මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී පූර්ණ හෝ අර්ධ දෘශ්‍යාබාධිත හෝ යම් ශාරීරික අපහසුතාවකට පත්වූ ඡන්ද හිමියකුට ඡන්ද පොළේදී සිය ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යෑමට නීතිමය ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.
එම සහායකයා වයස අවුරුදු 18 සම්පූර්ණ වූවකු විය යුතු අතර, ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයකු නොවීම, දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක බලයලත් නියෝජිතයකු, ප්‍රාදේශීය නියෝජිතයකු හෝ ඡන්ද පොළ නියෝජිතයකු වශයෙන් කටයුතු නොකරන්නකු වීම අනිවාර්ය වේ. ඊට අමතරව කිසියම් ශාරීරික අපහසුතාවකින් ද නොපෙළෙන අයකු විය යුතුය. ඔහු තම ජාතික හැදුනුම්පත හෝ ඡන්ද පොළේදී පිළිගනු ලබන වෙනත් හැඳුනුම්පතක් රැගෙන යාම අත්‍යවශ්‍ය වේ.
2011 අංක 28 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත මඟින් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ප්‍රධාන ප්රඥප්තියේ 40 (2) උප වගන්තිය අනුව එම නීතිමය ප්‍රතිපාදන සලසා ඇති අතර, එසේ සහායකයකු කැටුව යෑමේදී පාර්ලිමේන්තු මැතිවරණ පනතේ පස්වැනි උපලේඛනයෙන් හඳුන්වා දී ඇති යෝග්‍යතා සහතිකයක් අදාළ ඡන්ද පොළෙහි නිලධාරින් වෙත ඉදිරිපත් කළ යුතුය.
මෙම යෝග්‍යතා සහතිකය ලබාගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම් පත්‍ර සහ වැඩි විස්තර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරි කාර්යාලයෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ලබගත හැකිය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්