Home » පොල් ලෙල්ලෙන් ජීවිතය ජයගත් නව නිපැයුම්කරුවා

පොල් ලෙල්ලෙන් ජීවිතය ජයගත් නව නිපැයුම්කරුවා

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

පොල් කර්මාන්තයට තර්ජන රැසක් එල්ලවී තිබෙන අවස්ථාවක පොල් ලෙල්ලෙන් ජීවිතය ජයගෙන ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව රැගෙන ගිය අපූරු ලාබාල ව්‍යවසායකයකු පිළිබඳව තොරතුරු කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඔහු නමින් නිරෝෂන් ද සිල්වාය. උසස් පෙළ හැදෑරීමෙන් පසුව මේ තරුණයා අද වනවිට අපේ රටට අවැසිම ඩොලර් ගෙන ඒමේ උල්පතක් බවට පත්ව හමාරය. බණ්ඩාර කොස්වත්තේ ⁣”කොකෝඩ්‍රීම්ස් පුද්ගලික සමාගමේ” හිමිකරු වන නිරෝෂන්ගේ අතින් නිපදවෙන පොල් නිෂ්පාදන සඳහා අවශ්‍ය යන්ත්‍ර රැසක් මේවනවිට ජාත්‍යන්තරය ජයගෙන අවසානය.

අවශ්‍ය සම්පත්දායකත්වය මෙන්ම අංග සම්පූර්ණ පුහුණුවක්

පොල් ලෙල්ල කැබලිවලට කැපීම, ලෙල්ල තීරු ගැසීම, පොල් ගෙඩියේ ලෙල්ල ගැලවීම, ලෙල්ල සම්පූර්ණයෙන්ම කුඩු කිරීම, කොහුබත් සැකසීම මෙන්ම කොප්පරාවලින් තෙල් නිස්සාරණය කිරීම ආදි ක්‍රියාවලි රැසක් සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිරෝෂන් සතු තාක්ෂණයෙන් නිපදවේ. මේවාට අමතරව ඔහුගේ සිතේ උපන් තාක්ෂණයෙන් අනූන තවත් යන්ත්‍ර රැසක්ම මේවනවිට එළිදක්වා අවසානය.

මේ යන්ත්‍ර බොහෝමයක්ම ස්වයං රැකියා ලෙස ජීවිතය ජයගැන්මට සිතන අපේ රටේ බොහෝදෙනෙකුට වර්තමානයේ පවතින වෙළඳපොළේ මිලට වඩා අඩු මිලකට නිරෝෂන්ගෙන් මිලදී ගැනීමට හැකි වීම ද විශේෂ කරුණකි.

පොල් ලෙල්ලෙන් යම් කර්මාන්තයක් ආරම්භ කිරීමට සූදානමින් සිටින අයකුට ඒ සඳහා අවශ්‍ය සම්පත්දායකත්වය මෙන්ම අංග සම්පූර්ණ පුහුණුවක් ලබාදී ව්‍යාපාරය ජයගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ද නිරෝෂන් ලබා දෙන ඉහළින්ම අගය කළ යුතු සේවාවකි.

මේ වන විට දිවයින තුළ පමණක් නොව ජාත්‍යන්තරය ද මේ ළාබාල තරුණයා ජයග්‍රහණය කර අවසන්ය. අපට වඩා තාක්ෂණයෙන් ඉහළ බව කියන අසල්වැසි ඉන්දියාව මෙන්ම තායිලන්තය, පිලිපීනය වැනි රටවල් ද නිරෝෂන්ගේ පොල් ආශ්‍රිත නිෂ්පාදන යන්ත්‍රසූත්‍ර ඇණවුම් කිරීම ද මේ කුඩා රටට ආඩම්බරයකි. ඊට හේතුව ඔහුගේ මේ නිෂ්පාදන නව තාක්ෂණයෙන් සහ කාර්යක්ෂමතාවෙන් එම රටවල නිෂ්පාදනවලට වඩා ඉහළ තත්ත්වයක පැවතීමය. ඔහු මේදිනවල ඉන්දියාවට යැවීම සඳහා තම යන්ත්‍ර රැසක් සූදානම් කරමින් සිටින ආකාරය ද දැකගත හැකි විය.

අවශ්‍ය මූල්‍ය පහසුකම්

මේ නිසා ආර්ථිකය නඟා සිටුවීම සඳහා අපේ රටට ඩොලර් අවශ්‍යව තිබෙන යුගයක නිහඬව කිසිදු අවධානයකට ලක් නොවී ඩොලර් උපයා දෙන අපූර්ව හැකියාවකින් යුත් මේ නිර්මාණශීලි තරුණයා පිළිබඳව නව රජයේ අවධානය යොමුවිය යුතුමය. එසේ කියන්නේ මේ තරුණයා ගැන දැනදැනත් පසුගිය කිසිදු රජයක් නිරෝෂන්ගේ මෙවැනි නිර්මාණ පිළිබඳව අවධානයක් යොමු නොකිරීමය.

මේ නිසා ඔහු නව රජයෙන් ඉල්ලා සිටින්නේ ඔහුට නොව මේ යන්ත්‍ර උපයෝගී කරගෙන ස්වයං රැකියා ආරම්භ කිරීමට බලාපොරොත්තුව සිටින තරුණ තරුණියන් හට ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා දීමට පියවර ගන්නා ලෙසය.

ඉවත දමන පොල් ලෙල්ල යනු මේ වන විට අපේ රටට විදෙස් විනිමය උපයා දෙන ධන උල්පතක් වී ඇති බැවින් පොල් ලෙල්ල ආශ්‍රිත කර්මාන්ත රැසක් බිහිව තිබෙන බව ද ඒ නිෂ්පාදන ඉහළ මිලකට මිලදී ගැනීමට මහා පරිමාණයේ සමාගම් රැසක් සූදානමින් සිටින බැවින් තම නිපැයුම් යොදාගෙන පහසුවෙන් එවැනි කර්මාන්තයක් ආරම්භ කිරීමේ අවස්ථාව මේ වන විට උදාවී ඇති බවය. තම නිෂ්පාදන එළදක්වනතෙක් කුඩා පරිමාණයෙන් පොල් ලෙල්ල ආශ්‍රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය යන්ත්‍ර මෙරට නිෂ්පාදනය නොවූ බව ද නිරෝෂන් ප්‍රකාශ කළේය

කුරුණෑගල - පුෂ්පකුමාර ජයරත්න

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division