Home » ‘විද්‍යාලය නාලන්දා’ නොවැම්බර් 1දා එළිදකී

‘විද්‍යාලය නාලන්දා’ නොවැම්බර් 1දා එළිදකී

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

කොළඹ, නාලන්දා විද්‍යාලයේ සිය වසරක ඉතිහාසය විමර්ශනය කෙරෙන ‘විද්‍යාලය නාලන්දා’ පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය නැඟෙනහිර ආණ්ඩුකාර, මහාචාර්ය ජයන්තලාල් රත්නසේකරගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 1 දා සවස 2.30 ට නාලන්දා විද්‍යාලයීය මලලසේකර රඟහලේදී පැවැත්වේ. ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රසන්න ගුණසේකර මහතා විසිනි. නාලන්දා විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුන් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.

ආදි නාලන්දීය 89 කණ්ඩායමේ ප්‍රකාශනයක් ලෙස එළිදකින මෙම පර්යේෂණ ග්‍රන්ථය රචනා කොට ඇත්තේ නිදහස් මාධ්‍යවේදියකු හා විචාරකයකු වන අජිත් ගලප්පත්ති මහතාය.

20 දශකය මුල් භාගයේ ආනන්ද විදුහලේ විදුහල්පති වු පී. ද. එස්. කුලරත්න මහතා විසින් ආරම්භ කොට පසුව ඕල්කට්තුමාගේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම වෙත පවරා දෙන ලද නාලන්දා විද්‍යාලය පිළිබඳව මෙතෙක් විමර්ශනය නොකෙරුණු ඓතිහාසික කාරණා මෙම ග්‍රන්ථයට ඇතුළත්ය.

1925.11.01 වන ඉරිදා නිවාඩු දිනයක නාලන්දා විද්‍යාලය ලියාපදිංචි කිරීමක් සිදු වුයේ කෙසේද ? නාලන්දා නමින් පාසලක් නොතිබුණු 1924 දී පැවති ආනන්ද නාලන්දා පළමු මහ ක්‍රිකට් තරගය කුමක්ද? 1907 දී මියගිය ඕල්කට්තුමා සහ නාලන්දා විද්‍යාලය අතර සම්බන්ධය කුමක්ද? නාලන්දාවේ නිර්මාතෘ වන පී. ද. එස්. කුලරත්නගේ පුරෝගාමී කාර්යභාරය හා එය අයත් වන කාල පරිච්ඡේදය වැනි මෙතෙක් අනාවරණය නොවු කාරණා පිළිබඳවද මෙම අධ්‍යයනය තුළ සොයා බැලේ.

මෙහිදී නාලන්දා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරුන් හා ජ්‍යෙෂ්ඨ ආදි සිසුන් සමඟ සාකච්ඡා පවත්වා ඔවුන් සතුව තිබුණු තොරතුරු මූලාශ්‍රද ඇසුරු කොට ඇත. නාලන්දා විද්‍යාලයේ නිර්මාතෘ පී. ද. එස්. කුලරත්න මහතා පිළිබඳව සහ නාලන්දා විද්‍යාලය අරඹමින් පුරෝගාමි මෙහෙවර ඉටු කළ ආනන්ද විදුහලේ එම ඓතිහාසික මැදිහත්වීම විමර්ශනය කිරීමේදී එහි විදුහල්පති හා ශාස්ත්‍රාලීය විද්වතුන්ගේ මැදිහත් වීමද ලබාගෙන ඇත. නාලන්ද විද්‍යාලය උපදවාලු ආනන්ද විදුහලේ මෙතෙක් පළ නොවු පැරණි ලේඛන හා ඡායාරූප පෙළක් ද මෙම ග්‍රන්ථයට ඇතුළත්ය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division