Home » මාධ්‍යවේදීන්ගේ නිර්මාණශීලී මෙහෙවර ඇගයීම ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළේ අරමුණයි

මාධ්‍යවේදීන්ගේ නිර්මාණශීලී මෙහෙවර ඇගයීම ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළේ අරමුණයි

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන, සැලසුම් හා තොරතුරු) කැළුම් විජේනායක

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීමට මාධ්‍යවේදීන් සිදු කරන මෙහෙවර සහ දායකත්වය ඇගැයීමට ලක් කිරීම තම වගකීමක් බව විශ්වාස කරන ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒ වෙනුවෙන් තවත් විශිෂ්ට කර්තව්‍යකට මුල පුරා ඇත. ඒ, ජනාධිපති මාධ්‍ය සම්මාන – 2024 උලෙළය. ඒ සඳහා නිර්මාණ භාර ගැනීම ඔක්තෝබර් 8 වැනිදා ආරම්භ වූ අතර, ඒ පිළිබඳ වැඩිදුර විස්තර විමසමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන, සැලසුම් හා තොරතුරු) කැළුම් විජේනායක සමඟ කළ සාකච්ඡාවකි මේ.

ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ- 2024 පිළිබඳ හැඳින්වීමක් කරනවා නම්?

ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් මාධ්‍යවේදීන් සිදුකරන මෙහෙවර සහ නිර්මාණශීලී දායකත්වය අගය කිරීමේ අරමුණින් 2018 වසරේදී අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා කර කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කර මෙම සම්මාන උලෙළ සඳහා මුලපුරනු ලැබුවා. ඒ අනුව 2019 වසරේදී පළමුවරට ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ පැවැත්වූ අතර, එහිදී ඇගැයීමට ලක් කළේ 2018 වසරේ පළ වූ සහ විකාශනය කළ නිර්මාණයි. කොවිඩ් වසංගතය සහ රට තුළ පැවැති තත්ත්වය නිසා 2020 සිට 2023 දක්වා වසර කිහිපය තුළ ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ පැවැත්වීමට නොහැකි වුණා. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ මෙවර පැවැත්වෙන්නේ දෙවැනි වරටයි.

ඒ අනුව 2023 වසරේදී මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සහ වෙබ් අඩවි මඟින් පළවූ සහ විකාශනය වූ නිර්මාණ සහ මාධ්‍ය පර්යේෂණ කෘති මේ සඳහා ඉදිරිපත් කළ හැකියි.

මෙම සම්මාන ප්‍රදානය කිරීමේ අරමුණු මොනවාද?

මූලික අරමුණ ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීමයි. එය නීතිමය ප්‍රතිපාදනවලින් පමණක් කළ නොහැකියි. ඒ සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, ජනමාධ්‍යවේදීන් සහ සිවිල් සමාජය මනා අවබෝධයකින් කටයුතු කළ යුතුයි. ඒ සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස ජනාමාධ්‍යවේදීන්ගේ විවිධ දක්ෂතා, කුසලතා, හැකියාවන් සහ සුවිශේෂී නිපුණතා හඳුනා ගනිමින් ඒවා ඇගැයීමට ලක් කිරීම මෙම සම්මාන උලෙළ මඟින් සිදු වනවා. ඒ වගේම වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදීන් බිහි කිරීම සඳහා පසුබිම නිර්මාණය කිරීමට නිසි මඟ පෙන්වීම සහ අභිප්‍රේරණය ලබා දීම, දැනුම්වත් සිවිල් සමාජයක් ගොඩනැංවීම සඳහා සමස්ත ජනමාධ්‍ය ක්ෂේත්‍රය සවිබල ගැන්වීම තුළින් සමාජයේ ඉදිරි ගමනට, යහ පැවැත්මට සහ ප්‍රගමනයට දායක වන මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීම මෙවැනි සම්මාන උලෙළක් පැවැත්වීමේ සෙසු අරමුණු අතර වනවා.

මෙම සම්මාන උලෙළ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකි ක්ෂේත්‍ර සහ තරග අංශ ගැන වැඩිදුරටත් පැහැදිලි කරනවා නම්?

පුවත්පත් ක්ෂේත්‍රය යටතේ වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති වාර්තාව, වසරේ ප්‍රශස්ත ඡායාරූපය, වසරේ ප්‍රශස්ත තීරු ලිපිය, වසරේ ප්‍රශස්ත කාටූන් නිර්මාණය, වසරේ ප්‍රශස්ත පිටු සැලසුම, වසරේ ප්‍රශස්ත විශේෂාංග ලිපිය සහ වසරේ ප්‍රශස්ත ගවේෂණාත්මක පුවත ලෙස තරග අංශ 7ක් යටතේ සිංහල, දමිළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෙන වෙනම ජයග්‍රාහකයන් තෝරා ගනු ලබනවා. ගුවන්විදුලි ක්ෂේත්‍රය යටතේ වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති වාර්තාව, වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, වසරේ ප්‍රශස්ත ගුවන්විදුලි වැඩසටහන, වසරේ ප්‍රශස්ත ළමා වැඩසටහන, වසරේ ප්‍රශස්ත ගවේෂණාත්මක වැඩසටහන සහ වසරේ ප්‍රශස්ත අධ්‍යාපනික වැඩසටහන ලෙස තරග අංශ 6ක් යටතේත්, රූපවාහිනී ක්ෂේත්‍රය යටතේ වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති වාර්තාව, වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම, වසරේ ප්‍රශස්ත ගවේෂණාත්මක වැඩසටහන, වසරේ ප්‍රශස්ත වාර්තා වැඩසටහන, වසරේ ප්‍රශස්ත සංවාදාත්මක වැඩසටහන සහ වසරේ ප්‍රශස්ත අධ්‍යාපනික වැඩසටහන ලෙස තරග අංශ 7ක් යටතේත් වෙබ් අඩවි ක්ෂේත්‍රය යටතේ වසරේ ප්‍රශස්ත ප්‍රවෘත්ති වෙබ් අඩවිය, වසරේ ප්‍රශස්ත වෙබ් වාර්තාකරණය, වසරේ ප්‍රශස්ත බහුමාධ්‍ය භාවිතය සහ වසරේ ප්‍රශස්ත බ්ලෝග් රචක ලෙස තරග අංශ 4ක් යටතේත් මාධ්‍ය පර්යේෂණ ක්ෂේත්‍රය යටතේ වසරේ ප්‍රශස්ත මාධ්‍ය පර්යේෂණ ශාස්ත්‍රීය කෘතිය තරග අංශය යටතේත් ජයග්‍රාහකයන් තෝරාගනු ලබනවා.

මෙවර සම්මාන උලෙළේ විශේෂතා ගැන කතා කරනවා නම්?

මෙවර සම්මාන උලෙළේදී ක්ෂේත්‍ර 6ක් සඳහා සම්මාන 50ක් පිරිනැමීමට නියමිතයි. පසුගිය ජනාධිපති සම්මාන උලෙළේදී සම්මාන ලබා දුන්නේ ගුවන්විදුලි, රූපවාහිනි, පුවත්පත්, මාධ්‍ය පර්යේෂණ සහ වෙබ් අඩවි යන තරග අංශ 5ක් සඳහා පමණයි. මෙවර එම අංශ 5ට අමතරව පාසල් මාධ්‍ය ක්ෂේත්‍රය ද තරග ක්ෂේත්‍රයක් ලෙස ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව පාසල් මාධ්‍ය සමාජ, සංගම් සහ මාධ්‍ය කව යන තරග අංශ යටතේ පාසල් සිසුන්ට ද නිර්මාණ ඉදිරිපත් කළ හැකියි.

පාසල් මාධ්‍ය ක්ෂේත්‍රය ඇතුළත් කිරීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

අනාගතයේදී මාධ්‍ය ලෝකයට අවතීර්ණ වන්නේ වර්තමාන පාසල් දරුවන්. අනාගතයේදී යහපත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයක් ඇති කිරීම සඳහා ඔවුන්ගේ දායකත්වය ලබාගත හැක්කේ වර්තමානයේදී ඔවුන්ට ජනමාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ නිවැරැදි අවබෝධයක් සහ අත්දැකීම් ලැබුණොත් පමණයි. මෙවැනි සම්මාන ප්‍රදානයක් මඟින් ඔවුන් තුළ යහපත් ජනමාධ්‍ය භාවිතය පිළිබඳ උනන්දුවක් වගේම අනාගතයේදී මාධ්‍ය ක්ෂේත්‍රයට යොමු වීමට අභිප්‍රේරණයක් ද ලැබෙනවා. පාසල් මාධ්‍ය ක්ෂේත්‍රය ද මේ සම්මාන උලෙළට ඇතුළත් කළේ ඒ නිසයි. පාසල් දරුවන් නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයැදුම්පත් සමඟ ඔවුන් විසින් සිදු කරන ලද කාර්යය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන සහ ඡායාරූප ඉදිරිපත් කළ යුතුයි.

මූලික තරග අංශ 6ට පිරිනැමෙන සම්මානවලට අමතරව තවත් විශේෂ සම්මාන 4ක් ද පිරිනැමීමට නියමිතයි නේද?

එම සම්මාන 4 පිරිනැමෙන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් සිදු කළ ප්‍රවීණයන් සිවු දෙනෙකුට. ජීවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන එම ජූරියේ විශේෂ සම්මාන සමඟ මුදල් ත්‍යාග ද පිරිනැමෙනවා.

මෙම සම්මාන උලෙළේදී සම්මානිත මාධ්‍යවේදීන්ට මුදල් ත්‍යාගයකුත් හිමි වනවා?

පසුගිය ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළේදී මාධ්‍ය ක්ෂේත්‍රයේ තරග අංශ සඳහා සම්මානලාභියකුට රුපියල් 50,000 බැගින් සහ ජූරියේ විශේෂ සම්මානලාභියකුට රුපියල් 250,000 බැගින් පිරිනමනු ලැබුවා. එම සම්මාන උලෙළ පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. ඒ කටයුතු සංවිධානය සඳහා වැය වන වියදම අඩු කර ගැනීම සඳහා මෙවර සම්මාන උලෙළ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. සංවිධාන කටයුතු සඳහා වැය වන වියදම් අඩු කරගෙන සම්මානවලට වෙන්කර ඇති මුදල තවත් වැඩිකර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මාධ්‍ය ක්ෂේත්‍රයේ තරග අංශ සඳහා සම්මානලාභියකුට රුපියල් 75,000 දක්වා සහ ජූරියේ විශේෂ සම්මානලාභියකුට රුපියල් 300,000 දක්වා ත්‍යාග මුදල වැඩි කරගැනීමට නැවත වරක් කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

නිර්මාණ ඉදිරිපත් කළ යුතු සහ ජයග්‍රාහකයන් තෝරා ගන්නා ක්‍රමවේදය කුමක්ද?

මෙම සම්මාන උලෙළ සඳහා ඉදිරිපත් කළ හැක්කේ 2023.01.01 සිට 2023.12.31 දක්වා පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනි හා වෙඩ් අඩවි මඟින් පළවූ සහ විකාශනය වූ නිර්මාණයි. ඉදිරිපත් කරන නිර්මාණ ස්වතන්ත්‍ර විය යුතු අතර, ඉදිරිපත් කරන නිර්මාණ තම මාධ්‍ය ආයතන ප්‍රධානීන් මඟින් සහතික කර එවිය යුතු වුවත් එසේ නැතිව ස්වාධීනව ද ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා. එවැනි අයැදුම්කරුවන් සහ නිදහස් මාධ්‍යවේදීන් එම නිර්මාණ ස්වතන්ත්‍ර නිර්මාණ බවට තමා විසින්ම දිවුරුම් ප්‍රකාශයක් මඟින් සහතික කර ඉදිරිපත් කළ යුතුයි. විශේෂ කරුණක් වන්නේ ඉදිරිපත් කරන සියලු නිර්මාණ 2023 වසරේදී පළමු වරට පුවත්පතක පළවූ සහ ගුවන්විදුලි, රූපවාහිනී හෝ වෙබ් මාධ්‍ය මඟින් පළමු වරට පළවූ නිර්මාණ විය යුතුයි. නැවත විකාශනය කළ හෝ නැවත පළ වූ නිර්මාණ මේ සඳහා භාර ගන්නේ නැහැ. ඒ වගේම ඉදිරිපත් කරන නිර්මාණ ලාංකේය ප්‍රේක්ෂකයාට, සංස්කෘතියට ගැළපෙන නිර්මාණ විය යුතුයි.

ජයග්‍රාහකයන් තෝරා ගන්නේ අමාත්‍යාංශය විසින් පත් කරන ලද සුදුසුකම් සහිත සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත අනු කමිටු මඟින් නිර්දේශ කරනු ලබන නාම ලේඛන ප්‍රධාන කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. එම කමිටුවේ තීරණය අවසන් තීරණය ලෙස සලකනු ලබනවා.

සම්මාන උලෙළ සඳහා නිර්මාණ ඉදිරිපත් කළ හැකි අවසාන දිනය සහ උලෙළ පැවැත්වෙන දිනය?

නිර්මාණ භාර ගැනීම ඔක්තෝබර් 30 වැනිදායින් අවසන් වන අතර, දිනය දීර්ඝ කිරීමක් සිදු වන්නේ නැති නිසා හැකි ඉක්මනින් තම නිර්මාණ ඉදිරිපත් කරන ලෙස සියලු මාධ්‍යවේන්ට ආරාධනා කරනවා. විස්තර පත්‍රිකාව සහ අයැදුම් පත්‍රය www.media.gov.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැකි අතර, 0112-513737 දුරකථන අංකය මඟින් අමාත්‍යාංශයේ සංවර්ධන අංශය ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය. සම්මාන උලෙළ දෙසැම්බර් මස 3 වැනි හෝ 4 වැනි සතියේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

සම්මාන උලෙළ සාර්ථක කරගැනීම සඳහා සහයෝගය සහ දායකත්වය දක්වන ජනමාධ්‍ය ක්ෂේත්‍ර නියැළී සිටින විශ්වවිද්‍යාල සහ ජනමාධ්‍ය පීඨවල ආචාර්යවරුන්, සියලු රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු සියලු දෙනාට අමාත්‍යාංශය වෙනුවෙන් ස්තුතිය පුද කිරීමට ද මෙය අවස්ථාවක් කරගන්නවා.

ගුණාත්මක මාධ්‍ය සංස්කෘතියක් ගැන කතා කිරීමේදී මාධ්‍ය නියාමනය පිළිබඳ නිතර කතාබහට ලක්වනවා. කෙටුම්පත් කර තිබෙන ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීම කෙසේද?

ඒ පිළිබඳ සමාජය තුළ විශාල කතාබහක් වගේම ප්‍රශ්න කිරීමකුත් තිබෙනවා. විශේෂයෙන් ළමා හා කාන්තා අයිතිවාසිකම් සහ ගැටලු සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී නියාමනයක් අවශ්‍ය බව බොහෝ දෙනාගේ අදහසයි. මේ පිළිබඳ නීති හඳුන්වා දීම අප අමාත්‍යාංශයේ වගකීමක් කොට සලකා සකස් කළ ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියේ මූලික කෙටුම්පත දැන් තිබෙන්නේ අවසාන අදියරෙයි. නව රජයේ ප්‍රතිපත්ති සලකා බලමින් සහ අදාළ සියලු පාර්ශ්වයන්ගේ අවධානය ඒ කෙරෙහි යොමු කර ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය ඉක්මනින් ගෙන ඒමට කටයුතු කරනවා. ඒ වගේම අපේ රටේ විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා කිසිදු ආයතනයක් දැනට නැහැ. එම නිසා ඒ වෙනුවෙන් අධිකාරියක් හෝ කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා කෙටුම්පතක් සකස් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. නව රජයේ ප්‍රතිපත්ති සහ අදාළ සියලු විද්වත් පාර්ශ්වයන්ගේ අදහස් සහ මහජන අදහස් ලබා ගනිමින් එවැනි ආයතනයක් කඩිනමින් පිහිටුවීමට කටයුතු කරනවා.

ඡායාරූප- මාලන් කරුණාරත්න

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division