දේශපාලනඥයන්ගේ අවශ්‍යතාවයන් අනුව මෙරට පාලනය කළ අදූරදර්ශි ක්‍රමවේදය නිසා රටේ ආර්ථිකය බංකොලොත්භාවයට පත්වූ බව අප දන්නා කරුණකි. එවන් රටක් මේ අසීරු අවස්ථාවේදී භාරගෙන ජනාධිපතිවරණයේදී ප්‍රතිපත්ති ප්රකාශනයේ කරුණු ඉටු කරමින් තුන්දෙනකුගෙන් යුත් කැබිනට්ටුවක් මඟින් මෙරට ගෙන යාමේ අසීරු කාර්යය සිදු කිරීම පිළිබඳ කෘතවේදිත්වය පළ කළ යුතුයි.
රට අස්ථාවර තැනකට පත්වුණේ ඇයි යන කරුණ ඉතා පුළුල් මාතෘකාවකි. රට අස්ථාවර තැනක පැවැතීමට වඩා අපි එය දකින්නේ රට ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක පවතින බවයි. ඒ අනුව ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී පළමු පරිච්ඡේදය වෙන් කෙරුණේ ආර්ථික ස්ථායිකරණය සම්බන්ධවයි. ඒ අනුව අවශ්‍ය කරන වැඩපිළිවෙළ කිහිපයක් හඳුනාගෙන තිබෙයි. එහිදි IMF වැඩපිළිවෙළ, ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ, කෘෂිකර්මාන්තයෙන් යැපෙන මිනිසුන්ගෙන් ඒ නිෂ්පාදන වැඩිදියුණු කිරීම, වෙනත් කර්මාන්ත ක්ෂේත්‍ර සහ තොරතුරු තාක්ෂණය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන්, ධීවර කර්මාන්තය නඟාසිටුවීම වැනි අපේ නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පහසුවෙන් කරගෙන යාහැකි කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.
එනම් සංචාරක කර්මාන්තය සහ තොරතුරු තාක්ෂණය ඉදිරියට ගෙනයාම අපේ බලාපොරොත්තුවයි. මේ ආර්ථික ස්ථායීකරණයට අවශ්‍ය අඩිතාලම නිවැරදි ලෙස යොදා ගැනීම එහි අපේක්ෂාවයි. ආර්ථික ස්ථායිකරණයට අවශ්‍ය වැඩපිළිවෙළ තවත් ශක්තිමත්ව ජවසම්පන්නව කිරිමට මූලික අඩිතාලම දැමීම අපේ සූදානමයි.
නව දේශපාලන සංස්කෘතියක ජනතා අපේක්ෂාව
නව ජනාධිපතිවරයා පත්වූ පසු මේ වනවිට විදෙස් සංචිත වැඩි වී ඇත. ඊට අමතරව රජයේ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාදාම රැසක් ඉදිරියට කරගෙන යාමට කටයුතු කර ඇත. අපි සියලුදෙනා සාමූහිකව මේ ප්රයත්නය ඉදිරියට ගෙන යායුතු වෙයි. මෙහිදී විදෙස් ප්‍රේෂණ වැඩිවීමට හේතුව නව ජනාධිපතිවරයා යටතේ අලුත් දේශපාලන සංස්කෘතියක් ඇතිවීමයි. විදෙස් රටවල සිටින ශ්‍රී ලංකිකයන්ගේ විදෙස් ප්‍රේෂණ වැඩි කර ගැනීමට යම් ක්‍රමවේදයන් සකස් කර ඇත. එසේම විදෙස් ආයෝජන කිරීමට මූලික වැඩ කටයුතු සිදුකර තිබෙයි.
විශේෂයෙන් අපේ අරමුණ ඉදිරියේදී මේ රට ආර්ථික අංශයෙන් කෙටිකාලීනව, මධ්‍යකාලීනව සහ දිගුකාලීනව ගොඩනැඟීමයි. ඒ අනුව කඩිනමින් සංචාරක ක්ෂේත්රය ප්‍රවර්ධනය කිරීම අපේ අපේක්ෂාවයි. ඊට අදාළ යටිතල පහසුකම්, ප්‍රවර්ධනය කිරීමටත් රැකියා අවස්ථා පුළුල් කිරීමටත් කටයුතු කරන අතර විශේෂයෙන් සංචාරකයන් පැමිණීම හරහා ඍජුවම රැකියා අවස්ථා රැසක් හිමි වෙයි.
වසර 2030 අවසන් වන විට සංචාරකයන් ගණන මිලියන 2සිට මිලියන 4 දක්වාත්, සංචාරක ව්‍යාපාර ආදායම ඩොලර් බිලියන 4 සිට 8.5 දක්වා ඉහළ දැමීමට ප්‍රතිපත්ති සකස් කරමින් පවතී. සංචාරකයන් ප්‍රමාණය ප්‍රවර්ධනය කිරීමට ද සැලසුම් සකස් කර ඇත. සංචාරකයන් ලංකාවට පැමිණි පසු වැඩි ඩොලර් ප්‍රමාණයක් ලංකාව තුළ වැය කිරීමට අවකාශ සැලසෙන අයුරින් රට වඩා ආකර්ෂණීය තැනක් බවට පත් කිරීමට අපි වඩා අවධානයක් යොමුකර ඇත. එසේම වැඩි කාලයක් රට තුළ සංචාරකයන් රඳවා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරමින් පවතී. සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ඇති යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට වඩා වැඩි අවධානයක් යොමු කර ඇත.
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම
ඇතැම් සංචාරක කලාපවල සංචාරකයන්ට අවශ්‍ය අවම පහසුකම් පවා අඩුවෙන් පවතී. සමහර දුම්රිය ස්ථානවල මූලික පහසුකම් අවම වන අවස්ථා ද වෙයි. මේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට අපි අවශ්‍ය ආයෝජනයන් සැලැසුමකට අනුව සිදු කිරීමට ද සැලසුම් සකස් කරමින් පවතී. ඒ තුළින් රට පිළිබඳ හොඳ ආකල්පයක් ඇති කිරීමටත් ජාත්‍යන්තරිකව රට පිළිබඳ පැහැදිලි ආකල්පයක් ගොඩනැඟීමට ද හැකියාවක් ඇත.
මේ සඳහා රජය මෙන්ම පෞද්ගලික අංශය මේ සඳහා මැදිහත් පාර්ශ්ව ලෙස සහභාගි කරවාගත හැකියි. තෝරාගත් සංවර්ධනය කළ යුතු කලාපවල රජය මැදිහත් වීමෙන් වඩා ආයෝජන සහ ඇතැම් පෞද්ගලික අංශයේ පිරිස් සහභාගි කර ගනිමින් සංචාරක කර්මාන්තය ආශ්රිත අවශ්‍ය පහසුකම් කඩිනමින් සැලසීම එක් අරමුණකි. මේ අනුව පියවර තුනකින් ආයෝජකයන් කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරයි.
එසේම කඩිනමින් ප්‍රවර්ධනය කළ හැකි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම අපේ අපේක්ෂාවයි. විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉදිරියට පැමිණි රාජ්‍ය, පෞද්ගලික විශ්වවිද්‍යාවල පිරිස මේ සඳහා සම්බන්ධ කර ගැනීමට හැකි වෙයි. අදාළ අංශවලට අනුරූපව අවශ්‍ය පහසුකම් ලබාදී ඒ තුළින් ලංකාවට එන විදේශීය ආයෝජන වැඩිකරගැනීමට අපේක්ෂා කරයි.
තොරතුරු තාක්ෂණයට අදාළ ක්ෂේත්රවල පිරිස් දැනුමින් පෝෂණය කර ඉදිරියට ගෙන යාමට කඩිනම් පියවර ගැනීමට සැලසුම් සකස් කර ඇත. දැනට ඩොලර් බිලියන 1.2ක් වැනි ප්‍රමාණයකින් සමන්විත මේ ප්‍රමාණය වැඩිදියුණු කරගැනීමට කටයුතු සැලැසුම් කර ඇත. එය ඩොලර් බිලියන 30 දක්වා ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි; ඒ තුළින් ඒ අයට රැකියා අවස්ථා ද උදා වෙයි.
විකිණීම වෙනුවට වෙනස් පිළිවෙතක්
පසුගිය රජය සිදු කළේ මේ රටේ කර්මාන්ත විකුණා දැමීමට සූදානම් වීම හෝ ප්‍රතිව්‍යුහගතකරණ මුවාවෙන් මේ රටේ සම්පත් විකුණා දැමීමයි. කුසලතා ඇති, විශේෂඥතා දැනුම ඇති පිරිස් මේ ආයතනවලට පත් කිරීම තුළින් මේ ආයතන නැවත සකස් කිරීම අපේ අරමුණයි.
රාජ්‍ය ආයතන කිහිපයක් පිළිබඳව සාකච්ඡා වූ අතර එහිදී ශ්‍රී ලංකන් එයාර් ලයින් වැනි ප්රමුඛපෙළේ ස්ථාන සම්බන්ධයෙන් ද විකුණා දැමීම නොව වඩා වෙනස් පිළිවෙතක් අපි අනුගමනය කිරීමට මේ වනවිටත් පියවර ගෙන ඇත. මෙහෙයුම්වල ඇති ගැටලු නිසා විශේෂයෙන් දේශපාලන බලඅධිකාරිය විසින් අත්තනෝමතික ලෙස මේ ආයතනවලට මැදිහත් වීම් මේ ආයතන අලාභ ලැබීමට හේතුව වෙයි. රටට වැඩදායී සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා මෙවැනි ආයතන සුරැකීම අතිශයින්ම වැදගත් වෙයි. සංචාරක කර්මාන්තයට ද ගුවන් සේවා ඍජු ලෙසම බලපානු ලබයි. ප්‍රධාන වශයෙන් සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීමට අපිට පැහැදිලිව ක්‍රමවේදයක් තිබිය යුතුයි. ටෙලිකොම් සහ එයාර් ලංකා හුදෙක් ව්‍යාපාරික ආයතනවලට වඩා උපයෝගිතාව අංශයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ඒ නිසා මේ ජාතික සැලසුම්වලට, ජාතික කර්තව්‍යයන්ට වඩා ඵලදායි ලෙස එම ආයතන යොදා ගත හැකියි.
විශේෂයෙන්ම රටක ආර්ථිකය කළමනාකරණය කිරීමේදී පසුගිය රජයන් විසින් ලබාගත් ණය පියවීමට සිදුවෙයි. අලුතින් ලබාගත් ණය යොමු කරනුයේ කලින් ලබාගත් ණය පියවීමටයි. මේවා සාමාන්‍යයෙන් ආර්ථික ක්‍රමවේදයක් තුළ සිදුවන සාමාන්‍ය දේ වෙයි. කලින් ගෙන ඇති ණය පංගුව ගෙවීමට නැවත වතාවක් ණය ගෙන ගෙවාගෙන යාම සිදු කළ යුත්තකි. මේ තත්ත්වය තුළදී සමස්ත ණය ප්‍රමාණය වැඩිකර නොගෙන ඉදිරියට යෑම සිදුකළ යුතුයි.
පසුගිය කාලසීමාව තුළදී පොලී අනුපාතය ඉහළ දැමීම නිසා රටටත් රටේ භාණ්ඩාගාරයටත් අතිවිශාල බරක් පැටවිණි. පොලිය 25% සිට 30% දක්වා මට්ටමකට යෑම නිසා ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වසා දැමීම සිදුවිය. මහා භාණ්ඩාගාරයට අතිවිශාල ණයක් දරන්නට විය. සමස්ත ණය ප්‍රමාණය වැඩි නොකරගෙන රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ඉදිරියට යෑමට අප වැඩ කළ යුතුයි. ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් යටතේ සවිමත් පාර්ලිමේන්තුවක් තුළ නිසි කළමනාකාරීත්වයකින් එය සිදු කළ යුතුයි.
පසුගිය රජයන් විසින් ලබාගත් මේ රටේ ද්විපාර්ශ්වීය ණය සහ පෞද්ගලික අංශයන්වල ණය ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර මඟින් ලබා ගත් ණය වෙයි. අපි ඉදිරියට රට ගෙන යනවිට සුදුසු ක්‍රමවේදයක් අනුව මේ ණය නැවත පියවීමට පියවර ගත යුතුයි. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සිදු කර ඉදිරියට යන්නේ කෙසේද යන කරුණ අපි සාකච්ඡා කළ යුතුයි. ඒනිසා මහ මැතිවරණයෙන් පසුව මේ වැඩපිළිවෙළ රජයක් ලෙස වගකීමෙන් කළ යුතුයි. ජාත්‍යන්තර කීර්තිනාමය රැකෙන පරිදි අපි රටක් ලෙස ඉදිරියට යායුතුයි. මේ වන විටත් රටට හිතකර දේශීය ව්‍යාපාරිකයන් අපි කෙරෙහි ඇති දැඩි විශ්වාසයකින් කටයුතු කරන බව පැහැදිලිව පෙනෙයි.
කඩිනමින් ක්‍රියාත්මක කිරීමක්
කොටස් වෙෙළඳපොළ ඉහළ යාම ජාත්‍යන්තර ආයෝජකයන් හොඳ සහතිකයක් ලබාදීමකි. ආර්ථිකය ස්ථායී මට්ටමක පවත්වා ගැනීමටත්, නිසි කළමනාකරණයකින් පවත්වගෙන යාමට හැකි මට්ටමකටත් රට ඉදිරියට ගෙන යායුතුයි. මේ රටේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්නේ කොහොමද යන කරුණ ගැන IMF සමඟ සාකච්ඡා කරමින් යායුතුය. ඒ අනුව රටේ ආර්ථිකය ස්ථායීකරණය කිරීමට පසුබිම අඩිතාලම අපි සකස් කළ යුතුයි.
එසේම IMF වැඩපිළිවෙළ විශ්ලේෂණය සාර්ථකව අවසන් කිරීම, ණය හිමියන් සමඟ සාකච්ඡා සාර්ථකව ඉදිරියට ගෙන යාම සහ රටේ ණය ශ්‍රේණිගත කිරීම, සුබදායි මට්ටමකට ඉදිරියට ගෙන යාම සහ සංචිත වැඩිකර ගැනීම සිදු කළ යුතුයි. විදෙස් සෘජු ආයෝජන ගෙන්වා ගැනීම, දේශපාලන ස්ථාවරත්වය, ණය ප්‍රතිව්‍යුහගතකරණය රටේ පවතින දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ සාකච්ඡා කළ යුතුයි. මේ වැඩපිළිවෙළ සැලසුම් කර ඉතා කෙටි කාලයක් තුළදී කඩිනමින් ක්‍රියාත්මක කිරීම අපේ බලාපොරොත්තුවයි.
IMF විසින් අාදායම ඉහළ දමා ගැනීමට සහ වියදම් කළමනාකරණය තුළින් රටේ අය වැය පරතරය පියවිය යුතු වීම සම්බන්ධයෙන් අවධානය යොමු කරයි. මේ සඳහා ක්‍රමවේද කිහිපයක් හරහා අපිට යාහැකියි. එය සිදු කරන්නේ රටේ ජනතාවට බදු බර පටවා නොවෙයි. අපි රජයක් ලෙස නොසැලකිල්ලෙන් වැඩ කටයුතු නොකරන අතර සැලසුම්සහගතව එය සිදු කරනු ලබයි. බදු බර පැටවීම හරහා ආදායම් පියවා ගන්නවාට වඩා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තුළ අපි විකල්ප ඉදිරිපත් කර ඇත.
බොහොම පැහැදිලිව මේ රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සිදු කරන්නේ කෙසේද, රාජ්‍ය වියදම් පියවා ගන්නේ කෙසේද යන්න පැහැදිලිව අවබෝධ කරගෙන කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීනව වැඩපිළිවෙළ සකස් කරගත යුතුයි. කෙටි කාලයක් තුළ කුමක් කළ යුතු ද ඒ උපයා ගන්නා ආදායම තුළින් කෙසේද අපි මහජනතාවට සහනධාර ලබාදීම සිදුකරන්නේ යන කරුණ සම්බන්ධව විනිවිඳ ලෙස පෙන්වාදීම සිදුකළ යුතුයි. ධීවර සහ පොහොර සහනාධාරය, ඒ හරහා ලබා දුන් සහනාධාර වෙයි. පාසල් උපකරණ සහ පොත්වලට අවශ්‍ය කරන ප්‍රමාණයත් ඖෂධ සඳහා අවශ්‍ය කරන සහනය අපි ලබාදීමට කටයුතු කරයි.
ඒ හරහා අපි මේ දේවල් උපයා ගැනීමට විකල්ප වැඩපිළිවෙළක් යෝජනා කර ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු 18 සිට 0 දක්වා අඩු කිරීම සහ මාසික පුද්ගල බදු නිදහස් කිරීම ලක්ෂ 2ක සිට ලක්ෂ 1ක් දක්වා අඩු කිරීම සිදු කිරීමේදී මේ හරහා රටට අහිමි වන බදු ආදායම ගණනය කර එය නැවත උපයා ගැනීමට ක්‍රමවේදයන් කිහිපයක් සැලසුම් කර ඇත.
මේවනවිට රටේ 30%ක පමණ අතිවිශාල ජනතාවක් දිළිඳුභාවයට පත්ව ඇත. ජනතා ගැටලු අමතක කර මේ රට සංවර්ධනය කරන ගමනක් යා නොහැකිය. අනිවාර්යයෙන් පවතින තත්ත්වයෙන් මුදා ගැනීමට සහනයක් ලබාදීමට අපි කටයුතු කළ යුතුයි. මේ රටේ බුද්ධිගලනය විශාල වශයෙන් සිදුවී ඇත. ආදායම් බදු සීමාව අපි ලක්ෂ දෙක දක්වා ඉහළ දැමීම සිදුකර ඇත.
ලැබෙන වැටුපෙන් බදු අය කරගැනීම නිසා මිලියන දෙකක් පමණ වෘත්තිකයන් රට අතහැර යාම සිදුවී ඇත. ඒවගේම ගෙවන පිරිස මතට පමණක් ණය බර පැටවීම සිදුවිය. පහළ මධ්‍යම පාන්තිකයන්ට ද භාණ්ඩ හා සේවා විශාල වියදමක් දැරීමට සිදුවී ඇත. මේ ජීවන වියදම වැඩිවීම ඒ අයගේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන ලදි. අතිවිශාල මිල ඉහළ යාම ජනතාවට දරා ගැනීමට අසීරු විය. වෘත්තිකයන්ට යම් සහනයක් ලබා දී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමට මේ අය අපි රැකගත යුතුයි. මේ දේවල් යම් තුලනාත්මක වැඩපිළිවෙළක් යටතේ සිදු විය යුතුයි. බදු ගෙවිය යුතු, එහෙත් දැනට බදු නොගෙවන කොටසක් වෙයි. ඒ අය බදු ගෙවන පිරිසක් සහ බදු ගෙවන ආයතන බවට පත්කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. ඒ සඳහා තාක්ෂණික සහ කාර්යක්ෂම ක්‍රමවේදයක් සැලසුම් කර තිබෙයි.
එසේම හිතවත් පාර්ශ්වයන් බදු දැලෙන් නිදහස් කිරීම ද පසුගිය කාලයේ සිදු විය. මේ දේවල් සම්බන්ධයෙන් අපි විමර්ශනාත්මක ව බැලිය යුතුයි. ඒ නිසා ගෙවිය යුතු ප්‍රමාණයට අඩුවෙන් සහ නොගෙවූ පිරිස් සම්බන්ධයෙන් පියවර ගැනීමට අපේ බලාපොරොත්තුවයි. බදු සම්බන්ධයෙන් ප්‍රගති සමාලෝචනයක් කිරීමට අප බලාපොරොත්තු වෙයි. එසේම අපි මේ රටේ සියලු ජනතාවට ලොකු විශ්වාසය රැකෙන පරිදි යම් විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුව බදු ගෙවීම බදු අපතේ නොයන බවට අපි සහතිකයක් දිය යුතුයි.
අපි දිගුකාලීනව අපනයනයන් වැඩිදුරටත් දියුණු කළ යුතුයි. එහිදී ඩොලර් බිලියන 17.9 තිබුණ අපනයනය ඩොලර් බිලියන 45 දක්වා වැඩිකිරීමට වැඩපිළිෙවළක් සකස් කර ඇත. මේ අගයන් අදාළ ක්ෂේත්රයන් සමඟ ගළපා ගනිමින් ලබාගත් දේ අනුව ඒ ඒ ක්ෂේත්රයන්ට අදාළව සිදු කෙරෙයි. කර්මාන්තවල නිෂ්පාදනය කරන ප්‍රතිඅපනයන භාණ්ඩ සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය, ආනයනය කිරීමට සහ අපනයන සඳහා ඉතා අධික පිරිවැයක් වැයවන අතර ඒවා පිළිබඳ ගතයුතු පියවර පිළිබඳ සාකච්ඡා පවත්වයි.
දේශීය අපනයනකරුවන්ට වෙළෙඳපොළක්
බැංකු ණය ලබා දීම්, වෙළෙඳපොළ සොයාදීම් රජය විසින් කළ යුතු කොටස් කිහිපයක් ලෙස අපි විශ්වාස කරමු. මේ මහමැතිවරණයෙන් පසුව ඉදිරිපත් කළ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෝ අපනයනිකයන් ශක්තිමත් කරන වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒ සඳහා වෙළෙඳපොළ සොයාදීමට අපි කටයුතු කිරීම වැදගත් වෙයි. තානාපති කාර්යාල සමඟ සාකච්ඡා කරමින් ඒ සඳහා මූලික පදනම සකස් කරමින් පවතියි.
ඒ ක්‍රියාවලිය ශක්තිමත් කර දේශීය අපනයනකරුවන්ට වෙළෙඳපොළ සකස් කරදිය යුතුයි. ජත්‍යන්තර වෙළඳපොළ තුළ අපි කෙරෙහි තිබූ විශ්වාසය නැවත තහවුරු කරගැනීමට රජය කටයුතු කිරීම අපේක්ෂාවයි. රටේ අපනයනකරුවන්ට මිටවඩා වැඩි වටිනාකමක් ලබාදිය යුතුයි. මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නම් රටේ දේශපාලන ස්ථාවරත්වය තිබිය යුතුයි. සියලු පාර්ශ්ව සම්බන්ධ කරමින් රටේ ජනතාවට සහ ව්‍යාපාරිකයන්ට ප්රතිලාභ බෙදී යන ක්‍රමවේදයක් සකස් කර ගැනීම වැදගත් වෙයි. මේ තීරණාත්මක මොහොතේදී මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ අන්තර්ගත කරුණු ක්‍රියාවට නඟන්නට නම් ශක්තිමත් දේශපාලන ස්ථාවරත්වයක් මේ රටට අවශ්‍ය වෙයි.
සුභද්‍රා දේශප්‍රිය