එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය(UNESCO) ශ්‍රී ලංකාව තුළ නම් කළ ලෝක උරුම ගණන 08 කි. ඒවා ස්වාභාවික හා සංස්කෘතික වශයෙන් දෙකොටසකි. ස්වාභාවික අංශයට අයත් වන්නේ මධ්‍යම කඳුකරය (ශ්‍රී පාද රක්ෂිතය, හෝටන් තැන්න රක්ෂිතය, නකල්ස් රක්ෂිතය) හා සිංහරාජ නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයයි. සංස්කෘතික අංශය නියෝජනය කරන ලෝක උරුම නගර වනුයේ. අනුරාධපුරය, පොලොන්නරුව, සීගිරිය, මහනුවර දඹුල්ල හා ගාල්ල ය. යුනෙස්කෝ සංවිධානය 450 වැනි ලෝක උරුම නගරය ලෙස මහනුවර නම්කරන ලදී. ඒ අනුව මධ්‍යම පළාත ලංකාවේ ලෝක උරුම හතරකට උරුමකම් කියයි.
යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම නගරයක් ලෙස නම් කිරීමේදී නිර්ණායක10ක් සලකා බලයි. එයින් 04 වැනි සහ 06 වැනි නිර්ණායක මහනුවර නගරයේ ලෝක උරුම නගරයක් ලෙස නම් කිරීමට හේතු කාරණා වී ඇත.
ලෝක උරුම නිර්ණායක
“මානව ඉතිහාසයේ සැලකිය යුතු කාල පරිච්ඡේදයක් විදහා දක්වන ගොඩනැඟිලි, වාස්තු විද්‍යාත්මක, තාක්ෂණික හෝ භූ දර්ශනයක කැපී පෙනෙන නිදසුනක්වීම” 04 වැනි නිර්ණායකය වේ. “සිදුවීම්, ජීවන සම්ප්‍රදායයන් සේම විශ්වාසයන් සමඟ විශ්වීය වැදගත්කමක් ඇති කලාත්මක හා සාහිත්‍යය කෘති සමඟ ඍජුව හෝ ස්පර්ශයෙන් සම්බන්ධවීම” 06 වැනි නිර්ණායකය ලෙස යුනෙස්කෝ ලෝක උරුම වෙබ් අඩවියේ සඳහන්වේ.
ලෝක උරුම මහනුවර නගරය තුළ පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකම් බහුල ගොඩනැඟිලි රාශියකි. මෙයින් නාථ දේවාල පරිශ්‍රයේ ඇති හින්දු පල්ලව සම්ප්‍රදායට අයත් ගොඩනැඟිල්ල මහනුවර නගරයේ ප්‍රථමයෙන් ඉදි කළ ඉපැරණිතම ඉදිකිරීම බව පුරාවිද්‍යාඥයෝ පවසති. ගෙඩිගේ විහාර සම්ප්‍රදායට නිමැවුණු නාථ දේවාල ගෙඩිගේ ලෙස ද හින්දු දේවාලයක මූලික සැලැස්මකට අනුව මණ්ඩපය, අන්තරාලය හා ගර්භගෘහය යන ත්‍රීමූර්තියෙන් සමන්විතව නිර්මාණය වී ඇත. තවද මෙය පොලොන්නරු ශිව දේවාලය අංක 02හි සැලැස්මට අනුව යමින් සෙල්මුවා මින් නිර්මිතය.
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රකාශිත 2019 – 2030 මහනුවර සංවර්ධන සැලැස්මෙහි සඳහන් පරිදි ලෝක උරුම ගොඩනැගිලි 450 ක් සහ පුරාවිද්‍යාත්මක ගොඩනැගිලි 104 ක් සංරක්ෂණ කටයුතු සඳහා හඳුනාගෙන ඇත. එහෙත් අද දවසේ ලෝක උරුම මහනුවර නගරය පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක වටිනාකම් ඇති සුවිශේෂී ගොඩනැගිලි නිසි සංරක්ෂණ ක්‍රමෝපායන් අක්‍රීය වීම හේතුවෙන් අභාවයට යමින් පවතී.
මේ පිළිබඳව මහනුවර පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි අයි. ඩී. ඇම් විජයබණ්ඩාර අප සමග පැවසුවේ මෙවන් අදහසකි,
“ශ්‍රී ලංකාවේ නගර අතර සුවිශේෂී ස්ථානයක් මහනුවර නගරයට තියෙනවා. ඉතිහාසයේ සුවිශේෂී සිද්ධි ගණනාවකට මුල් වූ නගරයක් හැටියට මහනුවර නගරය හැඳින්වීමට පුළුවන්. දළඳා මාලිගය, රාජකීය පරිශ්‍රය, වෙළෙඳ නගරය, සිව් මහා දේවාල, හින්දු කෝවිල්, ඉස්ලාම් හා ක්‍රිස්තියානි පල්ලි යන සර්ව ආගමික පුරාවිද්‍යාත්මක ස්මාරක බොහොමයකින් සමන්විත මහනුවර වර්ණවත් හා විවිධත්වයකින් යුතු ජීවමාන නගරයක්
ඒ වගේම සංචාරක ආකර්ෂණය දිනාගන්න පුළුවන් අතිශය වැදගත් රාජධානියක්. මේ නගරයේ තිබෙන සැකැස්ම පිරිහෙන තර්ජන ගණනාවක් අපි හඳුනාගෙන තියෙනවා. ඒ අතරින් වෙළඳ ප්‍රජාවගෙන්, රාජ්‍ය අංශයෙන් වෙනත් ආයතනික වශයෙන් හා විවිධාකාර හේතු නිසා මේ පරිසරයෙ තියෙන සංහිඳියාව බිඳෙන ආකාරයේ කටයුතු සිදුවීමේ දී ලෝක උරුම කමිටුව විසින් ලෝක උරුම ලැයිස්තුවෙන් අපිව ඉවත් කරන්න කටයුතු කරනවා. ඊට අමතරව මේ නගරය එන්න එන්නම නවීකරණය වෙනවා. පෞරාණිකත්වය ක්‍රමයෙන් අහිමිවෙනවා. සංවර්ධන කටයුතු සිදු වෙනකොට ලෝක උරුම නගරයකට ඒක තදින්ම බලපානවා.
පුරාවිද්‍යාත්මකව බැලුවොත් අපිට තියෙන නිර්ණායක පදනම් කරගෙනයි අපි මේ හැම දෙයක්ම කරන්නෙ. එක පැත්තකින් ජාත්‍යන්තර සම්මුතීන් තියෙනවා.ශ්‍රී ලංකාවේ 1940 අංක 09 දරන පුරාවස්තු ආඥා පනත සහ 1996 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනතේ තියෙන වගන්ති අනුසාරයෙන් ඒවට අනුකූලවයි අපි කටයුතු කරන්නේ.
මහනුවර නගරයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහ නගර සභාව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ලෝක උරුම කමිටුවේ යන ආයතන තියෙනවා. මේ ආයතනයේ සාකච්ඡාවෙන් සම්මුතියෙන් ගොඩනැගිලි 488 ක් ගැසට් ලේඛනයට ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතරව විශේෂ ගොඩනැගිලි 23ක් සඳහන් කරලා තියෙනවා. සමස්තයක් හැටියට 511 ක් තියෙනවා. මේ සියල්ල ආරක්ෂා කිරීමේ වගකීම ඉහත සඳහන් ආයතනවලට වගේම මහජනතාවගෙත් වගකීමක්.
ශ්‍රී ලංකාව පුරා මේ වනවිට ගණන් බලා ඇති පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක ගණන 25,00000 කට ආසන්න ප්‍රමාණයක්. රාජ්‍ය ආයතනයක් විදිහට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට විශාල කාර්යභාරයක් ඉටුකරන්න වගකීමක් තියෙනවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ මධ්‍යම රජයේ ප්‍රතිපාදන මත කටයුතු කරන ආයතනයක්. මේ සංරක්ෂණ ක්‍රියාපටිපාටි හිතුමනාපෙට කරන්න අපිට බැහැ. ඒවාට ලෝක සම්මුතීන් තියෙනවා. වැනීස් වරපත, Nara Documentation වැනි නීතිවලට අනුකූලව තමයි අපිට මේ කටයුතු කරන්න සිදුවන්නේ.“
“ගොඩනැගිල්ලක් කෞතුක භාණ්ඩයක් විදියට සංරක්ෂණය කරගන්නවද නැත්නම් එතනින් එහාට ගොස් කෞතුක භාණ්ඩයක් නොව සමාජ ප්‍රවාහයේම සන්ධිස්ථානයක් ලෙසට භාවිතා කරන්න පුළුවන්ද කියන එකට යම් සීමා පැන වෙන්න පුළුවන්. නමුත් ඕනෑම ගොඩනැගිල්ලක් කාලයක් වහලා තිබ්බම එම ගොඩනැගිල්ල ජරාජීර්ණ වෙනවා සහ එම ගොඩනැගිල්ලේ අභාවය සනිටුහන් කරන අවස්ථාවක් බවට පත්වෙනවා. ගොඩනැගිල්ලක් සංරක්ෂණය කරනවා කියන්නේ ප්‍රදර්ශන භාණ්ඩයක් විදියට තබා ගැනීමම නොවේ”. ඒ වරලත් වාස්තු විද්‍යාඥ සුමුදු අතුකෝරලය.
විවිධ බලපෑම්
“පුරාවිද්‍යාත්මක සහ අපේ උරුමයන් විදිහට සලකන ගොඩනැගිලි විදේශ රටවල විවිධ ආයතන හරහා ඒවා වර්ගීකරණය කරල නාමකරණය කරලා තියෙනවා. අප ආරක්ෂා කරගත යුතු සහ ඔවුන් විසින්ම අපට ලබා දී ඇති නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතිය යටතේ තමයි අපි කටයුතු කරන්න ඕනේ. අපි ඒ සඳහා බැඳී සිටිනවා. ලෝක උරුමයක් ලෙස සටහන් කරන අවස්ථාවේ ඉඳලා. අපේ රටේ බොහෝ විට අපිට දකින්නට ලැබෙන්නේ බොහෝමයක් පෞරාණික ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් අයිති රාජ්‍ය හා බැඳුණු ආයතන තුළයි. එහෙම බලනකොට අපිට දකින්නට ලැබෙන දේ තමයි මහනුවර නගරය ආශ්‍රිත බොහෝ ගොඩනැගිලි ඓතිහාසික පෞරාණික උරුම විදියට සමාජ හා සංස්කෘතිකමය වැදගත්කමක් තියෙන ගොඩනැගිලි. ඒවා භාවිතා වෙන්නේ නෑ. සමහර ඒවා බිම් මහල විතරක් පාවිච්චි කරනවා. ඒවායේ ගොඩක් අවකාශයක් භාවිතයට ගන්නේ නෑ. ඒවා නිවැරදිව සංරක්ෂණය කෙරෙන්නේ නෑ. එතනදි අපි බලන්න ඕනේ මොකක්ද එතන තියෙන ගැටලුව කියල. ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපේ කාර්යක්ෂමතාව.
උරුමයක් විදියට තියෙන ගොඩනැගිලි සංරක්ෂණය කර ගැනීමේ ක්‍රමවේදයකින් තොරව විනාශ වෙමින් පවතිනවා. මිනිසුන්ගේ පැමිණීම අත්හිටවූ පමණින් මතු ගොඩනැගිල්ලක් සංරක්ෂණය වෙනවාද ? නැත්නම් අපි නැවත සිතා බලන්න ඕනේ ඊට එහා ගියා වෙනත් සංරක්ෂණ වැඩපිළිවෙළක් ගැන. ලෝකයේ බොහෝ රටවල පෞරාණික ගොඩනැගිලි නැවත භාවිතා කිරීම තුළින්ම තමයි ඒවා සංරක්ෂණය වෙමින් පවතින්නේ.
තීරණ අරගන්න අපි උදාසීන නම් අපි ඒවා කොහේ හෝ තැනක ලිපිගොනුවල නතර වෙලා තියෙනවා නම් එතන ලොකු ගැටලුවක් තියනවා. ගොඩනැගිල්ලක් කියන්නේම සංස්කෘතික කාරණයක්. ගාල්ල කොටුව ඇතුළත නගරය මීට කදිම නිදසුනක්. මහනුවර යුගයේ උරුමයන් ආශ්‍රිතව ඉතාම වැදගත් ගොඩනැගිලි කලා ශිල්ප භාවිතය අපූරු විදිහට භාවිතා වූ යුගයක් විදියට හඳුනා ගන්න පුළුවන් වගේම වාස්තු විද්‍යාව හා කලා ශිල්පවල ඉතිහාසයේ අවසාන නොඉඳුල් පරිච්ඡේදයක්. එය ආරක්ෂා කිරීමට අපේ ආයතන පද්ධතිය වගේම මීට සම්බන්ධ බලධාරීන්ගේ තීරණ ගැනීම වඩා විශාල වශයෙන් වෙනස් වෙන්න අවශ්‍යයි.
ලංකා ඉතිහාසයේ පුනරුදමය යුගයක් ලෙස මහනුවර යුගය හඳුන්වන්න පුළුවන්. අපි යටත් විජිතයක් විදිහට මහනුවර යුගයේ සම්ප්‍රදායන් යම් දුරකට ආරක්ෂා වෙලා තිබුණා. පස්සෙම කාලෙකින් මහනුවර යුගය ගොඩනැගිල්ලක් යටත් විජිත බලපෑමෙන් වෙනස් වුණා වෙන්න පුළුවන්.
ආගම සහ රාජ්‍ය හා බැඳුණු ගොඩනැගිලි බොහොමයක් දළදා මාලිගය ආශ්‍රිත ගොඩනැගිලි දේවාල පල්ලි කෝවිල් භාවිතා වෙනවා. ඒ වගේ ඊට පහළ තලයන්වල විවිධ වූ වටිනාකම් සහිත ගොඩනැගිලි තියනවා. පොලොන්නරුව අනුරාධපුර යුගයන්වලදී ආගම සහ රාජ්‍ය සමඟ බැඳුණු ගොඩනැගිලි තිබුනද සාමාන්‍ය ජන ජීවිතය පිළිබඳව වාස්තු විද්‍යාත්මක සාක්ෂි ඉතා අඩුයි.”
2017 වර්ෂයේ දී සිදුකරනු ලැබූ ලෝක උරුම ගොඩනැගිලි පිළිබඳ සමීක්ෂණයකට අනුව සියයට 40ක් පමණ ගොඩනැගිලි වර්තමානය වන විට වාස්තු විද්‍යාත්මක ලක්ෂණය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවටත් 60 පමණ ගොඩනැගිලිවලින් කොටසක් පමණක් විනාශ වී ඇති බවටත් අනාවරණය කර ගන්නා ලදී.
එම ගොඩනැගිලි නිසි ප්‍රගතියෙන් යුතුව අලුත්වැඩියා කටයුතු සිදු නොකිරීම, නඩත්තු නොකිරීම, එකී ගොඩනැගිලිවල ඊට ආවේණික වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත ගුණාංග හීන වී යාම ආදී දෑ මෙම පරිහානියට හේතු පාදක වී ඇති අතර, ඇතැම් ලෝක උරුම ගොඩනැගිලිවල උඩුමහල අතහැර දැමීම, අවිධිමත් වර්ණ භාවිතය, අවිධිමත් ගොඩනැගිලි අමුද්‍රව්‍ය භාවිතය පෞරාණික නගරයකට නොගැලපෙන දැන්වීම් පුවරු භාවිතය හේතුවෙන් ලෝක උරුම නගරයෙහි අනන්‍යතාවය පරිහානියට පත්වීම තවදුරටත් සිදුවෙමින් පවතී.
නාගරික සංවර්ධනයේ ආගමනයෙන් නීල හරිත වටපිටාවකින් අනූන කඳු පන්ති සහිත සෞම්‍ය දේශගුණයෙන් සමන්විත මහනුවර නගරයේ අවට කඳු පන්තිවල ව්‍යාප්තව පවතින ගොඩනැගිලි නගර දර්ශනයට හානි ගෙන දීම, කඳු පන්තිවල පවතින නීල හරිත බවත් ක්‍රමයෙන් ක්ෂය වීම තවදුරටත් සිදුවීම වැළක්වීම අප ඓතිහාසික උරුමය අනගත පරපුරට අත්විඳීමට ඇති අයිතිය ආරක්ෂා කර ගැනීමකි.
සටහන හා ඡායාරූප : රුවන් මීගම්මන