පාස්කුදා ප්‍රහාරයට වසර පහකි. දේවස්ථාන තුනක්, ප්‍රධාන හෝටල් දෙකක්, ලැගුම් හලක් ඇතුළු ස්ථාන කිහිපයක පුපුරා ගිය පාස්කු බෝම්බවලින් 277 දෙනෙක් මිය ගිය අතර තුවාල ලැබූවෝ 400 ඉක්මවති. පාස්කු ප්‍රහාරය බැලූ බැල්මටම ත්‍රස්ත ක්‍රියාවක් සේ පෙනේ. එහෙත් අරම්භයේ සිටම බොහෝ පාර්ශ්ව එය කියවා ගත්තේ දේශපාලන මුහුණුවරකිනි . එහි වාසි ලැබූවෝ කවුරුද, මහ මොළ කරුවෝ කවුරුන්ද ආදී වශයෙන් ගැටලු රාශියක් විවිධ පාර්ශ්ව විසින් මතු කිරීම වසර පහකට පසු අදට ද නතරව නැත.
කෙසේ වෙතත් මේ සම්බන්ධව ඉතා සංවේදීව සහ කල්පනාකාරීව ප්‍රතිචාර දැක්වීම සියලු පාර්ශ්වයන්ගේ වගකීමය. පාස්කුදා ප්‍රහාරය දඩමීමා කරගෙන මෙරට මුස්ලිම් ජනයා හිංසාවට ලක් කිරීමට කලහකාරීන් උත්සාහ ගත්තේය. ඒ අවස්ථාවේ මුස්ලිම් ප්‍රජාව රැක ගැනීමට මෙම ලියුම්කරු සහ හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දුට මැදිහත්වීමට සිදු විය. අසීරුවෙන් නිවා ගත් ඒ ගිනි මැළය ඇවිළුනේ නම් පාස්කු බෝම්බ ප්‍රහාරයන්ට වඩා හානියක් විය හැකිව තිබුණි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ සිදුවීම් මාලාව විමර්ශනය සඳහා කමිටු දෙකක් පත්කරනුයේ මෙවන් වාතාවරණයක් තුළය. ඔහු පත්කළ පළමු කමිටුව වූයේ ඉමාම් කමිටුවය. එහි අරමුණ වූයේ පාස්කු ප්‍රහාරය ගැන චැනල් 4 නාළිකාව මඟින් විකාශනය කළ වැඩසහටන පිළිබඳ සොයා බැලීමය. දෙවන කමිටුව වූයේ විනිසුරු ඒ.එන්.ජේ ද අල්විස් ගේ සභාපතීත්වයෙන් යුතු අල්විස් කමිටුවය. එහි අරමුණ වූයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විදෙස් බුද්ධි සේවා මඟින් රාජ්‍ය බුද්ධි සේවාවට සහ ජාතික බුද්ධි සේවා ප්‍රධානියාට ලබා දී තිබූ බුද්ධි තොරතුරු පිළිබඳ ගත් පියවර සොයා බැලීමය. අද වන විට මහත් ආන්දෝලනයට තුඩු දී ඇත්තේ එකී අල්විස් කමිටු වාර්තාවය.
ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාරදුන් එම වාර්තාව ප්‍රසිද්ධ කරනුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසිනි. අල්විස් කමිටුවේ වාර්තාව උපුටා දක්වමින් අදහස් දැක්වූ ඔහු පැවසුවේ පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාර එල්ලවීමට පෙර විදේශීය බුද්ධි අංශයක් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබූ බවත්, ඒ සම්බන්ධ තොරතුරු අතිශය රහසිගත ලිපියක් මඟින් එවකට නියෝජ්‍ය පොලිස්පතින් රවී සෙනවිරත්නට දැනුම් දී තිබූ බවත් ය. එහෙත් දින 12ක් යනතුරු එයට නිශ්ඡිත පියවරක් නොගැනීම නිසා පාස්කු දා ප්‍රහාරය වළකා ගත නොහැකි වූ බවත්, එම නිසා නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්නට අපරාධ චෝදනා ගොනු කරනා ලෙසත් එම වාර්තාව නිර්දේශ කර ඇත.
එවකට නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න අද මහජන ආරක්ෂාව භාර අමාත්‍යායංශයේ ලේකම්ය. එය ජනාධිපති අනුර කුමාර දිසානායක ලබා දුන් පත්වීමකි. ඔහුට පමනක් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකරටද අපරාධ නීතිය යටතේ නඩු පැවරිය යුතු බව අල්විස් කොමිසම නිර්දේශ කර ඇත. මේ වන විට යළි සේවයට කැඳවා ඇති ඔහු මධ්‍යම අපරාධ බුද්ධි විශ්ලේෂණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටී. ශානි අබේසේකර දක්ෂ නිලධාරියෙක් බව සෑබෑය. එහෙත් මෙවැනි කොමිසමකින් චෝදනාවක් එල්ල වූ පසු වගකිවයුතු රජයක් කළ යුත්තේ වහා ඔහු සේවයෙන් ඉවත්කර පරීක්ෂණ පැවැත්වීමය.
එහෙත් දැන් සිදු වන්නේ ඊට ඉඳුරාම වෙනස් දෙයකි. අල්විස් කමිටුව මඟින් අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට නිර්දේශ කර ඇති ශානි සහ රවී දෙදෙනාම ඉකුත් ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් සෘජුවම දේශපාලනයේ නිරත වූවෝය. මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක ආණ්ඩුව මීට වඩා වගකීම් සහිතව හැසිරෙතැයි ජනතාව බලාපොරොත්තු වෙයි.
ආණ්ඩුව අල්විස් කොමිසම දේශපාලන වාසිතකා කඩිනමින් පත්කළ එකක් බව ආණ්ඩුව පවසයි. එහෙත් දේශපාලන වාසි තකා මෙම කමිටුව පත් කළේ නම් එහි වාර්තාව ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශයට පත්කර වාසි ලබා ගන්නට හිටපු ජනාධිපතිවරයාට ඕනෑ තරම් කල් තිබුණි. පළි ගැනීමේ චේතනාවෙන් රවී සෙනවිරත්නගෙ නම වාර්තාවට ඇතුළත් කළ බව පැවසුවද ජනක් ද සිල්වා කමිටුවද ඔහුට චෝදනා කර තිබුණි.
ආණ්ඩුව මොනව කීවද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වන රවී සෙනෙවිරත්න කමිටුවකින් වරදකරු කර ඇති බැවින් පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළ විමර්ශන ඔහු යටතේ සිදු කිරීම පිළිගත නොහැකි බව එම සිදුවීමෙන් අගතියට පත් පාර්ශ්ව අධිකරණයට මෝසමක් මඟින් දන්වා ඇත. කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවේ ගොනුකර ඇති මේ මෝසමට අදාළව අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.
ජනාධිපතිවරයකුට හිමි බලතල අනුව පත්කරනා ලද කමිටු සභාවක වාර්තාවක් හුදෙක් පෞද්ගලික හිතලු මත ප්‍රතික්ෂේප කිරීම වැරදි පූර්වාදර්ශයකි. එබැවින් සමාජ මාධ්‍යන්හි රැළි මවමින් අල්විස් කමිටුවට ගසන්නට ගල් එකතු කිරීම වගකිව යුතු ආණ්ඩුවකට සුදුසු දෙයක් නොවනා බව පැවසිය යුතුය.