මම කලක් කසකස්ථානයේ ඇතිරෝ නගරාසන්න ඛනිජ තෙල් කැණීම් සම්බන්ධ සමාගමක සේවය කළෙමි. ඇතිරෝ යනු කැස්පියන් මුහුද අද්දර පිහිටි භූගෝලීයව යුරෝපයට අයත් එහෙත් ආසියාතික නගරයකි. ඉස්තාන්බුල් යුරෝපීය කොටසක් ඒ වගේම පිහිටීමක් ඇති නගරයකි. එය භූගෝලීයව යුරෝපයේ තිබුණාට තාමත් ආසියාතික රටකට අයත් ආසියාවේ මුල් තිබෙන වැසියන් බහුතරයක් වෙසෙන රටකි. ඇතිරෝ නගරයේ සිට කැස්පියන් මුහුදේ නැඟෙනහිර ඉවුරට සමාන්තරව ස්ටෙප් තණබිම දිගේ කිලෝමීටර් තුන්සිය පණහක් පමණ දකුණු දිසාවට යනවිට ටෙන්ගීස් ඛනිජ තෙල් ගම්මානය හමුවෙයි. මේ වැඩබිමේදී මට බොහෝ තුර්කි ජාතිකයන් හමු වී තිබේ.
තුර්කි, අසර්බයිජාන්, ටර්ක්මෙනිස්තාන්, කිර්ගිස්තාන්, තජිකිස්තාන් හා උස්බෙකිස්තාන් ආදී මධ්‍යම ආසියාතික හෝ යුරේසියානු පුරවැසියන් බොහෝ දෙනෙක් අප සමාගමේ සේවය කළ අතර ඔවුන් සියලුදෙනාට තම තමන්ගේ භාෂාවලින් කියන දේ එකිෙනකාට වැටහෙන නිසා ඉතා පහසුවෙන් සන්නිවේදනය කරගත හැකි විය. මෙන්න මේ භාෂා කලාපය ටර්කික් භාෂා කලාපයයි. කැස්පියන් මුහුදේ නැඟෙනහිර ඉවුර හා කිලෝමීටර් සිය දහස් ගණනක් නැඟනහිර දිසාවට විහිදී ගිය ස්ටෙප් භුමි කලාපයේ ටර්කික් ජනයා මුලින්ම ජීවත් වී ඇත. දැන් කැස්පියන් මුහුදේ බටහිර දිශාවට වෙන්න පිහිටි තුර්කියේ සිටින මුල් තුර්කි ජාතිකයන් ලෝකයේ සිටින විශාලම ටර්කික් ජන කොටසයි. දෙවන වැඩිම ටර්කික් ජනයා සිටින්නේ උස්බෙකිස්ථානයේය. මේ ආකාරයට තුර්කියේ සිට මොන්ගෝලියාවේ, චීනයේ හා රුසියාවේ සමහර ප්‍රදේශවල ද ඇතුළුව මිලියන දෙසීයක් පමණ ටර්කික් ජනතාවක් ලෝ පුරා වෙසෙති.
ටර්කික් රටවල්වල භාෂා අතර යම් යම් වෙනස්කම් තිබුණ ද අක්ෂර හෝඩියේ වෙනස්කම් තිබුණ ද එදිනෙදා ජීවිතයේ භාවිතාවෙන වචන සිය ගණනක් එක හා සමානය. මෙන්න මේ භාෂා සමානාත්මතාව මිනිස් සම්බන්ධතා පාලමක් වන හැටි කියන්නට උදාහරණ තිබේ. කසකස්ථානයේදී අප සමඟ සේවය කළ තුර්කි ජාතික තරුණ ඉංජිනේරුවන් තිදෙනෙක්ම කරකාර බැඳ ගත්තේ කසකස්තාන් තරුණියන්ය. ඔවුහු දැන් සිය පවුල් පිටින් තුර්කියට පැමිණ ඉස්තාම්බුල් නගරයට තරමක් දුරබැහැර ප්‍රදේශවල වාසය කරති. තවමත් නොවෙනස්වූ අපේ මිත්‍ර සමාගම නිසා මේ නන්නාදුනන රටේදී මට තනිකමක් නොදනුණේය. එහෙත් අපේ භාෂාවට ඉතා වෙනස් මූලයක් තිබෙන ටර්කික් භාෂාව හෝ කසාක් භාෂාව අපට පහසුවෙන් ඉගෙන ගැනීමට බැරිය.
කසකස්තාන් වැඩබිමේදී අපේ භාෂා පරිවර්තිකාව වූ උස්බෙක් ජාතික අයිසුලුට උස්බෙක්, කසාක් හා තුර්කි යන ටර්කික් භාෂාවලට අමතරව ඉංග්‍රීසි හා රුසියානු භාෂා ද චතුර ලෙස කතා කරන්නට පුළුවන් විය. එකම භාෂා පවුලකට අයත්` භාෂා රාශියක් කතා කරන්නට පුළුවන් වීම සමාජ, සංස්කෘතික හා ආර්ථික කටයුතුවලදී ඔවුන් සියලු දෙනාට වාසිදායකය. අනෙක් අතට අපේ රටේ ප්‍රධාන භාෂා දෙක වන සිංහල හා දෙමල භාෂා මූලාශ්‍ර දෙකකින් පැවතෙන නිසා අප එකිනෙකාට අපේම භාෂා ඉගෙන ගැනීම අපහසු වී ඇත. නොඑසේනම් අපේ රටේ ඉතිහාසය මීට වඩා සුන්දර වන්නට ඉඩ තිබිණි.
කසකස්ථානයේදී අපේ පරිවර්තිකාව වූ උස්බෙක් තරුණියගෙන් මම ගෆුර් ගුලොම් දන්නවාදැයි ඇසුවෙමි. මම ළමා කාලයේදීත් තරුණ කාලයේදීත් දහ පහළොස් වතාවක් කියවා ඇති දැදිගම වී රුද්‍රිගු විසින් සිංහලට පරිවර්තනය කළ උස්බෙක් ලේඛක ගෆුර් ගුලොම්ගේ ‘මගේ හපන්කම්’ ගැන කියද්දී ඇය ප්‍රීතියෙන් පිනා ගියාය. එය ඔවුන්ගේත් ජනප්‍රියම පොතකි. ඇය මට ඒ පොත ඇසුරෙන් නිපදවූ ‘ෂුම් බෝලා’ චිත්‍රපටය ගැන ද කිව්වාය.
කාලය කෙමෙන් ගෙවී ගොස් පසුගිය අවුරුද්දේ මම ඉස්තාන්බුල් නව ගුවන් තොටුපළින් මේ නගරයට ගොඩ බැස්ස සැණින් මට ගෆුර් ගුලොම්ගේ පොතේ හිටි කරවොයි නම් වූ පිරිමි දරුවා මතක් වුණේ මක්නිසාදැයි හිතා ගන්නට බැරි වුණේය. මම හෝටල් කාමරයට පැමිණ සඳළුතලයට ගොස් ඈත තෙරක් නොපෙනෙන තට්ටු ගෙවල්වල ඉඳහිට දකින දුම්කවුළු වන් ඉස්මතුවීම් දකිද්දී මට හිතුණේ අර දඟකාර පැංචා කරෙවෝයි හොර මුලෙන් බේරෙන්නට ගෙවල් පේළියේ වහල දිගේ දුවද්දී ඇද වැටෙන්නට ඇත්තේ මේ පේන කවුළුවකින් වෙන්න ඇති කියාය.
පාරේ යන දඟකාර කොලු ගැටයන් දකිද්දී කුස්සියෙන් සොරාගත් දුම් තෙල් කුට්ටියක් බඩතුරේ ගසාගෙන, බිත්තරයක් තොප්පියේ සඟවාගෙන කොල්ලන් සමඟ දුම්තෙල් බත් උයන්නට දුවන කරවොයි මතක් වුණේය. මෙන්න මේ හේතුව නිසා ඉස්තාන්බුල් නගරයට සේන්දු වූ පළමු සතියෙම මම ශුම්බෝලා චිත්‍රපටය අන්තර්ජාලයෙන් හොයාගෙන බැලුවෙමි. ඒ බලද්දී මීට වසර සියයකට පෙර උස්බෙකිස්ථානයේ අගනුවර තශ්කෙන්ට් නගරයේ ජීවිතය අද හෝ එදාත් ඉස්තාන්බුල් නගරයේ ජීවිතයට වඩා බොහෝ සෙයින් දුක්ඛදායක එකක් බව පෙනී ගියේය. අප උඩ පැන පැන හිනා වෙමින් කියවූ දඟකාර කරවොයිගේ වීරකම් යටින් දිවෙන දුක්බර ජීවන අරගලය ශුම් බෝලා චිත්‍රපටය බලද්දී ඉස්මතු වී පෙනුණේය. අනෙක් අතට චිත්‍රපටය අවසන් වන්නේ අකරතැබ්බ පිරි රස්තියාදුව හමාර කර ආපසු ගෙදර එන කරවොයි සිය මව ඉන් දින කිහිපයකට පෙර මිය ගියා යැයි දැන ගන්නා ශෝකීය ජවනිකාවත් සමඟය. සමහරුන් කියන්නේ චිත්‍රපටයේ කතාව ගෆුර් ගුලොම්ගේ සත්‍ය ජීවිත කතාවට සමීප කරන්නට ඒ වෙනස කළ බවයි. ගෆුර්ගේ මවත් ඔහුට වයස අවුරුදු 9ක් වෙද්දී මිය ගියාය.
කෙසේවතුදු මට කියන්නට වුවමනා කරන්නේ ටර්කික් ජන කොටසකින් විකාශනය වී තුර්කියට ආ ජනයා සෙසු මධ්‍යම ආසියාතික රටවලට වඩා ප්‍රගතියක් ලබා ඇති බවයි. අනිත් අතට ග්‍රීසියේ, රෝමයේ හා යුරෝපයේ මුසුවීම් , ඔවුනට සියවස් ගණනාවක තිස්සේ ප්‍රතාපවත් නගරයක් පවත්වා ගන්නට ඉඩ සලසා තිබේ.
මේ කලාපයේ භාෂාවට හා සාහිත්‍යයට ටර්කික් ජනතාවගෙන් ලැබූ පෝෂණය අමතක කරන්නට බැරිය. ලෝකය පුරා සිටින ටර්කික් ජනතාවගේ සංස්කෘතික කටයුතු රැකගනු වස් ටර්ක්සොයි නමින් වෙනම සංගමයක් බිහි වී තිබේ. පසුගියදා එම සංගමයේ වෙබ් අඩවියක අපූරු පුවතක් මම කියෙව්වෙමි. මේ අවුරුද්දේ මාර්තු මාසයේ තුර්කි අගනුවර අන්කාරා නගරයේදී ගෆුර් ගුලොම්ගේ 120 වැනි ජන්ම දිනය සමරනු වස් ඔහුගේ ‘තරු පිරි අහස’ පොතේ තුර්කි පරිවර්තනය එළිදක්වා තිබේ. මේ උත්සවයට විශේෂ අමුත්තෙක් වශයෙන් ගෆුර් ගුලොම්ගේ දියණියක්ද සහභාගි වී තිබුණාය. ඇය සඳහන් කර තිබුණේ සිය පියා ලෝ පුරා වෙසෙන සමස්ත ටර්කික් ජනතාවගේ හැඟීම් තේරුම් ගෙන ඔවුන් වෙනුවෙන් ලියූ බවයි.
2023 වසරේදී BBC ආයතනය විසින් ලොව මෙතෙක් බිහි වූ හොඳම ළමා පොත් අතරට ගෆුර් ගුලොම්ගේ දඟකාර පොඩ්ඩා හෙවත් ශුම් බෝලා පොත ද තෝරාගෙන තිබුණි. ඒ අනුව බලන කල ටර්කික් සාහිත්‍යය ඒ කලාපයට පමණක් නොව සමස්ත ලෝකයටම ආලෝකයක් සපයා තිබේ.