Home » ජොන්ස්ටන්ට වැඩ වැරැද්දූ සුපිරි වාහනේ

ජොන්ස්ටන්ට වැඩ වැරැද්දූ සුපිරි වාහනේ

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

පේ රටට විශාල බදු ආදායමක් අහිමි කරමින් හොර පාරෙන් ගෙන්වනු ලබන සුඛෝපභෝගී වාහන පරිහරණය කරනු ලබන්නේ ඇති හැකි අය මෙන්ම බලවත් උදවියයි. රටට බිලියන ගාණනක මුදලක් අහිමි කරමින් සිදු කරන මේ වංචාව පිටුපස දූෂිත රේගු නිලධාරීන් මෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිටින දූෂිතයන්ද නැත්තේම නැත. ත්‍රීරෝද රථ සහ ට්‍රැක්ටර් රථ කාණ්ඩ අංකවලට හොර පාරෙන් එන වාහන ලියාපදිංචි වන්නේද එබැවිනි.

මේ හැරුණු කොට ලියාපදිංචි කිරීමකින් තොරව කාගේ හෝ වාහනයක අංක තහඩුවක් සවිකරගෙන හොර පාරෙන් මෙරටට ආ වාහන ඇති තරම් මහ මග අදටත් ධාවනය වෙමින් තිබෙනු ඇත. එසේ හොර පාරෙන් මෙරටට රැගෙන ආ ජිප් රථ ඇතුළු සුඛෝපභෝගී වාහන 434ක ලැයිස්තුවක්ද පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් විමර්ශනයක් ඔස්සේ හෙළිකරගත්තේය. ඒ වසර තුනක් පුරාවට කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි. මේ කාලය තුළ එම වාහන 434න් වාහන 50ක පමණ ප්‍රමාණයක්ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සොයා ගත්තේය. හොර පාරෙන් මෙරටට රැගෙන ආ එම වාහන ලියාපදිංචි කර තිබුණේද හොර පාරෙනි. ඒ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ අයෙක්ද අත්අඩංගුවට ගත්තේ යම් ආන්දෝලනයක් රට තුළ ඇති කරවමිනි. ඒත් එක්කම හොර පාරෙන් මෙරටට ආ වාහන 434 ලැයිස්තුව සමඟ ඉදිරි විමර්ශන පොලිස් බලධාරීන් විසින් භාරදෙනු ලබන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය.

නීතිය නමන දේශපාලන බලය

එසේ විමර්ශන කටයුතු භාරදී දැන් වසරකට වැඩි කාලය ගෙවී ගොස් හමාරය. එම ලැයිස්තුවේ ඇති වාහනයක් මේ කාලය තුළ හොයා ගැනීමක් ගැන කිසිවක් මාධ්‍යට නිරාවරණය වූයේ නැත. එම විමර්ශනයට හා වාහන ලැයිස්තුවට වූ දේ දන්නේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පමණි.

සිය බලපුළුවන්කාරකම් යොදා නීති විරෝධි ලෙස මේ ආකාරයට හොර පාරෙන් රැගෙන එන වාහන නිසා අපේ රටට අහිමිවන බදු මුදල ද සුළුපටු නැත. මෙසේ හොර පාරෙන් රැගෙන එන වාහන බොහෝමයක්ම මිල අධික සුඛෝපභෝගී වාහනය. මෙවැනි වාහන අපේ රටේ සාමාන්‍ය වැසියෙකුට පරිහරණය කරනවා කියන්නේ සිහිනයකි. ඒ බදු එකතු කළ විට ඒවායේ වටිනාකම් රුපියල් කෝටි ගණනක් වන බැවිනි.

මෙසේ හොර පාරෙන් රැගෙන එන වාහන සිය බලපුළුවන්කාරකමින් මහ මග කිසිදු බියක් සැකක් නොමැතිව මෙතෙක් කාලයක් ධාවනය කරනු ලැබුවේ නම් ඒ දේශපාලන හයිහත්තිය ඇති බලපුළුවන්කරයින් පිරිසක් පමණි. ඒ මෙතෙක් කාලයක් අපේ රටේ නීතිය පවා දේශපාලනඥයන් ඉදිරියේ ඕනෑවටත් වඩා නැවෙන්නට ගිය නිසාය. රටේ ඇතිවූ අලුත් දේශපාලන වෙනසත් සමඟ තැන තැන සඟවා තිබියදී පසුගිය සති කිහිපය පුරාවට මෙවන් හොර වාහන පොලීසියට සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ දැන් පොලිසියට දේශපාලනඥයන් ඉදිරියේ කොන්ද කෙළින් තබාගෙන කටයුතු කළ හැකි පසුබිමක් නිර්මාණය වී ඇති නිසාය. දේශපාලන බැමිවලින් පොලීසිය නිදහස් කිරීමත් සමඟ පොලිසිය දැන් නිදහසේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරනවා මෙන්ම හොර මැරකම්වලට එරෙහිවද අවි අමෝරා ඇත්තේ නීතිය රජ කරන දේශයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාව ද පෙරදැරිකරගෙනය.

හොර පාරෙන් එන සුඛෝපභෝගී වාහන

පොලිසියේ මේ අලුත් හැසිරීම නුහුරු ඇතැම්හු නම් මේ දේවල් දකින්නේ වැරදි විදිහටය. හොර පාරෙන් මෙරටට ගෙන්වා ඇති වාහන සොයා පොලිසිය හඹා යාම ඔවුන් දකින්නේ දේශපාලන දඩයමක් ලෙසිනි. එසේ වැරදි චිත්‍රයක් ගොඩනැඟෙන්නට මුල්වන්නේම හොර පාරෙන් මෙරටට ආ බොහෝ වාහන පරිහරණය කරනු ලබන්නේ දේශපාලනඥයන් වීම හේතුවෙනි. එවැනි වාහන දෙක තුනක්ම පහුගිය කාලයේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගත්තේය. ඒ අතර තිබුණු ජිප් රථයක් ගම්පොල පදිංචි පුද්ගලයකුට අයත් මෝටර් රථයක අංකයක් සවිකරගෙන කාලයක්ම පරිහරණයකර තිබුණේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අමිල අබේසේකරය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනයකරමින් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි ඔහු මෙරවර මහ මැතිවරණයට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකි. එම පක්ෂයේ හම්බන්තොට කණ්ඩායම් නායකයා ඔහුය. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේය. දැන් ඔහු සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

හිටපු අමාත්‍යවරයෙක් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු ද පසුගිය 23 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ හොර පාරෙන් මෙරටට රැගෙන ආ වාහනයක් සම්බන්යෙන් කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි. උන්හිටිතැන්වලින් අතුරුදන්ව සතියකට වැඩි කාලයක් පොලිසියට කට්ටිපනිමින් සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු 23 වෙනිදා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ ඔහු ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි නිසාය.

වැරදුණු කුරුමානම

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට මුල්වන වාහනය බී.එම්.ඩබ්ලිව් වර්ගයේ එකකි. මෙම වාහනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඔවුන්ට ලද තොරතුරකට අනුව සොයා ගනු ලබන්නේ කොළඹ කොටුවේ පිහිටි තරුපන්තියේ හෝටල් රථ අංගණයක තිබියදීය. wpc 24-0430 ගරාජ් අංකය සහිතව ගාල්කර තිබුණු මෙම රථය එම ස්ථානයට රැගෙනවිත් තිබුණේ ජනාධිපතිවරණයට පෙර දිනයකදීය. මෙවන් තරුපන්තියේ හෝටලයක රථ අංගණයේ යම් වාහනයක් ගාල් කරන විට ඒ ගැන හෝටලයේ ආරක්ෂකයින් ඇස්කන් වසාගෙන සිටින්නේ නැත. කාලයක් තිස්සේ අදාළ හෝටලයේ කාමරයක රැඳී සිටින හිටපු රාජ්‍ය නායකයන් රැසක් සමඟ ඉතා සමීපව කටයුතු කරන මෙන්ම දේශපාලනඥයන් රැසක් සමඟ කිට්ටු සම්බන්ධකම් ඇති ගාමිණි අබේරත්නගේ නම කියා වාහනය එහි ගාල්කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනගන්නේ හෝටලයේ ආරක්ෂකයන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේදීය. ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගාමිණි අබේරත්නගෙන්ද ඒ ගැන ප්‍රශ්න කළේය. හිටපු අමාත්‍යවරයෙක් වන ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නම එළියට එන්නේ එහිදීය. ඒ එම වාහනය රියදුරෙකු අත හෝටලයේ රථ ගාලට එව්වේ ජොන්ස්ටන් ප්‍රනාන්දු බව ඔහු කියන්නට වූ බැවිනි.

වාහනය සති කිහිපයක් තිස්සේ එක තැන ගාල්කර තිබුණද එහි යතුර තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අතය. ගරාජ් අංකයකින් තිබුණු මෙම මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පරීක්ෂා කිරීමට අවශ්‍යතාවක් පැන නැඟී තිබෙන්නේ එම රථයේ ඇති ගරාජ් අංකය ව්‍යාජ එකක් බව ඒ වන විටත් තහවුරුකරගෙන තිබුණු බැවිනි. හෝටලයේ රථ අංගණයේ ඇති මෙම මෝටර් රථය ගැන තොරතුරු ලද වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුලින්ම සොයා බලන්නේ එහි සවිකර ඇති ගරාජ් අංකයට අනුව රථයේ හිමිකරුගේ අනන්‍යතාවයයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ එම ගරාජ් අංකයේ හිමිකරු ලෙස සඳහන්ව තිබී තිබෙන්නේ නාවල පිහිටි පුද්ගලික සමාගමකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එකී සමාගම් ප්‍රධානියාවද මුණ ගැසී තොරතුරු සොයා බැලීමට අමතක නොකළේය. හෝටල් රථ අංගණයේ තිබූ ගරාජ් අංක සහිත බී.එම්.ඩබ්ලිව්. රථය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට සැකයක් උපදින්නේ එවිටය. ඒ ගරාජ් අංකය සිය සමාගමට අයත් රථයකට පසුගිය මාර්තු මාසයේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලයෙන් මුදල් ගෙවා ලබාගත්තද එම රථය හෝටල් රථ අංගණයේ ඇති බී.එම්.ඩබ්ලිව් වර්ගයේ රථය හා සම්බන්ධ නොවන බව පවසන්නට වූ බැවිනි. සමාගමට අයත් මෝටර් රථයක සවිකර තිබුණු එම අංකය පුද්ගලික ගුවන් විදුලි ආයතනයක් අසල රථය නතරකර තිබියදී හොරාගෙන ඇති බවද සමාගම් ප්‍රධානියා කියන්නට විය. එම ගුවන් විදුලි නාලිකාව සමාගම් හිමිකරුට අයත්වූවකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෝටල් රථ අංගණයට ගොස් හෝටල් ආරක්ෂකයින් මුණ ගැසෙන්නේත් ගාමිණි අබේරත්නගෙන් ඒ ගැන ප්‍රශ්න කරන්නේත් ඒ අනුවය. ඒ වන විටත් වාහනය තිබෙන්නේ එහි දොරගුළු අගුල්ලාය. ඇතුළත පරීක්ෂා කිරීමටනම් අගුල් ඇර ගත යුතුය. ඊට එහි යතුර තිබිය යුතුය.

ජොන්ස්ටන්ව අල්ලා දුන් යතුර

මොටර් රථයේ යතුර තිබිය යුත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පෙනී ගියේය. එබැවින් හෝටලයේ ආපනශාලා කළමනාකාරිණිය මඟින් ජොන්ස්ටන් ප්‍රනාන්දුව හෝටලයට ගෙන්වා ගැනීමට උත්සහයක් දැරුවේය. ඔහු වෙනුවට හෝටලයට ආවේ සේවකයෙකි. මෝටර් රථයේ යතුර එන්නේ එම සේවකයාගේ අතිනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම යතුරින් මෝටර් රථයේ දොරගුළු විවරකර පරීක්ෂාවට ලක්කරනු ලැබීය. ඒ තුළ තිබී හමුවන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ලියකියවිලි කිහිපයකි.

මින් බී.එම්.ඩබ්ලිව් මෝටර් රථය සම්බන්ධයෙන් වූ සැකය තවදුරටත් තීව්‍ර වන්නට වූ බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් WBA5E52010G115194 දරණ එහි චැසි අංකය ශ්‍රී ලංකා රේගුවට යොමුකර පරීක්ෂා කරනු ලැබුවේ රථය හරි පාරෙන් මෙරටට රැගෙන ආ එකක්දැයි දැන ගැනීමටය. එහිදී පෙනී යන්නේ මෙවන් චැසි අංකයක් සහිත බී.එම්.ඩබ්ලිව් මෝටර් රථයක් ශ්‍රී ලංකා රේගුවේ පරීක්ෂාවන්ට ලක්ව නීත්‍යනුකූලව රැගෙනවිත් නැති බවය. ඒත් එක්කම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන්ද මෙම චැසි අංකයට වාහනයක් ලියාපදිංචිකර තිබේදැයි සොයා බැලීමට විමර්ශකයන් අමතක නොකළේය. එහිදී ද පෙනී යන්නේ මෙම චැසි අංකයට වාහනයක් ලියාපදිංචිකර නොමැති බවය.

විමර්ශකයන් එයින් අධෛර්යමත් නොවී තවදුරටත් මෙම වාහනය ගැන තොරතුරු සොයා බලන්නට ගත්තේ ය. මෙම වාහනයේ චැසි අංකය ජාත්‍යන්තර පොලිස් දත්ත ගබඩාවට ඇතුළත් කළේය. එම පරීක්ෂාවේදී පෙනී යන්නේ එම වාහනය බ්‍රිතානයේදී සොරාගැනීමට ලක්ව ඇති එකක් බවය. කොළඹ තරු පංතියේ හෝටල් රථ ගාලට එම වාහනය ආ හැටි සොයන්නටද ඒත් එක්කම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුවන්නේ බ්‍රිතාන්‍ය පොලිසිය සමඟ ඒකාබද්ධ විමර්ශනයකට මග පාදමිනි.

ජාත්‍යන්තර වාහන සොරකම් එළියට

පිටරටවලින් සොරාගත් වාහනයක් මෙසේ මෙරටින් සොයාගත් පළමු අවස්ථාව මෙය නොවේ. සොරාගත් වාහන මෙරටට රැගෙන ඒම් ගැන අවස්ථා කිහිපයකදීම මෙරටින් වාර්තා වී ඇත. වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකා රේගුව කළ වැටලීමකදී කන්ටේනර් පෙට්ටි තුළ සඟවා මෙරටට රැගෙන විත් තිබුණු මිල අධික සුඛෝපභෝගී වාහන අතර තිබී යුරෝපීය රටකින් සොරාගත් වාහන කිහිපයක්ම සොයාගෙන තිබුණි. එසේම ලන්ඩන්වලින් සොරාගත් අමෙරිකානු ඩොලර් ලක්ෂ 3ක් පමණ වටිනාකමක් ඇති බෙන්ට්ලි වර්ගයේ මෝටර් රථයක්ද කන්ටේනරයක සඟවා පකිස්තානයේ කරච්චි වෙත රැගෙනවිත් තිබියදී 2022 වසරේදී සොයා ගැනීමක්ද ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ දැඩි කථාබහකටද ලක්විය. ඒ එම වාහනය සොයා ගන්නේ ජී.පී.එස්. ඔස්සේ වූ බැවිනි. ඒ අනුව බලන කල කොළඹ තරුපන්තියේ වාහන අංගණයකින් සොයාගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නම ගෑවුණු මෙම මෝටර් රථය බ්‍රිතාන්‍යයෙන් සොරාගෙන හොර පාරේ මෙරටට රැගෙ ආ එකක් බවට විමර්ශනයේදී හෙළිවන තොරතුරු කිසිසේත්ම බැහැර කළ නොහැකිය. මෙම සොරාගත් එකක් වූ බැවින් හරි පාරෙන් බදු ගෙවමින් මෙරටට රැගෙන විත් නැති බව හොඳින්ම පැහැදිලිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් මෙම වාහනය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත්කරනු ලබන්නේ මෙම රථය මෙරටට සම්පූර්ණ රථයක් ලෙස ගෙන්වා තිබේද එසේත් නොමැතිනම් කොටස් එකලස්කර සකස්කර තිබේදැයි දැන ගැනීමටය. පැහැදිලිවම අනාවරණය වන්නේ සම්පූර්ණ වාහනය කැබලිකර ගෙනවිත් එකතුකර ඇති බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ වන විටත් මෙම වාහනයේ චැසි අංකයට අදාළව තවත් සොයා බැලීමකට මුල පුරනු ලබන්නේ බී.එම්.ඩබ්ලිව් මෝටර් රථ මෙරටට නියමිත ක්‍රමවේදයට ගෙන්වා බෙදා හරිනු ලබන සමාගමේ සහය ඇතිවය. වාහනයේ චැසි අංකයට අනුව බී.එම්.ඩබ්ලිව්. වාහන නිෂ්පාදනයකර බෙදා හරිනු ලබන මවු සමාගමෙන් කළ සොයා බැලීමකදී පෙනී යන්නේ 2015 වසරේ ජර්මනියේ එය නිෂ්පාදනය කර ඇති එකක් බවය. එහි බැටරි කාඩ්පත ඔස්සේ කළ පරීක්ෂාවකදි හෙළිවන්නේ අලුත් බැටරියක් වාහනයට යොදා ඇති බවය. ඒ ඔස්සේ කළ යම් තාක්ෂණික විමර්ශනයකදී හෙළිවන්නේ මෙම වාහනය KM 5421 දරණ ලියාපදිංචි අංකයෙන් ධාවනයකර ඇති බවය. එකී අංකයට අනුව ලියාපදිංචි තොරතුරු පරීක්ෂා කිරීමේදී හෙළිවන්නේ කොළඹ 02 ලිලී වීදියේ පිහිටි තරුපංතියේ හෝටලයක නමින් එම අංකය දරණ මෝටර් රථය ලියාපදිංචි කර ඇති බවය. ඒ ගැන වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට පෙනී යන්නේ හෝටලයට අයත් මෝටර් රථයක අංකයකින් කොළඹ තරු පංතියේ හෝටලයේ රථ අංගණයෙන් සොයාගත් බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය ධාවනය කර ඇති බවය. කොළඹ 02 තරුපංතියේ හෝටලයේ හිමිකරු වෙන කිසිවෙක් නොව ජොන්ස්ටන් ප්‍රනාන්දුම බව හෙළිවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෝටර් රථය ලියාපදිංචිකර ඇති හෝටලයේ කළමනාකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය.

ගැලවීමට නොහැකි වුණු විමර්ෂණය

ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ගෙන් ගැලවිල්ලක් නොවීය. බී.එම්.ඩබ්ලිව් මෝටර් රථය කොළඹ තරු පංතියේ හෝටලයේ වාහන අංගනයෙන් සොයා ගැනීමත් සමඟ උන්හිටිතැන්වලින් අතුරුදන්ව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු ගැවසෙන බොහෝ තැන් සොයා ගියේය. අධිකරණයටද කරුණු දක්වමින් පසුගිය 23 වෙනිදා ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශයක් දෙන්නට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නේ මේ අතර තුරදීය. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නේ බදු වංචා කරමින් නීති විරෝධීව මෝටර් රථයක් ගෙන්වීම, ලියාපදිංචි නොකළ මෝටර් රථයක් භාවිත කිරීම, සොරාගන්නා ලද ගරාජ් අංක තහඩුවක් මෝටර් රථයට සවිකිරීම සහ වෙනත් මෝටර් රථයක අංක තහඩුවක් අත්අඩංගුවට ගන්නා ලද මෝටර් රථයේ සවිකර නීති විරෝධීව භාවිත කිරීම යන වරදවල් සම්බන්ධයෙනි.

එදිනම ඔහුව ඉදිරිපත් කරනු ලබන්නේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවටය. එහිදී මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන්නේ ලබන 30 වෙනිදා දක්වාය. දැන් ජොන්ස්ටන් ප්‍රනාන්දු සිටින්නේ මැගසින් බන්ධනාගාරයේ ය.

ගයාන් කුමාර වීරසිංහ‍

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division