Home » මාධ්‍යයේ වගකීම

මාධ්‍යයේ වගකීම

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

බේ භාවිතාව නිකම්ම ප්‍රවෘත්ති මාධ්‍යයක් සඳහා නම් ස්වභාවයෙන්ම එක් දවසක් ගෙවුණු පසු ඔබේ ප්‍රවෘත්ති මාධ්‍යය පරණ වේවි. සමාජය වෙත ප්‍රඥාව රැගෙන යාමට හැකි මාධ්‍යයක් බිහි කරන්න -ඕෂෝ

ආදරය, ලිංගිකත්වය, ආගම පිළිබඳව දාර්ශනික මත ප්‍රකාශ කළ ඕෂෝ ඉන්දියානු ජාතිකයෙක් . වසර පනස් අටක් ජීවත් වූ ඔහු සියවස් ගණනක් ඉදිරියට මිනිස් ස්වභාවය දැක ඒ පිළිබඳව අදහස් දැක්වූ දාර්ශනිකයෙක්. මාධ්‍ය පිළිබඳව ඕෂෝ දැක්වූ අදහස් එතරම් ප්‍රචලිත නොවුණ ද ඒවායේ සර්වකාලීන වැදගත්කමක් ඇතැයි මට සිතේ.ධනාත්මක දෙයට ඉඩ දිය යුතු යැයි ද ඍණාත්මක දේ පහත් කළ යුතු යැයි ද ඕෂෝ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් දක්වන එක් අදහසක්. අතිශය සංවේදී කාරණාවක් මෙන්ම අප සමාජයක් ලෙස මුහුණ දුන් දරුණු ඛේදවාචකයක් ද වන පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ දිනවල සංසරණය වන මාධ්‍ය ජවනිකා ද, අදහස්, මතවාද හා සංවාද ද සැලකිල්ලට ගත් විට මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් ඕෂෝගේ දැක්ම වැදගත් යැයි මට සිතේ. මාධ්‍යකරුවන් අත ඇති මයික්‍රෆෝනය සහ කැමරාව කවර පුද්ගලයන් ඉදිරියේ කවර කාරණයක් වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු දැයි යන ප්‍රශ්නය පොදුවේ පවතින්නක්. මහා පිමි පනිමින් ප්‍රසාරණය වන මාධ්‍ය පිළිබඳව සමාජයේ ඇති මත සියල්ලක්ම සැලකිල්ලට ගත්විට තරගය විසින් මාධ්‍ය සදාචාරය පිළිබඳව ඇති ඇල්ම බැල්ම අංශු මාත්‍රකොට තිබෙන බවක් හැඟෙනවා. අතීතයට ගමන් කරන මගේ සිත මාධ්‍යය විසින් ගොඩනැඟූ නාමල් කුමාර නමැති රූපකාය සමඟ ගැටෙනවා. ඔහු මාධ්‍ය විසින් හඳුන්වන්නේ දූෂණ විරෝධී සංවිධානයක පෙරමුණේ රාල කෙනෙක් ලෙස. කාලයක් ඔහුගේ හඬ, ඔහුගේ රූපය නැති ප්‍රවෘත්ති වාර්තාකරණයක් නැති තරම්. නාමල් කුමාර කවුද? ඔහු එක්තරා අවස්ථාවක හිටපු විධායක ජනාධිපතිවරයකු වන මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සැලැස්මක් ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව ඔහු පැමිණිල්ලක් කළ අතර, ප්‍රවෘත්ති සාකච්ඡා ද පවත්වන්නට යෙදෙනවා. එක් අවස්ථාවකදී අධිකරණය ඔහුට තරයේ අවවාද කරමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම තහනම් කරනවා. ඊට වාරණ නියෝගයක් ද නිකුත් කරනවා.

පසු කලෙක ඉතිහාසයේ කුණු බක්කියට ජනතාව විසින් ඇද දැමූ මෛත්‍රී සහ ගෝඨාභය යන දෙදෙනා ඝාතනය කිරීමට සැලසුම් කළාය යන චෝදනාව යටතේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන නාලක සිල්වා අත්අඩංගුවට ගනු ලබනවා. මේ ඝාතන කුමන්ත්‍රණය කරළියට එන සමයේම තවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක්. විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැතිවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ පහ කොට මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බවට පත්කිරීම එම කුමන්ත්‍රණයයි. පසුව එම කුමන්ත්‍රණය පරාජය වනවා. අධිකරණ නියෝගයකින් අර ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව චෝදනාවක් පරාජය වන්නේ නැහැ. එනිසාම දැවැන්ත වන්දි ගෙවීමකින් අවසන් වන ඛේදවාචකයක් නිර්මාණය කරන තැනට එය පත්ව තිබෙන බව පැහැදිලියි.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යනු කවරෙක් ද, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන ප්‍රියන්ත ජයකොඩි ප්‍රකාශයක් කරමින් නාමල් කුමාරගේ චෝදනාව පරීක්ෂාවට ලක්කිරීමෙන් පසු එළැඹුණු නිගමනය කුමක්දැයි ප්‍රශ්න කරනවා. ඔහුගේ ප්‍රශ්න කිරීම තුළ තවත් කාරණයක් අනාවරණය වෙයි. මෛත්‍රිපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළා යැයි චෝදනා ලබන නාලක සිල්වා ඒ වනවිට සහරාන් නමැති අන්තවාදී කල්ලි නායකයා සහ ඔහුගේ සහචරයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව. එසේම එම පරීක්ෂණවලින් පසු සහරාන් අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් ද ලබා තිබුණු බව මේ සිද්ධියෙන් අනාවරණය වන්නේ ඝාතන සැලැස්මකට චෝදනා ලැබීමෙන් පසු සහරාන් අත්අඩංගුවට ගැනීමට කළ සියලු සැලසුම්වලට ද විලංගු වැටුණු බවයි. විධායක ජනාධිපතිවරයකු හිටපු ආරක්ෂක ලේකම්වරයකු ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බවට කවුරුන් හෝ පුද්ගලයකු ප්‍රකාශ කළහොත් එම ප්‍රකාශය කළ තැනැත්තා පිළිබඳවත් ආරක්ෂක අංශවල අවධානය යොමුවීම නිරායාසයෙන් සිදුවන්නක්. එය බොරු ප්‍රකාශයක් නම් නාමල් කුමාර, අත්අඩංගුවට ගත යුතුයි. එසේ නොවූයේ ඇයි ද යන්න ප්‍රියන්ත ජයකොඩි ප්‍රශ්න කර තිබුණා.

නිෂේධනීය දෙයින් භීතිය ඇති නොකරන්න-ඕෂෝ

නාලක සිල්වා හැර පොලිසියේ වෙනත් නිලධාරියෙක් හෝ කණ්ඩායමක් සහරාන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කරමින් හඹා යමින් නොසිටි බව හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයා ගැනීම මෙන්ම ප්‍රහාරයේ ඔවුන්ගේ ඇත්ත අරමුණ සොයා ගැනීම පහසු නොවිය හැකියි. පැටලුණු පඹගාලක ස්වරූපය මෙහිදී දැකිය හැකියි. වඩා වැදගත් වන්නේ මේ ප්‍රහාරය ජාතික ආරක්ෂාව ඇති තැන සහ එහි වගවීම සහ වගකීම පිළිබඳව කරනු ලබන ඇඟවීමයි. ඒ නිසාම දේශපාලනික න්‍යාය පත්‍රය අබිබවා යා යුතු මාර්ගයක් කෙරෙහි විශ්වාසය ඇතිකළ යුතුව තිබෙනවා. ඕෂෝ, දේශපාලකයන් ගැනත් මාධ්‍ය ගැනත් දක්වන්නේ මෙවැනි අදහසක්. දේශපාලකයන් ඕනෑවට වඩා අවධානයට ලක් නොකළ යුතුයි. එය භයානකයි; ඔවුන්ව හැකිතාක් නොතකා හැරිය යුතුයි. ඔවුන් අවධානයට ලක් කළ යුත්තේ හොඳම යමක් කළ විටයි.

ජනමාධ්‍ය සහ ජනමාධ්‍යකරුවාගේ හැසිරීම ගැනත්, ජනමාධ්‍යකරුවා කවරෙක් ද යන්න ගැනත් අදත් කතාබහක්, සංවාදයක් පවතින අතර ඕෂෝ ජනමාධ්‍යවේදියෙක් දැක්කේ මෙ‍ෙහමයි. ජනමාධ්‍යවේදියෙක් යනු මූලිකව කැරලිකාර පුද්ගලයෙක්. ලෝකය වඩා හොඳ වීමේ ඕනෑකම ඇති කෙනෙක්. ඒ වගේම නිවැරදි කාරණා වෙනුවෙන් ඔහුට සටන් කරන්න තියෙනවා. දේශපාලන සංස්කෘතියෙහි පරිවර්තනයක් පිළිබඳව යහපත් දේශපාලකයන්, නායකයන්, ජනතා නියෝජිතයන් පිළිබඳව කාලාන්තරයක් තිස්සේ පවතින සමාජ සංවාදය යථාර්ථයක් ලෙස අත්පත් කරගැනීමට මාධ්‍යයට ඇති තැන සහ වගකීමත් වැදගත්ම සාධකයක් බව මතක තබාගමු.

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division