දුටුගැමුණු රජ දවස දක්වා දිවෙන ඉතිහාසයක් සහිත විහාර බිමක් අනුරාධපුරයේ, මහවැලි ‘එච්“ කලපයේ අධිරාණිගම ගම්පියසේදී දැකගත හැකිව තිබේ. එය නමින් “ෙඓතිහාසික වෙහෙරගල රජමහා විහාරස්ථානයයි”. අධිරාණිගම ගම්මානය මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ නැවත පුනර්ජීවය ලැබු ගම් පියසකි. තඹුත්තේගම නගරයේ රැජින හන්දියේ සිට එප්පාවල මාර්ගයේ කිලෝමීටර් 10ක් පමණ පැමිණි විට අධිරාණිගම ගම්මානය හමුවේ. එතැන් සිට දකුණු දෙසට ඇති අතුරු මාර්ගයේ කිලෝමීටර් 03ක් පමණ ගිය තැන්හි වෙහෙරගල පුරාණ රජමහාවිහාරස්ථානය හමුවේ. අක්කර 30 ක පමණ වපසරියකින් යුතු ගල් තලාවක් පුරා විහාර බිම විහිද පැතිර පවති.
මහවැලි එච්, කලාපය එක් පසෙකත් කටියාව ගොවි ජනපදය තවත් පසෙකත් මෙම විහාර බිමට දෙමායිම්ව පිහිටා තිබේ. විහාර බිමේ ඓතිහාසික පසුබිම පිළිබදව කරුණු පැහැදිලි කළේ වත්මන් විහාරාධිපති පූජ්‍ය මහහීල්ලේ බුද්ධවංශ හිමියන්ය.
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ පටන් පවතින එකක්
“මේ පන්සල පුරාණ රජමහා විහාරයක්. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ පටන් පවතින එකක් කියලා තමයි ජනප්‍රවාදයේ කියැවෙන්නේ. ඒ කාලේ ඉදිකෙරුණු චෛත්‍යයක නටබුන් අදටත් තියෙනවා. ගල්කණු, සිරිපතුල් තවමත් ඉතුරුවෙලා තියෙනවා. කාලෙත් එක්ක වල්වැදිලා තියෙන පන්සල ආයේ පටන් අරගෙන තියෙන්නේ මීට අවුරුදු හැත්තෑවකට විතර කලින්. ඩී.එස්. සේනානායක මහත්තයා අගමැති කාලේ මේ අධිරාණිගම ගමට මායිම් වෙලා තියෙන කටියාව ජනපදය පටන් ගත්ත කාලේ මේ පන්සලත් ආපහු පටන් අරගෙන තියෙනවා. එදා ඉඳන් මේ වෙනකම් පන්සල ගැන ලොකු අවධානයක් යොමු වුණේ නෑ.”
මෙම විහාරස්ථානයේ පුරාවිද්‍යා නටබුන් අතර ශෛලමය ප්‍රතිමා, සිරිපතුල්, ඔලිඳ පෝරු, පුරාණ සෙල්ලිපි, ගරා වැටුණු චෛත්‍ය ආදිය දැකගත හැකිව පවතී. එහෙත් මෙතෙක් මෙබිම පුරාවිද්‍යාත්මකව නිසි තක්සේරුවකට ලක් නොවීම අභාග්‍යයක් වී තිබේ. එහෙයින්ම අතීතයේ නිදන් සොරුන්ගේ දඩබිමක් බවටද මෙබිම පත්ව ඇතැයි සඳහන් වේ . දුටුගැමුණු මහ රජුගේ මෑණියන් වූ විහාර මහා දේවිය විසින් මහා සංඝරත්නය උදෙසා කඨීන චීවර පූජාව පැවැත්වූ විහාරස්ථානය ලෙසද මෙම විහාර භූමිය ජනප්‍රවාදයේ කියැවේ. මේ විහාර භුමියේ ඓතිහාසික පසුබිම පිළිබඳව කියැවෙන තවත් ජනප්‍රවාද කතාවක් ඇත.
විහාර බිමට යාව පවතින විසල් කටියාව වැව දුටුගැමුණු රජුගේ “කටී” නම් බිසවගේ නමින් නම් කොට ඇතැයි ජනප්‍රවාදයේ කියැවේ. මෙසේ නම් කළ කටී වැව පසුකාලීනව “කටියාව” නමින් ව්‍යවහාරයට පැමිණි බව පැවසේ. කටී බිසව දුටුගැමුණු රජුගේ මව වන විහාරමහා දේවිය වඩාත් ඇලුම් කළ තැනැත්තියක් බව ද ජනප්‍රවාදයේ කියැවේ. එසේම කඨින පින්කම් දිනකදී විහාරමහා දේවිය විසින් වැව සඟ සතු කොට පූජා කළ බැවින් කටියාව යන්න ව්‍යවහාරයට පැමිණි බව තවත් ජනප්‍රවාද කතාවක පැවසෙන්නකි. වෙහෙරගල රජමහා විහාර භුමිය තුළ නටබුන් වූ විහාරමහා දේවියගේ යැයි අනුමාන කෙරෙන නටබුන්ව ගිය සෙල් පිළිරුවක් අදද දැකගත හැකිව තිබේ. එහෙත් මේ කිසිවක් නිවැරදිව තහවුරු කිරීම සඳහා පුරාවිද්‍යා විශේෂඥයින්ගේ අවධානය මෙතෙක් යොමු නොවීම අභාග්‍යයක්ව පවති. වෙහෙරගල රජමහා විහාරාධිකාරි පූජ්‍ය මැදකන්දේ ඥානවංශ හිමියන් සිදු කළේ මෙවැනි ඉල්ලීමකි.
“මේ ස්ථානය කියන්න බැරි තරම් වටිනා ස්ථානයක්. මුළු විහාරෙම ගල් තලාවක් උඩ තියෙන්නේ. ලොකු ඉතිහාසයක් මේ භූමියේ හැංගිලා තියෙනවා. ඒත් තාමත් හරි විදිහට මේ ඉතිහාසය හොයාගන්න වැඩපිළිවෙළක් හැදිලා නෑ. පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ඒ කටයුත්ත කරලා දෙනවා නම් ඒක ඉතාම වටිනවා. හරි විදිහට මේ ස්ථානයේ පුරාවිද්‍යා වටිනාකම තහවුරු කරලා නැති නිසා නිදන් හොරුන්ගේ ග්‍රහණයට පත්වෙච්ච කාලෙකුත් තිබිලා තියෙනවා. මෙතැන තියෙන පෞරාණික ඉදිකිරීම් නිසි විදිහට සංරක්ෂණය කරලා දුන්නොත් මේ පළාතටම ඒක ලොකු ආලෝකයක් වෙයි. ”
විසල් කටියාව වැව
මෑතකාලීනව විහාරස්ථානය පුරා විහිද පැතිර පවතින අක්කර ගණනක ගල්තලාව උපයෝගි කොටගෙන ඉදිකිරීමට සැලසුම් වී ඇති විහාර කර්මාන්තයේ ඉදිකිරීම් අතරමඟ නැවතීමෙන් කළ ඉදිකිරීම්ද විනාශ වෙමින් තිබේ. එහිදී බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වී තෙමසක් ගතවූ කල්හි තව්තිසා දිව්‍ය ලෝකයේ වැඩ සිටින මාතෘ දිව්‍ය පුත්‍රයාට විජං පිටකය දේශනා කර යළි දඹදිව සංකස්ස පුරයට වඩින අවස්ථාව සිහියට නැෙඟන 18 රියන් සම්බුද්ධ ප්‍රතිමාව, හතර රියන් රහතුන් වහන්සේ දහස් නමකගේ ප්‍රතිමා සහ හත් රියන් දේව ප්‍රතිමා තිහක් යනාදි වශයෙන් ප්‍රතිමා 1031 කින් සමන්විත වන සේ දම්සභා මණ්ඩපය නිර්මාණය කිරීමට සැලසුම් වී තිබේ.
එහෙත් ඉදිකිරීම් කටයුතු අතරමඟ නැවතීමෙන් ඉදිකළ ප්‍රතිමා බිමට කඩාවැටී ඇත. වල්වැදී අව්, වැසි දහරින් හිරිහැරයට ලක්ව විනාශයට ඇද වැටී තිබේ. විහාරයට ප්‍රවේශවීමට ඇති මාර්ගය වළ, ගොඩැලි අතෝරක් මතුවී අබල, දුබල වීම හේතුවෙන් දුෂ්කරතා විඳීමට ගැමියන්ට සිදුව තිබේ. අධිරාණිගම, ප්‍රියංකරගම ආදි ගම් කිහිපයක් විහාරයේ දායක ගම්මාන ලෙස පවතී. මාර්ගයේ අප්‍රමාණික දුබල බව පිළිබඳව ප්‍රදේශවාසියකු වන ටී.එම්. සෙනෙවිරත්න පැවසූයේ මෙවැනි කරුණුය.
“මේ පාර නිසා පන්සලට එන මිනිස්සුත් ආපහු හැරිලා යනවා. ඉඳල හිටලා හරි දුර ඉඳලා පන්සලට එන මිනිස්සු පුදුම කරදරයක් විදින්නේ. මේ ගම්මැද්ද පාර හදලා දුන්නොත් පන්සලට විතරක් නෙමෙයි ගම්මාන කිහිපයක මිනිස්සුන්ට ලොකු ප්‍රයෝජනයක්. පන්සල දියුණු කරන්න කවුරු හරි හිතනවා නම් ඒ එක්කම මේ පාරත් හදන්ඩ ඕන.”
කටියාව ගොවි ජනපදයත්, මහවැලි නිම්නයත් සාර සොබාවෙන් වෙහෙරගල විහාර ගල් පව්ව මතට මනාව දැකගත හැකිව තිබේ. යහමින් පල බරවූ ගෙවතු ඈතින් ඈතට දිස්වේ. කෙත් වතු සාර පැහැයෙන් නෙත පිනවයි. මේ අපූර්වත්වයට මැදිවූ පුරාණ වෙහෙරගල රජමහා විහාර බිම නිහඬව ආයාචනය කරනුයේ වගකිව යුතු දෙඇස් එදෙසට යොමුවීම අවැසි බවයි.
තඹුත්තේගම විශේෂ ඩබ්ලිව්. ප්‍රදීප්