ආපහු එන්න රට හැර ගිය දරුවන්නේ
රොන් ගන්නා ලෙසට ලස්සන මල නොතෙළා
බදු අය කළ යුතුය මිනිසුන් ගැන සිතලා
එනමුදු රටේ උගතුන්ගේ ගෙල සිඳලා
බදු අය කළේ උන්ගේ සැපතම හිතලා
අඩකට වඩා වැඩියෙන් බදු ලෙස ගන්නේ
එනිසයි උගත් අය අප රට හැර යන්නේ
රටකට පෙරට යන එය විනයක් වන්නේ
දුකටය හිතේ මේ කවි ලියැවෙන්නේ
ලැම්බට් ප්‍රනාන්දු – ජාඇල
ප්‍රේමය
දවා අළු කළ පසුය
ඇඟේ චිතකය
මෙමට හැඟී ගියෙ
සැබෑ ප්‍රේමය
දිල්ෂික දිල්ෂාන්
සොහොයුරු පෙම
කටුමැටි පැල ඇතුළම තව්තිසා ලොවක් විය
උදයට බිව් ලුණු කැඳටික දිව බොජුනක් විය
දිවා රැයේ ආහාරය මොනවා හෝ විය
රෑ වන විට පන් පැදුරම සිරි යහනක් විය
අපි හය දෙන එකතුවෙලා දවස ගෙවපු හැටී
එකිනෙකාට විරසක වී රණ්ඩු කරපු හැටී
අම්මාගෙන් ඉරටු පාර නිතර ලැබුණ හැටී
තවමත් ඒ සොහොයුරු පෙම බිඳී නොගිය හැටී
නඩේගුරා මම ‘අක්කා’ තවම ඉන්නවා
සොහොයුරු පෙම සිහිවෙන විට පුදුම හිතෙනවා
දිවි සැරියේ අවසන ටික ටික ළං වෙනවා
මතු දිනයෙක යළි හමුවෙයි කියා සිතෙනවා
අයි. ඩී. නන්දාවතී – ගම්පහ
දිවාකර ගෙයි පැදුරෙ නිදිමතින
මව් වතට දිලිසෙන්න කැඩපතට
අප්පච්චි හිනැහුණා කළුවරට
රන් තරුත් පෙම් කෙරුවෙ පුරහඳට හංග ගත් කඳුළු ඇත දිවයුරුට
කුලියකට වැඩ කරන පඩිපතට
ඇන්දෙ බාල ම සරම් නිරුවතට
මිහිරි පල තබා දරු මුව අගට
පැන් තොටක් කළෙ කුස ම දැවෙන විට
දරාගෙන ළය සුවඳ දුර ඇදෙන
බලාගෙන ඉඳියි සිත රැඳි සිහින
මුවා වෙන සඳ ළඟින් තරු දකින
දිවාකර ගෙයි පැදුරෙ නිදිමතින
චන්ද්‍ර නිශ්ශංක හපුආරච්චි
– රත්නපුර
ගමට ලියන කවි
සරුබර කෙත් වතුය දස අත පෙනෙන්නේ
මනහර දසුන්මය නෙත් යුග දකින්නේ
මහවැලි නදිය ගම වටකර ගලන්නේ
යටිවාවල ගමට මම කවි ලියන්නේ
සෙංකඩගල නුවර දළදා පහස ලද
බුදු පණිවිඩ කියන සුළඟේ සුවය විඳ
කදුරට කඳු වළලු අතරේ අතර මැද
ගම්මානයකි මගෙ ගම මා උපත ලද
සිංහල ගති සිරිත් පණ මෙන් රැකදේවා
අටුකොටු පිරී බත බුලතින් සරුවේවා
ජාතිය නඟාලන විරුවන් බිහිවේවා
යටිවාවල ගමට ජය ජය ජය වේවා
ගාමිණි චන්ද්‍රසේන – යටිවාවල
රක්ෂණ මාමා
ළදරු පාසලට මාමා ආවලු
චිත්තර අඳින්න කොළයක් දුන්නලු
එහි පසුපස ඇති දේවල් පුරවා
හෙට ඒ මාමට දෙන්නත් කීවලු
තාත්තගෙ අම්මගෙ වත ගොත ලියලා
ගෙදර ලිපිනයත් කොළේම ලියලා
චිත්තරයත් හරි හැඩේට ඇඳලා
මාමාගෙ අතටම පුතු මගෙ දීලා
පසුදා මාමා ගෙදරට ආවා
පුතුගෙ තාත්තා සොයන්න වූවා
රක්ෂණ විස්තර පැහැදිලි කෙරුවා
මාමා ආයෙත් එනව කිවුවා
කෝකිලා විජේවික්‍රම අබේකෝන්
දෙයියෝ සාක්කි…!
සිළුමිණි සෑය ළඟ
දණ ගසා වැඳගෙන
පවසා සිටී දෙවියකු
අමතා කේශ ධාතුව
“කිසිදාක දැක නැති
අපේ රූ අඹාගෙන
ඒ ළඟ වැටී වැඳගෙන
පුදපෙත් පඬුරු පාමින
මිනිසුන් යදී අපගෙන්
සියලු සැප සම්පත
බුදු වුණෙත් මිනිසෙක් බව
නොසිතන කරුණු කිම උන් ”
රුවන් ඩී. අළුබෝමුල්ලගේ
අප්පච්චී….
සරද පත් අතර ගී ගැයූ කුරුලන්
නිහඬ තත් මතද වෙන වැයූ මියුරන්
නිබඳ සෙනෙහසින් සවි පෙවූ ඇදුරන්
සබඳ, ඔහු හැර ගියා පණ වු සිය දරුවන්….
ඉතින් ලොව කිසිවෙකුට ළඟාවිය නොහැක
ගතින් හැර ගොසින ඔහු, හිඳී දෙව් ලොවක
නිතින් ගුණ සිහිකරමු නෑර එක් දිනෙක
නිවන් මඟ ලැබේවා නුදුරේම භවෙක…!
මතු මතුද සසර පින් උතුරමින් ලැබේවා
වැඩූ ගුණ දම් කඳෙන් පුන් කයක් ලැබේවා
තව තවත් බුදු වදන් පිළිවෙතට නැවේවා
අමා මහ නිවන්සුව ගමන දුර නොවේවා!
තුෂාරි බෝඹුවල
ගමට කැකිරි
බෙයා ෆුට් සඟල ගුරුපාරෙ ඇන ඇන
නිල් ඩ්‍රිල් ෂෝට, අත්කොට කමිසෙ ඇඳ
කොටුරූල් තනිරූල් පොත් කරේතියාගෙන
කනිෂ්ඨෙට ආ ගිය, අද දිසාපති මැති සඳ
ගුරු පාරෙ තාර වැටිලා විදුලියත් ඇවිත්
ගේ දොරත් ටිකක් හරි පිළිවෙළක් වෙලා දැන්
ඒත් මොනවා හරිම අඩුවකුත් දැනෙනවා
මදි පුංචිකම් ගොඩක් එහෙම්මම කර තියන්
ඉස්සරට වඩා පරතරය ඉහළට ගිහින්
එදා පරිභෝජනය තුනෙන් එකකට ඇවිත්
මොකෙන් මොක වුණ නමුත් තාමත්
කොළඹට කිරි ගමට කැකිරිද සිතෙත්
රුවන් ඩී අළුබෝමුල්ලගේ
පියාණෙනි
සත් කුළු පව්වට ඉහළින් ඉර පායන අරුණේ
අත් නොහැරම මල් යායට රන් දියවර වැටුණේ
ගත් වෙහෙසට හිස් වී නැත දිවි අටුවයි පිරුණේ
පොත් දහසක කවි ගී පද ඇත පියෙකුගෙ මුහුණේ
කන්දකි ඉවසා දරාන දිය ඌලක් මැව්ව
දන්දී ගංගා ඇළ දොළ සත්සමුදුර සෙව්ව
නින්දෙත් සා පැටවුන් ළඟ දුක්බර කවි කිව්ව
අන්දර කටු සිපගත් සිරිපතුලකි දිවි පව්ව
පියවර මඟ ලකුණු දිගේ ආ රළු දිවි කතර
වියපත් ඉර මල දකිනා සෙලවෙන දිවි අතුර
කය පමණක් මිහිදන්වී සුවඳකි අප අතර
ණය නැත නුඹ පොහොසතෙක්ය මේ දුප්පත් සසර
මහගම සීලානන්ද හිමි
නොමැත නුඹේ ගැන අහිතක්
තැළුණු හිත අද්දර ම නුඹෙ මතක තිබුණා
බිඳුණු හද පාරවා මුදු සුවද රැඳුණා
හෙළුණු හැම සුසුමකම අරුත ඇත හඳුණා
කියනු සිහිනයෙන් හෝ ආදරය මුමුණා
දෙසවන ම පිරිමදින සොඳුරු බස් වහරක්
හදේ ගිනි නිවාලන සිහිල් දිය දහරක්
ළෙංගතු වූ හඬ පවා කුස පිරෙන අහරක්
ඔබෙ සෙනේ දිය බඳුන මට විසල් සයුරක්
වෙන්වීම සෙනෙහස ක බියකරු ම අරුතක්
සංසාර සාගරේ දිය සිඳුණු මොහොතක්
වින්ද දුක් කප්පරකි තැන් දෙකක දෙහිතක්
තුන් හිතකවත් නොමැත නුඹේ ගැන අහිතක්
ලීලාරත්න සුබසිංහ