සම්පූර්ණ කොටස් අයිතිය රජය සතු වූ මිල්කෝ ආයතනය මෙන්ම රටේ ආර්ථිකයට මහත් දායකත්වයක් දැක්වූ ජාතික පශු සම්පත් මණ්ඩලයට (NLDB) අයත් ගොවිපොළ ඉන්දියානු සමාගමක් සමඟ ඒකාබද්ධ කිරීමේ හාහූවක් පැතිර ගියේ පසුගිය රජය වකවානුවේය.
ඒ මෙරට කිරි කර්මාන්තයේ ප්‍රවර්ධනය කරන මිල්කෝ ආයතනයත්, ජාතික පශු සම්පත් මණ්ඩලය සතු ගොවිපොළ ඉන්දියාවේ අමූල් සමාගමට දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීම සඳහා පසුගිය රජයේ මුදල් ඇමැතිවරයා ලෙස හිටපු ජනාධිපතිවරයාත්, හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරත් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමිනි. මේ නිසා මෙය මහත් වූ ආන්දෝලනාත්මක කතාවක් විය.
හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේ එරට අගමැතිවරයා පවසා ඇත්තේ මෙරට කිරි කර්මාන්තය නඟාසිටුවීම සඳහා ඉන්දියානු රජයේ සහයෝගය ලබාදෙන බවකි. ඒ අනුව, ඉන්දියාවේ පශු සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජිතයා ලෙස අමූල් සමාගම සහ මෙරට සමාගමක් සමඟ එක්ව මිල්කෝ සමාගම සහ ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගොවිපොළ 99 වසරක බද්දට ගෙන ඒවා දියුණු තත්ත්වයට පත් කිරීමට එහිදි යෝජනා වී තිබුණි. ඉන්දියාවේ අමූල් සමාගමට කොටස් 52 % ක් ද, මෙරට සමාගමට කොටස් 48% ක් ද පැවරෙන ලෙස දේශීය කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අවුරුදු 99 ක බදු ගිවිසුමක් ඊට ඇතුළත් විය. එහිදී පවසා ඇත්තේ පුද්ගලික සමාගම් විසින් මෙම ආයතනවල සේවයේ නියුතු සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කරන බවය. මිල්කෝ ආයතනයේ සේවයේ නියුතු අයවලුන් ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගනු ලබන්නේ නම් ඉහළ පාරිතෝෂිත මුදලක් ලබා දීමට ද ඒ රජය සැලසුම් කර තිබුණි.
ඒ කෙසේ වෙතත් මෙම ආයතන විකිණීම සම්බන්ධයෙන් පසුගිය පාර්ලිමේන්තුව තුළ විවිධ මතවාද ප්‍රකාශ වූයේ විපක්ෂය විසින් මෙසේ විකුණා දැමීමට බලපෑ හේතු කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි. මෙසේ නිසි ඇගැයීමකින් තොරව අඩු වටිනාකම් යටතේ විදේශීය සමාගම්වලට පැවැරීම නිසා සිදුවිය හැකි ගැටලුකාරි තත්ත්වය මෙන්ම එම ආයතනවල සේවය කරන සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාව පිළිබඳ කරුණු කාරණා ද මේ විවේචනවලට බඳුන් විණි.
අමුල් ආයතනය පිළිබඳ සංවාදය
අමුල් සමාගම පවතින්නේ, ගුජරාට් සමුපකාර කිරි වෙළෙඳ සම්මේලනය යටතේය. මෙය ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආනන්ද්හි සමුපකාර සමාගමකි. එය පාලනය කරන්නේ මිලියන 3.6ක් වන කිරි නිෂ්පාදනකරුවන් විසින්ය.
අමුල් ආයතනය පිළිබඳ සංවාදය විශාල අවධානයකට යොමු වූයේ, වත්මන් ජනාධිපති ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය නිසාය. ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔහු කීවේ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කොට, නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකර එය විකිණීමට එරෙහි වන බවය. කෙසේවෙතත් මේ වන විට වත්මන් ආණ්ඩුව විසින් මිල්කෝ ආයතනය හා ජාතික පශු සම්පත් මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට යෝජිත වැඩසටහන අත්හැර දමා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය අනාවරණය කරයි. පසුගිය රජය විසින් උත්සාහ කරන ලද NLDB සහ මිල්කෝහි රජයේ කොටස් බෙදාහැරීම තවදුරටත් ඉදිරියට යෑමට ඉඩ නොමැති බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්.වික්‍රමසිංහ පවසයි. මේ තීරණය ආපසු හැරවීමට පෙර ශ්‍රී ලංකා රජය සහ යෝජිත ඉන්දීය ආයෝජකයන් අතර සාකච්ඡා සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව වාර්තා වෙයි. මෙම ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට රජය නීත්‍යානුකූලව බැඳී නොමැති බවත්, එබැවින් NLDB සහ මිල්කෝ පෞද්ගලීකරණය කිරීමට ඇති ඉඩකඩ ඉතා අඩු බවත් ලේකම්වරයා සඳහන් කර ඇත. කෙසේ වෙතත් NLDB සහ මිල්කෝ පෞද්ගලීකරණය කිරීමේ සැලසුම් අත්හරින අතර, අකාර්යක්ෂමතා ප්‍රශ්න විසඳීම සඳහා ආයතන දෙකම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදහස් කර ඇති බව වාර්තා වෙයි.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකාර්මික සංස්ථා පනත යටතේ පිහිටුවන ලද්දේ 1973 දීය. එහි මෙහෙයුම් 1974 දී ආරම්භ විය. 1977 වර්ෂයේදි මණ්ඩලයේ කාර්යයන් නව අරමුණකට යොමු කරමින් ඉලක්ක කරන ලද්දේ ජාතික ගව සම්පත පිරිහීයාම වළක්වාලීම සහ කිරි නිෂ්පාදනය සහ බර ඇදීම යන කරුණු දෙකම අරමුණු කරගෙන උසස් ආරයේ ගවයින් සහ මී ගවයන් ඇති කිරීමේ ශීඝ්‍ර වැඩසටහනකට අවධානය යොමු කරමිනි.
NLDB මූල්‍ය ලාභය
ඔවුන්ගේ ප්‍රධාන කාර්ය වන්නේ කිරි නිෂ්පාදනයයි. අමතරව කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන මෙන්ම කිරිවලට අගය එකතු කර නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කෙරෙයි. පහතින් ඉදිරිපත් කර ඇති NLDB ආයතනයේ ලාභ හා අලාභ දත්ත සටහන අනුව දිගින් දිගටම 2017 වසරේ සිට පාඩු පිට පවත්වා ගෙන ආ මේ ආයතනය 2020 වසරේ මූල්‍ය අලාභය අබිබවා රුපියල් මිලියන 2.8 ක ඉතා අඩු අලාභයක් වාර්තා කළේය. 2021 විශාල ලාභයක් පෙන්නුම් කළ අතර එම ලාභය රුපියල් මිලියන 169 කි. 2022 වසරේ මෙහි මූල්‍ය ලාභයක් වාර්තා වූ අතර එය රුපියල් මිලියන 132 කි. යළිත් සාධාරණීකරණය කළ හේතු සාධක මත මෙහි මූල්‍ය ලාභය අලාභය පැත්තට බර වන්නේ 2023 වසරේදී වන අතර එය රුපියල් මිලියන 94 කි. නමුත් මේ වසර වන විට සිය අපේක්ෂිත ඉලක්ක කරා ගොස් අතිවිශාල ලාභයක් පෙන්නුම් කිරීමට NLDB ආයතනයට හැකි වූ අතර රුපියල් මිලියන 586ක මූල්‍ය ලාභයක් අත්කර ගැනීමට ඔවුන්ට ආසන්නතම කාලයේ හැකිවිය. මේ වසරේ අගෝස්තු අවසන් වන විට මෙහි ආදායම වී ඇත්තේ රුපියල් මිලියන 3455 කි.
“ දියර කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් ලංකාව හා ඉන්දියාව යන දෙරට අතර එකඟතා ගිවිසුමක් අනුව තමයි මේ ව්‍යාපෘතිය සිදුවන්නට ගියේ. මෙය පසුගිය රජය විසින් ගත් කැබිනට් තීන්දුවක්. මේ සම්බන්ධයෙන් සිදු කළ යුතු අවශ්‍ය තක්සේරු කිරීම් පවා සිදු කෙරුණා. අදාළ පියවර කිහිපයක් ඉදිරියට ගියා. පසුගිය අගෝස්තු වන විට එහි යම් වැඩ කොටස් පවා අවසන් වුණා. මේ සියල්ල සිදු වුණේ අමාත්‍යාංශ මට්ටමින්. නමුත් එතැනින් එහාට තීන්දු ගැනීමට නොහැකි වුණා. අපි දන්නා තරමින් එය නැවත වෙනස් කිරීමේ කැබිනට් තීන්දුවක් ගත යුතුයි. මේ සම්බන්ධයෙන් තවමත් අපව දැනුම්වත් කර නැහැ“
ඒ NLDB ආයතනයේ සාමාන්‍යාධිකාරි වෛද්‍ය කේ.ජී.ජේ එස් දිස්නකය.
NLDB ආයතනයෙන් සිදුවන කිරි නිෂ්පාදනය හා ජාතික කිරි නිෂ්පාදනය යනු අංශ දෙකකි. ලංකාවේ කිරි නිෂ්පාදනයෙන් 40%ක් සිදු කරන්නේ ජාතික නිෂ්පාදනයෙනි. 60%ක් ආනයනික කිරි නිෂ්පාදනය.
“ NLDB ආයතනය සතුව කිරි හරක් 6,500ක් පමණ සිටිනවා. නමුත් රටේ කිරි ගවයන් ලක්ෂ 13ක් පමණ ඉන්නවා. මේ නිසා ජාතික කිරි නිෂ්පාදනයට අපෙන් විශාල කිරි ප්‍රමාණයක් ලබා දීමට හැකියාවක් නැහැ. අපේ කිරි නිෂ්පාදනය දෙගුණ කළත් එය ජාතික කිරි නිෂ්පාදනයට දැනෙන්නේ නැහැ. මේ නිසා ජාතික කිරි නිෂ්පාදනය වැඩි විය යුත්තේ ඊට සම්බන්ධ ගොවීන්ගේ යම් යම් දිරි ගැන්වීම් හරහායි. ජාතික කිරි නිෂ්පාදනය වැඩි කිරීමට විවිධ ව්‍යාපෘති ගණනාවක් හරහා සිදුවිය යුතුයි.
අපේ ආයතනය සතුව ඉඩම් මෙන්ම ගොවිපළ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවායේ නිෂ්පාදන වැඩි කළ පසු අපිට ආදායම වශයෙන් ලැබෙන්නේ කිරි. අපේ කිරි ගවයන් 6500 කගෙන් කිරි ගන්නේ 3000 ක ගෙන් පමණයි. අනික් පිරිස පැටව්. ඒ පිරිස නඩත්තු කරන්න විශාල පිරිවැයක් යනවා. ඒ නඩත්තුවෙන් පසු ඒ සතාට විශාල වටිනාකමක් හිමි වෙනවා. නමුත් එය මුදලක් නෙමෙයි. මේ නිසා කිරිවලින් ගන්නා ආදායමෙන් විශාල ප්‍රමාණයක් සතුන් නඩත්තු කරන්න යන නිසා ආයෝජනය කිරීමේ හැකියාව අඩුයි. මේ නිසා මේ තත්ත්වය වෙනස් කරන්නට රජයෙන් සහයෝගයක් ලැබිය යුතුයි…“
ඒ NLDB ආයතනයේ අදහසයි.
ඔවුන් පවසන්නේ ඉන්දියන් සමාගමක් සමඟ ඒකාබද්ධ කිරීමට කලින් රජය ගත් මෙම තීරණය ඉහළින් පහළට ආ තීන්දුවක් බවය. 2024 පෙබරවාරි මස ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතු ගොවිපළ පරීක්ෂා කිරීම සඳහා ඉන්දියාවේ අමුල් සමාගමේ නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි. ඒ අදාළ ගොවිපොළවල් ‘අමුල්’ වෙත බදුදීමට පෙර කරනු ලබන මූලික තක්සේරුවකටය. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අක්කර 28,000කට අධික භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 31ක් අයත් වේ. ගොවිපළවල වටිනාකම තක්සේරු කිරීම බදුදීමේ ක්‍රියාවලියේ කොටසකි.
මිල්කෝ ආයතනය
කොවිඩ් සමයේ කිරිපිටි පැකට් එක ඉතාම සහන මිලට දුන්නේ මිල්කෝය. ලංකාවේ දේශීය කිරි නිෂ්පාදිතයෙන් වැඩි වගකීමක් දරන්නේ මිල්කෝ ආයතනයයි. පැල්වත්ත ද දේශිය කිරි නිෂ්පාදන වගකීම දරයි. 2021 වසරේදී මිල්කෝ සමාගම කිරි නිෂ්පාදන අලෙවියෙන් රුපියල් බිලියන 8ක ආදායමක් උපයා තිබුණි. මේ අඩුපාඩු නිසා පසුගිය වසර කිහිපයක් තිස්සේ මිල්කෝ සමාගම පාඩු ලබා ඇති බව එදා හේතු දක්වමින් පසුගිය ආණ්ඩුව මිල්කෝ සමාගමද බදුදීමට සූදානම් වී තිබුණි
මිල්කෝ සමාගම සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇත්තේ ‘මිල්කෝ ප්‍රයිවෙට් ලිමිටඩ්’ ලෙසය. එය ඉබේ සිදු වූවක් නොවේ. බොහෝමයක් දෙනා පවසන්නේ මෙය පෞද්ගලිකකරණය කිරීම පහසු කිරීමේ අරමුණින් ක්‍රමානුකූලව ඇති කළ තත්ත්වයක් බවයි.
මිල්කෝ ආයතනය ආරම්භ කර ඇත්තේ 1956 වසරේදිය. පසුව මිල්කෝ නමින් හැඳින්වුව ද මුලින් එය හඳුන්වා දී ඇත්තේ ජාතික කිරි මණ්ඩලය නමිනි. මුල්ම කර්මාන්ත ශාලාව ඇත්තේ නාරහේන්පිටය. මිල්කෝ ආයතනය පිහිටුවා ඇත්තේ ලංකාවේ කිරි ගොවීන්ගේ කිරි ලබා ගෙන ඒවා විවිධ නිෂ්පාදන බවට පෙරළමින් වෙළෙඳපොළට නිකුත් කිරීම ප්‍රධාන කාර්යයක් ඉටු කරන්නටය.
ශ්‍රී ලංකාවේ අනර්ගතම පෝෂ්‍යදායි ආහාර පාන සමාගම බවට පත්වීමේ දැක්ම සහිතව මිල්කෝ සමාගම ක්‍රියාත්මක වෙයි.
රට පුරා කිරි නිෂ්පාදන සහ අනෙකුත් කෘෂිකර්මාන්තය පදනම් කරගත් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය කිරීමේ අරමුණ සඳහා වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, සැලසුම් කිරීම සහ සංවිධාන කිරීම, ශ්‍රී ලංකාව තුළ එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සහාය වීම, ශ්‍රී ලංකාවේ කිරි සහ කිරි නිෂ්පාදන සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන එකතු කිරීම, සැකසීම, නිෂ්පාදනය කිරීම, ඇසුරුම් කිරීම, බෙදා හැරීම, අලෙවිකරණය සහ එවැනි ගනුදෙනු කිරීමේ ව්‍යාපාර කරගෙන යාමට මිල්කෝ ආයතනයේ අරමුණු වෙයි.
“මිල්කෝ ආයතනය පිහිටුවා ඇත්තේ ලංකාවේ කිරි ගොවීන්ගේ කිරිගෙන ඒවා ප්‍රතිචක්‍රීයකරණය කර විවිධ නිෂ්පාදන බවට පෙරළමින් වෙළෙඳපොළට නිකුත් කිරීම ප්‍රධාන කාර්යයක් ඉටු කරමින්. මිල්කෝ ආයතනය සතුව කර්මාන්ත ශාලා 4ක් තියෙනවා. දිනකට කිරි ලීටර 150,000 ක් පමණ ලබා ගන්නා අතර එය විවිධ නිෂ්පාදන එනම් කිරි, බටර් , යෝගට් ආදි ලෙස වෙළෙඳපොළට යවනවා. මේ ආයතනයත් සමඟ කිරි ගොවීන් ඇතුළු ඍජු හා වක්‍ර රැකියා හා යැපීම් ලෙස ලංකාවේ පවුල් ලක්ෂ එකහමාරක් පමණ මේ හරහා යැපෙනවා. පසුගිය වසරේ අපේ පාඩුව පමණක් රුපියල් මිලියන 216 ක්. අපි රුපියල් මිලියන 1800 ක බැංකු ණයක් ගෙන තියෙනවා. එහි පොලිය ලෙස දළ වශයෙන් රුපියල් මිලියන 240 ක් ගෙවනවා.
සාමාන්‍යයෙන් ලංකාවේ කිරි නිෂ්පාදන ආයතන පාඩු නොලැබුවත් මේ ආයතනය පාඩු ලබනවා. ඊට කාරණා දෙකක් බලපානවා. එකක් වන්නේ මේ ආයතනයේ අලෙවියට දිය යුතු අවධානය දී නොමැතිවීමයි. උදාහරණයක් ලෙස නෙස්ලේ ආයතනය ගතහොත් එහි නිෂ්පාදන අලෙවිසල් 70,000කට බෙදුවත් අපේ අලෙවියන් බෙදන්නේ අලෙවිසල් 13,000ක පමණයි. අද හයිලන්ඩ් යෝගට් හා කිරි හොඳම නිෂ්පාදන වුවත් ඒවා වෙළෙඳපොෙළන් ගන්න නැහැ. මෙයින් පෙනෙන්නේ මිල්කෝ ආයතනයේ අලෙවිය පැත්තට දක්වා ඇති අඩු අවධානයයි. දෙවැන්න වෙළෙඳපොළේ කිරි ගොවියාගේ කිරි තරගකාරි මිලකට ලබා ගැනීමට තරම් ආයතනයේ කිරි එකතු කරන ජාලය ශක්තිමත් වී නොතිබීමයි. මේ නිසා තරගකාරි ලෙස අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ගැටලු එක් පැත්තකින් පවතින අතර අනිත් පැත්තෙන් සකස් කරන නිෂ්පාදන බෙදා හැරීමේ දුර්වලතාව යන ගැටලුවලට ආයතනය මුහුණ දෙනවා.
ආයතනයේ අභ්‍යන්තරයෙන් ඇති වී ඇති තවත් ප්‍රශ්නයක් වන්නේ වසර ගණනාවක් පුරාවට ආයතනය විකුණා දමන බවට ඉහළ කළමනාකාරිත්වය නිරන්තරයෙන් ලබා දෙන දැනුම් දීම්. මේ නිසා ආයතනයේ දියුණුවට සේවකයන්ගේ අභිප්‍රේරණයක් සිදු වන්නේ නැහැ. එනම් ආයතනය විකුණා දමන අදහස මුල සිටම සේවක හිත් තුළ වපුරා තිබුණා.
නව රජය බලයට පත්වීමත් සමඟ වත්මන් ජනාධිපතිවරයාගේ අදහස වූයේ දේශීය නිෂ්පාදන ආර්ථිකයකට යාමයි. එහිදී කිරි නිෂ්පාදන අංශය යනු අපට අත්හැරිය නොහැකි අංශයක්. දරුවන්ගේ පෝෂණය පහසුවෙන්ම ලබා දිය හැක්කේ කිරිවලට. මේ නිසා අපේ නිෂ්පාදන ආර්ථිකයේ කිරි නිෂ්පාදන ආශ්‍රිත කර්මාන්තවලට විශේෂ තැනක් හිමි වෙන අතර එහිදි විශාල කාර්යභාරයක් මේ ආයතනය සතු බව අපේ අදහසයි. “
ඒ මිල්කෝ ආයතනයේ සභාපති හේමජීව ගෝඨාභයයි .
කෙසේ වෙතත් අභියෝග මැද මේ වන විට ගතවූ කෙටි කාලය තුළ අනුගමනය කළ ක්‍රියාමාර්ග හේතුවෙන් දිනකට කිරි ලීටර් 160,000 ක ප්‍රගතියක් ලබා ඇත.
“ දැන් අපිට කිරි ලැබෙනවා. අනිකුත් ප්‍රශ්නත් අපි ක්‍රමානුකූලව විසඳාගෙන යනවා. අලෙවි අංශය ද අභිප්‍රේරණය කරමින් මේ මස අවසන් වන විට ඉතිහාසයේ ප්‍රථම වතාවට බිලියන 2000ක අලෙවි ඉලක්කයක් සම්පූර්ණ කර ගැනීමට. එම අලෙවි ඉලක්කයෙන් පසුගිය 24 වැනිදා වන විට 60%ක් සම්පූර්ණ කරගෙන තියෙනවා. මේ වන විට අපි ආයතනයේ සියලු සේවකයන්ගේ විශ්වාසය තහවුරු කළා. මේ ආයතනය නොවිකුණන බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තියෙනවා. නමුත් එයින් කියැවෙන්නේ නැහැ අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සිදු නොකරන බවට. මේ නිසා මේ වන විට පැවැති අර්බුදකාරි තත්ත්වය මඟ හරිමින් ලාභ ලබන තැනට ගමන් කරවීම අපේ අරමුණයි. මේ වන විට සියලු සේවකයන්ට පොදු අරමුණක් පවතිනවා, ආයතනය ලාභ ලබන තැනට ගේන්න. ඒ නිසා වැටුණු තැනින් ගොඩ ඒමේ කාර්යය වෙනුවෙන් සියලු සේවකයන් කාර්යක්ෂමව වැඩ කරනවා. “ ඒ මිල්කෝ සභාපතිවරයාගේ අදහසයි.
ශ්‍රී ලංකාව වාර්ෂිකව කිරි ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 6ක් පමණ වැය කරයි. විදේශයන්ට ගලා යන ඩොලර් ප්‍රමාණය අඩු කරගන්නට අපේ මේ දේශීය නිෂ්පාදනයන්ට හැකි වන්නේ නම් හෝ ලාභ ලබන තැනට පත්කර ගන්නට ඇවැසි ප්‍රතිව්‍යුහගතකරණයන් සිදු කරන්නට හැකි වන්නේ නම් රටක් වශයෙන් අපට සැනසීමකි.
සුභාෂිණි ජයරත්න