සම්ප්‍රදායික වතුකරයේ දේශපාලනයට අභියෝග කරන දෙමළ තරුණියක ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා කතා කරනු පෙනෙයි. මේ අම්බිකා සැමුවෙල් නමැති හපුතලේ ආසනයෙන් බදුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ජාතික ජන බලවේගයෙන් තරග කරන ඇය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි
ඔබ කවුද? ඔබගේ පවුල් පසුබිම මොන වගේද යන කතා බහෙන්ම අප මේ සාක්ච්ඡාව අරඹමු ?
මම අම්බිකා සැමුවෙල්. බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ වත්ත තමයි මගෙ ගම. අනිත් වතු ආශ්‍රිත ජනයා වගේම බොහොම දුප්පත් පවුල් පසුබිමක් තමා මට තියෙන්නෙ. මගෙ පවුලෙ ඉන්නෙ අම්මා තාත්තා සහ මගෙ අක්කා. මගෙ අම්මා ආරයි. මගෙ තාත්තා සාමිවේල්. අක්කා විවාහකයි. මවුපියන් බලාගන්න ගමන් ඔවුන් එක්ක ජීවත් වෙනවා. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවෙ හපුතලේ දමිළ ප්‍රාථමික විද්‍යාලයෙන්. උසස් අධ්‍යාපනය හැදෑරුවේ හපුතලේ මධ්‍ය මහ විද්‍යාලයෙන්. උසස් පෙළ කළාට පස්සෙ මම ස්වෙච්ඡා සමාජ සේවා කරන්න පටන් ගත්තා. ඉගෙන ගන්න කාලෙ ඉඳන්ම මම මගෙ වත්තෙ සහෝදර සහෝදරියන්ට පන්ති කළා. ඒ වගේම මම ලෝගොස් ජාත්‍යන්තර පාසලේ දේවධර්මය පිළිබඳ උපාධියකුත් හැදෑරුවා. පසුව විවිධ රැකියාවල නිරතවන ගමන් පන්ති කළා. කොවිඩ් කාලෙදී මගේ වෘත්තියත් අතෑරලා අවුරුදු දෙකකට ආසන්න කාලයක් මම දරුවන්ට ඉගැන්නුවා. දැනට දේශපාලන වැඩකටයුතුවල නිරතවන ගමන්ම පෞද්ගලික සමාගමක කළමනාකරුවෙක් විදියට මම වැඩ කරනවා.
ඔබ සමාජ සේවයට යොමු වුණේ කොහොමද?
අපට තියෙන මූලික ප්‍රශ්නවලින් එකක් තමා අධ්‍යාපනය. නිසි අධ්‍යාපනයක් නොමැතිකම නිසා අපේ කඳුකර දෙමළ මිනිස්සු සෑහෙන්න අපහසුතාවට පත්වෙනවා. අසාධාරණයට ලක්වෙනවා. අපේ වත්ත ආශ්‍රිතව සිංහල පවුලක අක්කා කෙනෙක් හිටියා. ඇය අපට සිංහල, ඉංග්‍රීසි වගේම ගණිතය විෂයත් ඉගැන්නුවා. ඒකෙන් මට ඉදිරියට යන්න ලොකු පාරක් විවෘත වුණු බව මට දැනෙන්න ගත්තා. ඒ නිසාම ඇගෙ ආදර්ශය අනුව ඉදිරියට යමින් මම ලැබූ දැනුම අපේ ප්‍රජාවෙ අනිත් දරු දැරියන් එක්ක බෙදාගන්න ඕනෑ කියන තැනින් තමා මං පටන් ගත්තෙ. අදටත් මං ගමේ ළමයින්ට උගන්වනවා. ඊට පස්සෙ එතැනින් එහාට අපේ ජනයාගේ මූලික අවශ්‍යතා සහ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කරනවා.
ක්‍රියාකාරී දේශපාලනයට එන්න ඔබට මග පෑදෙන්නෙ කොහොමද?
මම දේශපාලනයට අවතීර්ණ වෙන්නේ කිසිදු දේශපාලන පසුබිමක් නැතිව. මං සාමාන්‍ය වතු කම්කරු පවුලක දුවෙක්. මුදල් අගහිඟ කම් එමටයි. කලින් කීව විදිහට වතුකරයේ ළමයින්ට උගන්වමින්, විවිධ සමාජ වැඩ කරමින් ඉද්දී මටත් වඩා ඉදිරියට ගිහින් සමාජ ක්‍රියාකාරිකයකු ලෙස වැඩ කරන මගේ ඥාති සහෝදරයෙක් පසුගිය කාලෙ නාම යෝජනා ගත්තු ප්‍රාදේශීය සභා මැතිවරණයට ස්වාධීන කණ්ඩායමක් විදිහට තරග කරමු කියලා යෝජනාවක් ගේනවා. අපි අපේ වතුකරයේ ජනතාවට කරන සමාජ සේවා මීට වඩා ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න ඒක අවස්ථාවක් වෙයි කියලා හිතලා මං ඒකට කැමති වෙනවා. ඔය කාලෙ ජාතික ජන බලවේගයේ හපුතලේ ආසන සංවිධායක චමින්ද සහෝදරයාට අපි ගැන ආරංචි වෙලා, ඔහු ඇවිත් අපිත් එක්ක කතා කරනවා. ඒ අනුව ඔවුන් සමඟ පක්ෂයේ අධ්‍යාපන වැඩසටහන්වලට එකතු වෙලා ලබා ගත් දැනුම අපේ ප්‍රශ්න දිහා බලන්න අලුත් මානෙකින් බලන්න පිටිවහලක් වුණා. ඒ අනුව ජාතික ජන බලවේගය සමඟ මම දිගටම වැඩකරන්න තීරණය කළා. ප්‍රාදේශීය සභා මැතිවරණය කල් ගිහින් ඊට කලින් මහමැතිවරණය ආවා, ඒ වෙද්දි අලුත් දැනුම හා අත්දැකීම් එක්ක මමත් පෙරට වඩා ශක්තිමත් බව මටම තහවුරු වෙලා තිබුණේ. ඒ නිසා කෙළින්ම මහමැතිවරණයට තරග කරන්න අවස්ථාව ලැබුණා.
පක්ෂයේ ක්‍රියාකාරකම් එක්ක ඔබට ඔබගේ භූමිකාව තහවුරු වුණේ කොහොමද?
පක්ෂයේ නායකයින් මාව අතහැරියේ නෑ. දිගින් දිගටම ඔවුන් අපට පුහුණුවක් දුන්නා. ඔවුන් අපිත් එක්කම ඉඳලා ‘මලයගම් 200“ වැඩපිළිවෙළ ආවම ඒකත් එක්ක වැඩකරන්න අවස්ථාව ලැබුණා. කඳුකර අපේ ජනයා ආමන්ත්‍රණය කරපු මගෙ පළවෙනි වීඩියෝ එක එන්නෙ ඒ වැඩපිළිවෙළ එක්ක. ඒක සෑහෙන්න වයිරල් වුණා. ඒකෙන් මට සෑහෙන්න ප්‍රසිද්ධියක් ලැබුණා. මම පක්ෂ අධ්‍යාපනය හදාරන්න පන්තිවලට අඛණ්ඩව සම්බන්ධ වුණා. ඒ නිසාම කොට්ඨාස විධායක සභාවට, ඊට පස්සෙ හපුතලේ ආසන විධායක සභාවට පත්වුණා. මේ වෙද්දී දිස්ත්‍රික් විධායක සභාවටත් පත්වෙලා ඉන්නෙ. මේ ලැබෙන හයිය එක්ක මට තවත් ඉදිරියට යන්න හැකි වේවි යැයි විශ්වාස කරනවා. ඒ හැම අවස්ථාවම මං මගේ වතුකරයේ දෙමළ ප්‍රජාව වෙනුවෙන් යමක් කරන්න ප්‍රයෝජනයට ගන්නවා.
වතුකරයේ සියලුම වෘත්තීය සමිති ප්‍රධාන ධාරාවේ දේශපාලන නායකයින් එක්ක සම්බන්ධයි. ඒ නායකයින් කලින් කලට එන ආණ්ඩු එක්ක සම්බන්ධයි. මේ තත්ත්වය වතුකරයට බලපාන්නෙ කොහොමද?
ඔබ කියන පරිදි 1994දි අපේ මිනිස්සු තොණ්ඩමන්ට ඡන්දෙ දෙනවා. ඒ වෙද්දි තොණ්ඩමන් හිටියෙ විපක්ෂයේ. ඒ කියන්නෙ කඳුකරයේ අය විපක්ෂයට ඡන්දය දෙනවා. ඒත් එතුමා ඇමතිකමක් අරගෙන, චන්ද්‍රිකා මැතිනිය එක්ක ආණ්ඩු කරන්න වාඩි වුණා. අපට කීවෙ ආණ්ඩු කරන පක්ෂය සමඟ හිටියොත් තමා අපේ මිනිසුන්ට යහපතක් කරන්න පුළුවන් කියලා. ඒක අදහසක්, සංකල්පයක් හැටියට අපේ මිනිස්සුන්ට කාවද්දල තියෙන්නෙ. ඒ නිසාම අපේ මිනිස්සුත් හිතන්නෙ ඇත්ත නේන්නම් කියලා. නමුත් ඇත්තටම සිද්ධ වුණේ කඳුකරයේ නායකයින් අපේ මිනිස්සුන්ගෙ ඡන්දයෙන් එයාලගෙ තනතුරු හා වරප්‍රසාද රැකගන්න කටයුතු කළ එක පමණයි. බදුල්ල දිස්ත්‍රික්කයේ මෙච්චර ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. මේ ටික අරන් දෙන්න නම් මට දෙන ඇමැතිකම මොකක්ද? වරප්‍රසාද මොනවද? කියලා එන එන ආණ්ඩු එක්ක ඒ අය හෙට්ටු කරනවා. 2004 දී අපේ “පුරවැසිභාවය“ පිළිබඳ ප්‍රශ්නයක් ඇති වුණු වෙලාවේ ඒ අයිතිය අරන් දෙන්න කටයුතු කළේ ජවිපෙ. මෙහේ කඳුකර නායකයින් ඒ වෙනුවෙන් වැඩ කළේ නෑ. ඡන්ද අයිතියට කෑ ගහලා, ඡන්ද අයිතිය අරන් දීලා ඒ අයිතිය එයාලම කොල්ලකෑවා. ඒ ඡන්ද ටික උදුරා ගෙන, එයාලගෙ පුටුව රැක ගත්තට අපේ මිනිසුන්ට සැලකුවේ නෑ. දිගින් දිගටම සිද්ධ වුණේ රැවටීම විතරයි.
ඔබ හිතන විදිහට ඔබේ ජන ප්‍රජාව නියෝජනය කරන නායකයෙක් කරන්න ඕන මොනවද? ඔබ උත්සාහ කරන්නේ මොනවටද?
දේශපාලකයා කියන්නේ ඒ ප්‍රදේශයේ ජනතාවගේ නියෝජිතයා. ඒ නියෝජිතයා තම ජනතාවගේ අඩුපාඩු හොයලා බලලා විසඳුම් දෙන්න ඕන. තමන්ට බැරි නම් ඒ සඳහා විසඳුම් තියෙන තැන්වලට මග පෙන්වන්න ඕන. ඒ දේශපාලන නායකයා හොඳ අවංක නායකයෙක් නම් මිනිස්සු පෝසත් කරලයි නායකයා බැබලෙන්න ඕන. නායකයා දුප්පත් වුණාට කමක් නෑ, මිනිස්සු පෝසත් වෙන්න ඕන. ඒත් ජනතාව දිගින් දිගටම දුප්පත් වෙලා නායකයින් විතරක් දියුණු වෙලා පෝසත් වෙනව නම් ඒ නායකයින් ෆේල්. ඔවුන් තමන්ගෙ ප්‍රජාව වෙනුවෙන් වැඩ කරපු සැබෑ නායකයින් නෙවෙයි. සංකල්පය හොඳ වුණාට වැඩක් නෑ ක්‍රියාකාරිත්වය නරක නම්. වතුකරයට හැමදාම වුණේ ඒකයි. මට ඕනේ ඒක වෙනස් කරන්නයි. දේශපාලන බලයක් නැතිව තියෙද්දිත් මගේ ජනතාව වෙනුවෙන් මගේ යුතුකම් කළා. දැනුම බෙදා ගත්තා. හෙට දේශපාලන බලය ලැබුණොත්, මට ඒ වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරන්න පුළුවන්. වෙනස එච්චරයි.
ඔබ කලින් කීවා වගේ ,‘ පවතින ආණ්ඩුව එක්ක හිටියොත් තමන්ගෙ ප්‍රජාවට වැඩි යහපතක් කරන්න පුළුවන්‘ යන අදහස සම්ප්‍රදායික වතුකරයේ නායකයින් සමාජගත කර තියෙද්දී, ඒ වෙද්දි බලයක් නොතිබුණු ජාතික ජන බලවේගය සමඟ ඔබ එකතු වුණේ ඇයි?
මං මගේ ඥාති සහෝදරයා එක්ක ප්‍රාදේශීය සභාවට තරග කරන්න කල්පනා කරන කොටත්, ජාතික ජන බලවේගය හිටියෙ විපක්ෂයේ. ඒ වෙද්දි ජනාධිපතිවරයා අපේ පක්ෂයෙන් පත්වෙලා, අපට මේ විදිහේ අවධානයක් හැදෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඒත් ජාතික ජන බලවේගයට එකතු වෙන්න මූලික වුණේ ඇත්තටම ජනතාවගේ හඬක් වුණු බලවේගය නිසයි. දූෂිත දේශපාලනයේ “අදූෂිත බලවේගයක්“ නිසයි. මම එයාලට සහාය දෙන්න තීරණය කළේ ආණ්ඩු බලය ගන්න කලින්ම ප්‍රාදේශීය සභා ඡන්දයේදී ‘මලයගම් 200‘ වැඩසටහනේ ඔවුන් විසින් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැකලා. ඒ ගැන සාකච්ඡා කරලා ඇතිවුණු උනන්දුවෙන්. ජාතික ජන බලවේගයට අපේ කඳුකර ජනයා වෙනුවෙන් දැක්මක් තිබුණා. අනිත් කිසිදු පක්ෂයකට ඒ වගේ දැක්මක් හෝ වැඩපිළිවෙළක් තිබුණේ නෑ. ඒ බොහෝ දෙනා පුටුවේ වාඩිවෙලා තමා ප්‍රශ්න ගැන කල්පනා කරන්න පටන් ගන්නෙ. ඒ අයගෙන් කිසිදු වැඩක් නොවුණම නෙවෙයි. නමුත් ප්‍රශ්නයට හරිහැටි ආමන්ත්‍රණය කළේ නෑ. විසඳුම ස්ථිරසාර නෑ. උදාහරණයක් විදිහට ගෙවල් හදල දුන්නට ඔප්පු නෑ. ගෙවල්වල අයිතිය නෑ. පවුල් 50 – 60ක් එක තැන තාමත් එකට ඉන්නවා. අවුරුදු 76ක රාජ්‍ය පාලනය තුළ අපේ මිනිසුන්ට ලැබිය යුතු මූලික අයිතිවාසිකම් පවා ලැබිල නෑ. ඒවා පැහැර හැරියා. මං ජාතික ජන බලවේගය එක්ක ඉන්නෙ ආණ්ඩු බලය ගන්නත් කලින් යා යුතු ගමන ගැන තිබුණු ඒ වැඩපිළිවෙළ හා අපට ගෞරවනීය ජීවිතයක් දෙන්න පක්ෂයට තිබෙන ක්‍රියාකාරී සැලැස්ම නිසයි. වැටුප් ප්‍රශ්නය, ඉඩම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය හා කාන්තා ප්‍රශ්න ආදී මේ හැමදේම ගැන අපට පොදු වැඩපිළිවෙළක් තියෙනවා. ඒ නිසා ජාතික ජන බලවේගය හා එකතුවීම ගැන මං ආඩම්බර වෙනවා.
වතුකරය නියෝජනය කරන සාම්ප්‍රදායික දේශපාලනඥයන්ගේ හා ඔබ ගෙන යන දේශපාලන ගමනේ වෙනස මොකක්ද? ඔබට හා ඔබේ පක්ෂයට වතුකරයේ දෙමළ ජනතාවගේ සහාය ලැබේවිද ?
මට තියෙන්නෙ මගෙ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කිරීමේ තදබල වුවමනාවක්. සැබෑම ජනතා නියෝජිතයෙක් විදියට තමා මම දේශපාලනයට එන්නෙ. ඔවුන් හැමදාම ඔවුන්ගේ බලය තර කර ගන්න අපෙ ජනතාව හැමදාම පාවිච්චි කළා. නමුත් අපේ ජනතාවගේ ගැටලු රජයේ පාලනය වෙතට ඉදිරිපත් කරන ජනතා සේවකයෙක් විදිහටයි මම කටයුතු කරන්නේ. මෙතුවක් කල් අපව නියෝජනය කරලා පාර්ලිමේන්තුවට ගිය දේශපාලකයො කළේ ඔවුන්ව බලාගත්ත එක. කඳුකරයෙ වත්තක ඉපදිලා ඒ ජනතාවගේ ප්‍රශ්න එක්ක මුහුණ දීලා වතු ජනතාවගේ ජීවිතය ගැන මට ලොකු අවබෝධයක් තියෙනවා. වතු දෙමළ ජනතාව තුළින්ම බිහිවුණු සැබෑ මහජන නියෝජිතයෙක් ලංකාවේ මෙතෙක් දේශපාලන ගමන තුළ බිහි වුණේ නෑ. මෙච්චර කල් අපි වෙන වෙන තැන්වල ඉන්න මිනිස්සුන්ව අපේ නායකයො කියලා පත්කරගත්තා. අපේ ප්‍රශ්නවලට විසඳුම් දෙයි කියලා හිතලා ඔවුන්ව පාර්ලිමේන්තු යැවුවා. අපට වැරදුණා. ඔවුන් අපේ දුක විකුණුවා. අපේ ප්‍රශ්න නොදන්න කෙනෙක් තමයි මෙතෙක් කල් නියෝජිතයක් විදියට පත්කර ගත්තෙ සෑම මැතිවරණයකදීම. දැන් තමයි ඒ පීඩිතයන් අතුරින්ම නැඟිටලා පීඩිතයන්ට සාධාරණ ජීවිතයක් ගොඩනඟා දෙන්න පුළුවන් ජනතා නියෝජිතයෙක් විදියට මම එන්නෙ. මට ඕනෙ අපෙ රට තුළ මගෙ දෙමළ ජනතාව ඉන්දියානු දෙමළ ජනතාව යන නමෙන් ඉවත් වෙලා ආඩම්බරයෙන් මම ශ්‍රී ලාංකිකයෙක් කියන තත්ත්වය නිර්මාණය කරන්න.
වෙන රටකින් ඇවිත් සියලුම පුද්ගල අයිතිවාසිකම් අහිමි වුණු ජනතාවට මේක මගෙ රට කියලා හැඟීමක් ඇති වෙන සම අයිතිවාසිකම් ලබා ගැනීම වෙනුවෙන් ඔවුනට අහිමි කරපු අධ්‍යාපනය, දේශපාලනය, සෞඛ්‍ය, සමාජ පිළිගැනීම අරන් දීමයි මගෙ අරමුණ. ජාතික ජන බලවේගයේ අපි පොහොසත් රටක් ලස්සන හෙටක් යන තේමාව යටතේ මේ ගෙන යන ජනතාව මුල් වුණ පාලනය මගෙ වතුකර ජනතාව විශ්වාස කරන බව මට සහතිකයි.
වතුකරයේ දෙමළ ප්‍රජාව යම් ආකාරයකට පීඩිත ජන කොට්ඨාසයක්. ඒ ජන කොට්ඨාසය තුළම ස්ත්‍රිය කියන්නෙ තවදුරටත් පීඩාවට පත් වුණු කෙනෙක්. එහෙව් කෙනකු වන ඔබට මේ දේශපාලනය අභියෝගයක් නෙවෙයිද ?
ඇත්තටම ඒක අභියෝගයක් තමා. මෙච්චර කාලයක් ආණ්ඩු කරගෙන බලය පවත්වාගෙන ආව පුරුෂාධිපත්‍යයටත්, අපේම පවුල් ඇතුළේ තියෙන පුරුෂ මූලික ක්‍රමයටත් එරෙහිව නැගිටපු ගමනක්. වටේ ඉන්නෙත් එහෙම අය තමයි. ඒත් ජාතික ජන බලවේගයේ සහෝදරයින්ගේ ආරක්ෂාව නිසා මට දැන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. අනික දැන් මිනිස්සු ශක්තිමත් වෙලා ඉන්නෙ. මිනිස්සු ස්වේච්ඡාවෙන් එකතු වෙලා අනුර කුමාර සහෝදරයට සහාය දුන්නා වගේම ත්‍රිරෝද රථ රියැදුරන්, කඩවල වැඩ කරන අපේ සහෝදරයන්, දකින දකින අය, කතා කරන, කතා කරන කෙනා දැන් මටත් ඒ විදිහටම ආදරෙන් උදවු කරනවා. මට ඡන්දය අරන් දෙන්න මහන්සි වෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම් කිසිදු භේදයකින් තොරව මට ප්‍රසිද්ධියක් දෙනවා. මං වෙනුවෙන් කතා කරනවා. පෞද්ගලිකව හා ඥාති හිතමිත්‍රකම් හරහා පවා මා වෙනුවෙන් කුඩා කණ්ඩායම් ගත වීම් සමහර විට මටත් නොදැන සිදුවෙන බව මං දන්නවා. ඒක මට ලොකු හයියක්. මගේ ආකල්පය හොඳයි නම් මට වරදින්න විදිහක් නෑ. මං වටා එකතු වෙන මිනිස්සුන්ට වරදින්න විදිහකුත් නෑ. මුලදි මේ දේශපාලන නැඟිටීම ලොකු ප්‍රශ්නයක්. ඒත් ඒ ගැන නොසිතා පළමු පියවර තිබ්බා. මගෙන් පසු බොහෝ තරුණ තරුණියන් මං වගේම නැඟිටියි. පැවතුණු ක්‍රමයට, ඒ රැවටීමට විරුද්ධව නැඟිටියි. ආරම්භය අභියෝගයක් වුණාට දැන් ඒක ශක්තියක්.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර