Home » සුරක්ෂිත ආහාර වේලක් වෙනුවෙන් පණිවිඩයක්

සුරක්ෂිත ආහාර වේලක් වෙනුවෙන් පණිවිඩයක්

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

හාර මිනිසාගේ මූලික අවශ්‍යතාවක් ලෙස සැලකුණද මෙලොව ජීවත් වන සෑම මිනිසකුටම පෝෂ්‍යදායී, ප්‍රමාණවත්, ආරක්ෂිත සහ දැරිය හැකි මිලකට තමා කැමති ආහාර භුක්ති විඳීමට ඇති අවස්ථාව විරලය. ලොව පුරා පුද්ගලයන් මිලියන 730ක් පමණ කුසගින්නෙන් පෙළෙන බවත් බිලියන 2.8කට වැඩි පිරිසකට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) අධ්‍යක්ෂ ජනරාල් QU Dongyu ප්‍රකාශ කළේ ඉකුත් ඔක්තෝබර් 16 වැනිදාට යෙදී තිබූ ලෝක ආහාර දිනයේදීය.

සිය පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතාව සපුරාලීම සඳහා, සම්ප්‍රදායික ආහාර සංස්කෘතීන් ආරක්ෂා කිරීම මෙන්ම කාර්යක්ෂම, තිරසර කෘෂි ආහාර පද්ධති ගොඩනැඟීමට සෑම රටක්ම කැපවිය යුතු බවද හෙතෙම එහිදී අවධාරණය කළේය. ආහාර පිළිබඳ නිවැරැදි අවබෝධය සෑම පුරවැසියකුටම අවශ්‍ය වන බැවින් ඒ පිළිබඳ සායනික පෝෂණවේදය පිළිබඳ විශේෂඥයන්ගේ අදහස් විමසීමට අපි අදහස් කළෙමු.

ශ්‍රී ලංකා ජාතික රෝහලේ සායනික පෝෂණවේදය පිළිබද විශේෂඥ වෛද්‍ය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ (SLMNA) සභාපති, විශේෂඥ වෛද්‍ය නලින්ද හේරත් ඒ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

” ආහාර මුළු ලෝකයේම මහජන සෞඛ්‍යයට, ආර්ථික ස්ථාවර භාවයට, පරිසර තිරසර භාවයට දැඩි බලපෑමක් එල්ල කරන අභියෝගාත්මක සාධකයක්. ආහාර පිළිබඳ කතා කිරීමේදී ආහාර සුරක්ෂිතතාව, ආරක්ෂිත ආහාර සහ ආහාර නාස්තිය යන මූලික කරුණු ආහාර පද්ධතීන්ට ඍජුව බලපාන නිසා ඒ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත්.

ආහාර සුරක්ෂිතතාව

රටක ආහාර සුරක්ෂිතතාව (Food security) තිබෙනවා යැයි කිව හැක්කේ සියලුම පුරවැසියන්ට ජිවිතය නීරෝගිව පවත්වාගන යෑමට ප්‍රමාණවත්, පිරිසිදු, පෝෂ්‍යදායි සහ තමන්ගේ රුචිකත්වය අනුව ආහාර ලබා ගැනීමේ හැකියාව තිබීම යන සියලු කරුණු සම්පූර්ණ වුවහොත් පමණයි. 2023 වසරේ සංඛ්‍යාලේඛන අනුව රටේ මුළු ජනගහනයෙන් හතරෙන් එකකට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලු තිබූ බව හෙළි වී තිබෙනවා. විශේෂයෙන් අඩු ආදායම්ලාභී පවුල්වල ජනතාව වැඩි වශයෙන් මේ ගැටලුවලට ලක්වී තිබෙනවා.

අප පරිභෝජනය කරන්නේ ආරක්ෂිත ආහාරද?

අප පරිභෝජනයට ගන්නා ආහාර පිරිසුදු සහ හානිකර ද්‍රව්‍යවලින් තොර නම් එම ආහාර ආරක්ෂිත යැයි පිළිගැනෙනවා. ආහාර මඟින් බෝවන රෝග වැළැක්වීම සහ ආහාරවල ගුණාත්මකභාවය ආරක්ෂා කරන කොන්දේසි සහ භාවිතයන්, Food safety ලෙස හැඳින් වෙනවා.

විෂ රසායන, ක්ෂුද්‍ර ජීවින්, කෘමීන් ආදිය සහිත ආහාර මිනිසාට හානිකරයි. වල් නාශක, දිලීර නාශක වැනි කෘෂි රසායන සහ පොහොර භාවිත කළ යුතු නියමිත ප්‍රමාණයක් තිබෙනවා. ඒ ප්‍රමාණය ඉක්මවා ගොස් භාවිත කිරීම සුදුසු නැහැ. මේවා සම්බන්ධයෙන් පිළිගත් නිර්නායක ලෝකයේ තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය අනුබද්ධිත CODEX සංවිධානය විසින් හැම ආහාරයකටම ප්‍රමිතීන් හඳුන්වා දී තිබෙනවා. අපේ රටට ගැළපෙන ආකාරයට වෙනස් කරමින් එම ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.

HACCP කියන්නේ අමුද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රසම්පාදනය සහ හැසිරවීම, නිමි භාණ්ඩය නිෂ්පාදනය, බෙදා හැරීම සහ පරිභෝජනය දක්වා ජීව විද්‍යාත්මක, රසායනික හා භෞතික උපද්‍රව විශ්ලේෂණය සහ පාලනය කිරීම තුළින් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පරීක්ෂා කරන ජාත්‍යන්තර කළමනාකරණ පද්ධතියක්. ඒ සියල්ල නිසි ප්‍රමිතියට තිබෙනවා නම් HACCP සහතිකය හිමිවනවා. GMP සහ GAP කියන්නෙත් ආහාර නිෂ්පාදනයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ලබාදෙන ජාත්‍යන්තරව පිළිගත් සහතික දෙකක්. ඒ සියල්ල පිරිසුදු සහ ගුණාත්මක ආහාර පරිභෝජනය සඳහා පාරිභෝගිකයාට අවස්ථාව ලබා දෙන නිර්නායක.

කෘෂි රසායන මඟින් ජල මූලාශ්‍ර, එළවළු, පලතුරු සහ ධාන්‍ය යන සියල්ලටම විෂ එකතු විය හැකියි. එය මිනිසාගේ සෞඛ්‍යයට අහිතකරයි. එවැනි දේවල් වැළැක්වීමට ඉහත කී ජාත්‍යන්තර ප්‍රමිති සහතික ඉතා වැදගත් වනවා. ආහාර විෂවීම්වලට බලපාන තවත් හේතුවන් වන්නේ මස්, මාළු වැනි ආහාර ගබඩා කිරීමට ප්‍රමාණවත් තරම් ශීතකරණ පහසුකම් නොමැති වීමයි. ඒ වගේම ආහාර ගබඩා කිරීමේදී සහ ප්‍රවාහනයේදී ආහාරවලට විෂබීජ එකතු වීමත් ආහාර සැකසීමේදී සහ අලෙවි කිරීමේදී සිදු වන වැරැදි පුරුදු නිසාත් ආහාර අපිරිසුදු වීම සහ විෂබීජ එකතු වීම සිදු වනවා. ආහාර වැරැදි සම්බන්ධ නීතිරීතිවල පවතින දුර්වලතා මගහරවා ගනිමින් ආහාර පනත යාවත්කාලීන විය යුතු කාලය දැන් එළැඹ තිබෙනවා. CODEX සංවිධානය සමඟ එක්වී ආහාර පිළිබඳ ප්‍රමිතීන් සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීමත් කළ යුතුයි.

ආහාර නාස්තිය සැඟවුණු අර්බුදයක්

ආහාර නාස්තිය යනු ලොව පුරාම සැඟවුණු අර්බුදයක් ලෙස හැඳින්විය හැකිය. ලොව පුරා සියයට 30ක් පමණ ආහාර නාස්ති වන අතර ඒ ප්‍රමාණය අපේ රටේ සියයට 30-40 අතර ප්‍රතිශතයක් විය හැකියි. අනෙක් රටවලට සාපේක්ෂව අපේ රටේ ආහාර නාස්තිය වැඩියි. ගොවිපොළේ, වගා බිමේ සිට වෙළෙඳපොළ දක්වාත් පිසීමේ සිට පරිභෝජනය දක්වාත් ඒ නාස්තිය සිදු වෙනවා. අපි කළ සමීක්ෂණයක් හෙළි වුණා සියයට 40ක පමණ ආහාර නාස්තියක් සිදු වන බව. පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප මේ වන විට වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා රෝහල්වල සිදු වන ආහාර නාස්තිය වැළැක්වීම සඳහා. එහි නියමු ව්‍යාපෘතිය අප මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කරනවා.

මහජන දැනුම්වත්භාවය අත්‍යවශ්‍යයි

ආහාර සුරක්ෂිතභාවය ඇති කිරීමට, ආහාරවල ආරක්ෂාව තහවුරු කිරීමට සහ නාස්තිය වැළැක්වීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මැදිහත්වීම මෙන්ම ඒ පිළිබඳ මහජන දැනුම්වත්භාවය ද අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය නලින්ද හේරත් අවධාරණය කළේය.

“තිරසර කෘෂිකර්මය ගැන අද මුළු ලෝකයම කතා කරනවා. මොනවා හෝ කරලා අස්වනු ගන්නවා වෙනුවට කෘෂිකර්මය පිළිබඳ විශේෂඥ දැනුම, නව තාක්ෂණ ක්‍රම, ඵලදායී වාරිමාර්ග ක්‍රම ඒ සඳහා යොදාගත යුතුයි. ඒ වගේම ආහාර නිෂ්පාදනය, ගබඩා කිරීම, ප්‍රවාහනය සම්බන්ධ නීතිරීති යාවත්කාලීන කිරීම වගේම ඒවා පිළිබඳ අහඹු ලෙස පරීක්ෂා කිරීම් නිරන්තරයෙන් සිදු කළ යුතුයි. අපේ රටේ ඉතාම හොඳ මහජන සෞඛ්‍ය සේවාවක් තිබෙනවා. ”

ශ්‍රී ලංකා ජාතික රෝහලේ සාය­නික පෝෂ­ණ­වේ­දය පිළි­බද විශේ­ෂඥ වෛද්‍ය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංග­මයේ (SLMNA) සභා­පති, විශේ­ෂඥ වෛද්‍ය නලින්ද හේරත්

ශ්‍රී ලංකා ජාතික රෝහලේ සාය­නික පෝෂ­ණ­වේ­දය පිළි­බද විශේ­ෂඥ වෛද්‍ය, ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංග­මයේ (SLMNA) සභා­පති,
විශේ­ෂඥ වෛද්‍ය නලින්ද හේරත්

ආහාර නාස්තිය වළක්වා ගැනීම මෙන්ම ආහාරවල පෝෂණ ගුණය රැකෙන පරිදි ආහාර පිසීම ද වැදගත් බැවින් ඒ පිළිබඳ ගෘහිණියන් දැනුම්වත් විය යුතු කරුණු පිළිබඳ අප විශේෂඥ වෛද්‍ය නලින්ද හේරත්ගෙන් විමසුවෙමු.

ආහාරවල පෝෂණ ගුණය රැකගන්නා ආකාරය

“අමුවෙන් ආහාරයට ගත හැකි එළවළු සහ පලතුරු හැකි තරම් අමුවෙන්, සලාද ආකාරයට ආහාර ගැනීම සුදුසුයි. එසේ අමුවෙන් ආහාරයට ගන්නා එළවළු සහ පලතුරු හොඳින් සෝදා ආහාරයට ගත යුතුයි. නමුත් මස්, මාළු වර්ග බාගෙට පිස ආහාරයට ගැනීම සුදුසු නොවන අතර ඒවා හොඳින් තම්බා ආහාරයට ගත යුතුයි. ඒ වගේම ආහාර හැකි තරම් නැවුම්ව ආහාරයට ගැනීම සුදුසුයි. ශීතකරණයේ වැඩි කාලයක් ගබඩා කර තිබීමේදී ආහාරවල පෝෂණ ගුණය විනාශ වනවා. ඇතැම් ගෘහිණියන් සතියටම සෑහෙන ලෙස එළවළු කපා ශීතකරණයේ තබා ආහාර පිසීමට පුරුදුව සිටියත් එයින් එළවළුවල පෝෂණ ගුණය විනාශ විය හැකියි.

ආහාරවල මහා පෝෂක සහ ක්ෂුද්‍ර පෝෂක ලෙස දෙවර්ගයක් අඩංගුයි. මහා පෝෂක වර්ගයට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් වැනි ප්‍රධාන සංඝටකත් ක්ෂුද්‍ර පෝෂක කාණ්ඩයට විටමින් සහ ඛනිජ ලවණත් අයත් වනවා. මහා පෝෂක අතරින් කාබෝහයිඩ්‍රේට් සහ මේදය අධික ලෙස ආහාරයට ගත්තත් ප්‍රෝටීන් ආහාරයට ගැනීම ඉතා අඩුයි. ඒ වගේම ක්ෂුද්‍ර පෝෂක වන විටමින් සහ ඛණිඡ අඩංගු එළවළු සහ පලතුරු ආහාරයට ගැනීම ද අඩුයි. මේ ආහාර පිළිවෙත වෙනස් කළ යුතුයි.

වෙනස් කළ යුතු ආහාර පිඟාන

බොහෝ දෙනකු පුරුදු වී සිටින්නේ පිඟානට වැඩි පුර බත් බෙදාගෙන එළවළු ඇතුළු වෑංජන ටිකක් බෙදා ගැනීමටයි. නමුත් ඒ පිෂ්ඨය වෙනුවට ප්‍රෝටීන් සහ එළවළු පරිභෝජනය වැඩි කළ යුතුයි. සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවකට පුරුදු වීමට නම් සම්ප්‍රදායානුකූල කෑම පිඟාන වෙනස් කළ යුතුයි. විශේෂයෙන් ඔබ අධික බරැති සහ තරබාරු අයකු නම් ඔබේ ආහාර පිඟානෙන් භාගයක්ම එළවළුවලිනුත් හතරෙන් එකක් ප්‍රෝටීන්වලිනුත් පුරවා ගත යුතුයි.

ආහාර සම්බන්ධයෙන් වැදගත්ම පණිවිඩය

පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ලෙස ජනතාව අතර ස්ථුලභාවය විශාල ප්‍රශ්නයක් බවට පත්වී තිබෙන අයුරු අපට නිතර නිරීක්ෂණය වනවා. මහත්වීමත් සමඟ දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ට්‍රෝල් වැනි ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වනවා. ඒ වගේම අඩු වයසින් මරණයට පත්වීම දක්වා ඒ තත්ත්වය බරපතළ විය හැකියි. ඊට අමතරව අධික තරබාරු පුද්ගලයන්ට නින්ද නොයෑම, මානසික අසහනය ආදී ගැටලු ද මතුවීමෙන් කායික මානසික සුවතාව බිඳ වැටෙනවා. එම නිසා ලෝක ආහාර දිනය ගැන කතා කිරීමේදී තම ආහාර පිඟාන ගැන සැලකිලිමත් වන ලෙස ජනතාවට මතක් කළ යුතුයි.

සු‍රේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division