙක් වෙලා රස්සාවක් කරලා තනිවම ජීවත් වෙන්න ගත්ත කාලෙක ඔයාට මේ කතාවේ තේරුම හරියටම දැනේවි. එතකොට ඔයාගේ අම්මා තාත්තා ඔයා එක්ක නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අයත් සමඟ ගතවෙන හැම මොහොතකම සතුටින් ඉන්න.
– ඉසවි