Home » අපගේ සේවාව ලබා දීමට කිසිදු අවස්ථාවක පැකිළී නැහැ

අපගේ සේවාව ලබා දීමට කිසිදු අවස්ථාවක පැකිළී නැහැ

ඩුබායිහි කොන්සල් ජනරාල් කාර්යාලය

by Mahesh Lakehouse
October 26, 2024 12:28 am 0 comment

“ඩුබායිහි මෙරට කන්සියුලර් කාර්යාලය අහක බලද්දි ශ්‍රී ලාංකික අනාථයන් මෙරටට එවූ එරට අපේ මිනිසුන්ගේ මනුෂ්‍යත්වයේ මෙහෙයුම” යන මැයෙන් සිළුමිණ පුවත්පතෙහි 2024 සැප්තැම්බර් 28 වන දින පළ කරන ලද විශේෂාංග ලිපියේ සඳහන් වන කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් ලෙස මෙම ලිපිය ඉදිරිපත් කරමු.

2024 වර්ෂයේ සැප්තැම්බර් මස පළමුවන දින සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව රට තුළ සිටින පුද්ගලයන්ව නැවත තම මවුරට වෙත යාමට හෝ වලංගු වීසා බලපත්‍රයක් සකස් කර ගැනීමට ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ ඩුබායිහි කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සේවා සපයන ලද ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව මෙසේ පළ කරමු.

* 2024 සැප්තැම්බර් 01 දින සිට 2024 සැප්තැම්බර් 30 වන දින දක්වා (වැඩ කරන දින 20 තුළ) සේවා සපයා ඇති මුළු ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව : 4163

* පොදු සමා කාලය වෙනුවෙන්ම වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් නොමැති ශ්‍රී ලාංකිකයන් සඳහා විශේෂයෙන් ලබා දී ඇති තාවකාලික ගමන් ලියකියවිලි සංඛ්‍යාව : 391

පොදු සමා කාලය ඇරඹීමටත් ප්‍රථමයෙන් ජූලි මසදී, අවතැන් වූ පිරිසක් මෙම උද්‍යානයේ සිටින බව දැන ගැනීමෙන් අනතුරුව එම පිරිස කාර්යාල නිල රථ යොදා ගනිමින් කොන්සල් ජනරාල් කාර්යාලය වෙත රැගෙන විත් ගැටලුවලට සවන්දී ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි. එම පිරිස අතර නැවත ලංකාවට යාමට අවශ්‍ය වූ පිරිසක් මෙන්ම මෙරට රැඳී සිටීමට අවශ්‍ය වූ පිරිසක් ද සිටි බව කිව යුතුය. ලංකාවට යාමට කැමැත්ත දැක්වූ පිරිස් වෙත අවශ්‍ය උපදෙස් මඟ පෙන්වීම් ලබා දෙමින් අදාළ ලියකියවිලි සම්පූර්ණ කරදීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට යාමට පහසුකම කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ලබා දුණි. මෙහි රැඳී සිටි ඇතැම් පුද්ගලයන් ඔවුනට නැවත මවුරට බලා යාමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙවිය යුතු දඩ මුදල් ඔවුන් සතුව නොමැති බවත් නැතහොත් නැවත එක්සත් එමීර් රාජ්‍යයට බාධාවකින් තොරව පැමිණිය හැකි සේ අදාළ නිෂ්කාශන බලපත් ලබාගත යුතු නිසා පොදු සමා කාලය එළඹෙන තෙක් සිටීමට අවශ්‍ය බවත් ප්‍රකාශ කර ඇත. කොන්සල් ජනරාල් කාර්යාලයට කිසිදු පුද්ගලයකු ස්වකීය කැමැත්තෙන් තොරව ශ්‍රී ලංකාවට පිටත් කළ නොහැකිය. තව ද මෙම උද්‍යානයේ සිට කිලෝමීටර් එකකටත් වඩා අඩු දුරකින් පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලය වෙත පැමිණ ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට මෙම පුද්ගලයන්ට හෝ කිසිදු ශ්‍රී ලාංකිකයකුට කිසිදු බාධාවක් නොමැති බව ද අප දන්වා සිටිමු. ඉහත දක්වා ඇති ආකාරයෙන් කොන්සල් ජනරාල් කාර්යාලයෙන් සේවා සපයා ඇති පසුබිමක යථෝක්ත ලිපියෙන් පවසා ඇති ආකාරයෙන් මෙම කොන්සල් ජනරාල් කාර්යාලය විසින් කිසිදු සේවයක් සපයනු නොලැබූ ආයතනයක් ලෙස හුවා දැක්වීම ඉතා කනගාටුදායකය. තවද අවතැන්ව සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මවු රටට යැවීම සඳහා රාජ්‍ය ආයතනයක් වශයෙන් කොන්සල් ජනරාල් කාර්යාලයෙන් මුදල් මුදා හැරීම සඳහා කිසිදු මූල්‍යමය බලයක් අප වෙත නොමැති බවද සඳහන් කරමු.

අවතැන්ව සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා මුදල් වැය කිරීමට අපහට මූල්‍යමය බලතල නොමැති වුව ද අප වෙත ලැබී ඇති බලතල ප්‍රකාර අපගේ සේවාව ලබා දීමට කිසිදු අවස්ථාවක නොපැකිළව ඉදිරිපත් වන බව දන්නා පිරිස් බොහෝ වන අතර ඒ අතර යථෝක්ත ලිපියේ සඳහන් වූ UAE අත්වැල නමැති එකමුතුව ද ඒ පිළිබඳව හොඳාකාරව දන්නා බව ද අපි දන්නෙමු. සහන වැනි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලියාපදිංචි ස්වේච්ඡා සංවිධානය සමඟ මෙන්ම වෙනත් ලියාපදිංචි ශ්‍රී ලාංකික සංවිධාන එක්රැස්ව අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් නැවත ශ්‍රී ලංකාව බලා පිටත් කර ඇති බවත් එලෙසම ඉදිරියේදී ද ඩුබායිහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය විසින් මෙවැනි සේවාවන් හැකි උපරිමයෙන් සපයා දෙනු ඇති බවද දැනුම් දීමට අප කැමැත්තෙමු.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ඩුබායි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division