ඔබේ දේශපාලන ගමනේ ආරම්භය ගැන පැහැදිලි කිරීමක් කළොත්?
මම දේශපාලනය ගමන ආරම්භ කරන්නෙ 1997 වසරේදී. උසස් අධ්‍යාපනයෙන් පස්සේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙනවා. ඉන්පසුව ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වෙනවා. ඉන්පසුව 2006 ඒ පක්ෂයේ ප්‍රාදේශීය සභා මැතිවරණයට බහුජන නියෝජිතයෙක් ලෙස සම්බන්ධ වෙමින් බහුජන ක්ෂේත්‍රයේ යනවා. අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛව ගොඩනැඟුණ මාලිමාවට 2019 දී සම්බන්ධ වෙලා දේශපාලනය දිගටම කරගෙන යනවා. අදවනවිට මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක් වශයෙන් ඉන්නවා.
ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන්න හම්බන්තොටින් ලැබෙන දායකත්වය කෙබඳු ද?
හම්බන්තොටින් මන්ත්‍රීවරු හතක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. හතෙන් හයක් ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවටා නියෝජනය කිරීමට හැකියාව අපිට තියෙනවා. ජනාධිපතිවරණයේ ලැබුණු ඡන්ද ප්‍රතිඵල, ජනතාව අපිත් එක්ක අත්වැල් බැඳගෙන ගම් මට්ටමේ දේශපාලනයේ වෙනස්වීම්, පරිවර්තනයන් විපක්ෂ කණ්ඩායම් තුළ ඇතිව තියෙන බෙදීම්, දුර්වලකම් මේ සියල්ල ගත් කල හම්බන්තොට දිස්ත්‍රික්කයේ හතෙන් හයක් ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරලා ශක්තිමත් පාලනයෙන් පාර්ලිමේන්තුවට හම්බන්තොටින් බලවත්ම කණ්ඩායමක් ඉදිරිපත් කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා.
ජාජ බලවේගයේ මේ අලුත් මුහුණුවලට ජනතාවගේ ප්‍රතිචාරය කොහොම වෙයි ද?
දේශපාලනයේ අවුරුදු තිහක මෙපිට ගත්තට පස්සේ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අත්දැකීම් තියෙන පරණ මුහුණු කියල කිව්වට මේ සමාජය ඇතුළේ ප්‍රතික්ෂේප වී තියෙන්නේ ඒ පරණ කණ්ඩායම් සියල්ල. අපි අලුත් මුහුණු තමයි. මේ රටේ සම්පත් විනාශ කරන්න හොරකම් කරන්න නොවෙයි අපි එන්නේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දශක දෙකකට වැඩි කාලයක් ජනතාවට සමීප වෙලා ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් අරගල කරලා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන දහදෙනාම ජනතාවට සමීප අය. ජනතා විශ්වාසය දිනා ගත්තු අය. එනිසා දිස්ත්‍රික් මට්ටමේ ජනතාව මේ නියෝජිතයන් අඳුනනවා.
ජනතාව ඉල්ලපු වෙනස මේ අලුත් කණ්ඩායමට කරන්න පුළුවන් ද?
රටේ සමස්ත සමස්ත පුරවැසියාම කඩාවැටුණු, ජරාජීර්ණ වුණ පරණ දේශපාලනය වෙනුවට පරිවර්තනීය දේශපාලනයක් හරහා මේ රට වෙනස් කරන්න හැකි කණ්ඩායමක් අතට බලය ලබා දීමට සූදානමින් ඉන්නවා. ඒ වෙනස වෙන්න ඕනෑ කියන තීන්දුව මත ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අපි ඉදිරිපත් කළ අපේක්ෂකයාට හැකි වුණා. මහමැතිවරණය සම්බන්ධයෙනුත් ජනතාව තුළ විශ්වාසයක් තිෙයනවා. ජනතාවගේ ආර්ථිකය බිඳවැටිලා මේ ප්‍රදේශවල අලි මිනිස් ගැටුම් උග්‍ර වෙලා. මේ දේවල්වලට වගකියන්න අවශ්‍ය පාලකයෝයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් කඩාවැටිලා, මේවා නිරාකරණය කරන්න මොනවද ජාජබ ආණ්ඩුවක් යටතේ සිදු කරන්නේ?
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇතුළු මේ සියලු ක්ෂේත්‍ර යම් පමණකින් කඩාවැටිලා තියෙන්නේ. ආර්ථිකයට දායකත්වයක් සපයන්නේ නැති ව්‍යවසායකයෝ විදිහට මේ දිස්ත්‍රික්කයේ ඉන්නේ. වඩු කර්මාන්තය, මැටි කර්මාන්තය, ආපනශාලා, ග්‍රාමීය කර්මාන්ත පද්ධතියම දුර්වල වෙලා තියෙන්නේ. කිසිදු සැලැස්මක් ඉදිරිපත් කළේ නෑ. ව්‍යවසායකයන් නිෂ්පාදන කර ගැනීමට අවශ්‍ය පහසුකම් ටික හැදුවේ නැහැ. ක්‍රමානුකූලව ගමේ මට්ටමේ සියලු ව්‍යාපාර බිඳ වැටෙමින් තියෙනවා. ආර්ථිකයට බද්ධ කර ගැනීමේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ හැම කෙනාටම අවශ්‍ය පහසුකම් ටික ලබාදෙමින් ආර්ථිකයට බද්ධ කර ගැනීමේ වැඩපිළිවෙළක් අපිට තියෙනවා. දශක ගණනක් කරගෙන ආපු මහා පරිමාණයේ කර්මාන්ත, ඇඟලුම් කර්මාන්ත කොටස් තුනක තිබුණේ. ඒවා කඩාවැටිලා. සමහර ඇඟලුම් කර්මාන්ත ශාලා වහලා. ග්‍රාමීය ආර්ථිකයට දායක වූ කාන්තාවන් දහය, පහළොව එකතු වෙලා ඇඟලුම් ක්ෂේත්‍රයේ නියැළෙමින් සිදුකළ ආයතන ගණනාවක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ වන විට වැහිලා.
කිසිදු ආණ්ඩුවකට මේවා ගොඩනගන්න හරි සැලැස්මක් තිබුණෙ නැහැ. වුවමනාවක් තිබුණේ නැහැ. ලොකු අර්බුදයකට ඒ පුරවැසි කණ්ඩායම් ලක්වෙලා තියෙනවා. මේ මුදාගැනීමේ වගකීමක් අපට තියෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් පළාත්වල මතුවෙලා තියෙන අලි මිනිස් ගැටුම සම්බන්ධව ජාජබ ආණ්ඩුවක් යටතේ විසඳුම් තියෙනවා ද?
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරවැසියා මුහුණ දෙන දැවැන්ත ප්‍රශ්න තියෙනවා. පාලකයෝ නිර්මාණය කරපු ගැටලු තියෙනවා.මෙය දශක දෙකක් තිස්සේ උරුම කරල දුන්න ඛේදවාචකයක්. අලි මිනිස් ගැටුම කියන්නේ අපේ රටේ මේ පාලකයන් නිර්මාණය කළ ගැටලුවක්. මෙය 1990 දශකයෙන් පස්සේ පැන නඟින ප්‍රශ්නයක්. අලි මිනිස් ගැටුම උග්‍ර වෙලා මේ ප්‍රදේශවල ජීවත් වෙන්න බැරුව තමන්ගේ සියලු සම්පත් කැප කරන්න වෙලා තියෙන්නේ. හම්බන්තොට දිස්ත්‍රික්කය ගත්තොත් මත්තල, තිස්සමහාරාමය ප්‍රදේශ අනූව දශකයට පෙර අලි මිනිස් ගැටුම් තිබුණු තැන් නොවේ. ආණ්ඩුව පරිසරය පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව පරිසරය විනාශ කරමින් අක්‍රමවත් ලෙස ව්‍යාපෘති ආරම්භ කළා.
උදාහරණයක් ලෙස හම්බන්තොටට ක්‍රීඩා පිටියක් අවශ්‍යයි. නමුත් මත්තල ක්‍රීඩාපිටිය හදන්නේ අලින්ගේ වාස භූමි විනාශ කරලා. ඒ සතුන්ගේ භූමියේ ක්‍රීඩා පිටිය සකස් කරන්නෙ. සංචරණය සඳහා විශාල භූමියක් අවශ්‍යයි. ඒවා නැති වුණාට පස්සේ ප්‍රදේශ අත්හැරලා එනවා. මිනිසුන්ගේ ගෙවල්, මිනිසුන්ගේ වගාබිම් මේ නිසා විනාශ වෙනවා. කිසිදු ආණ්ඩුවක් පැහැදිලි විසඳුම් හෙව්වේ නෑ.
මේවාට සැලසුම් ඔබේ පක්ෂයේ රජයක් යටතේ තියෙනවා ද?
අනිවාර්යයෙන් ලැබෙනවා. ජනාධිපතිවරණයේදී අවලාද, විවිධ චෝදනා එක්ක ඡන්දය නොදුන් පිරිසත් අද අප හා අත්වැල් බැඳගෙන ඉන්නවා. හැම ගමකම සිය ගණනින් මාලිමාව සමඟ අත්වැල් බැඳගෙන ඉන්නවා. මහමැතිවරණයේදී ලක්ෂ තුන ඉක්මවූ ප්‍රමාණයක් ජාතික ජන බලවේගයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට පුළුවන්.
මත්තල ගුවන් තොටුපොළ සහ හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව විශාල වියදමක් කර ගොඩනැඟුවත් අද එයින් කිසිදු ප්‍රයෝජනයක් ගන්නේ නැහැ නේද? මේ සම්පත්වලින් ප්‍රයෝජන ගන්න වැඩපිළිවෙළක් තියනවා ද?
මත්තල ගුවන්තොටුපොළ ගත්තොත්, දැන් රජය මුදල් වියදම් කරන තත්ත්වයක් බවට පත්වෙලා තියෙන්නේ. මේකේ වී ගබඩා කරන්න අපට බැහැ. වගකිවයුතු ආණ්ඩුවක් ලෙස අපි වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා, 2025 දී සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කරන්න. ලක්ෂ හතළිහක් සංචාරකයෝ ගේන්න වැඩපිළිවෙළක්. මිලියන අටක් ගෙනෙන ආර්ථිකයක්. අපි ඉතා හරි පැහැදිලිව කියනවා; කටුනායක ගුවන් තොටුපළ ප්‍රමාණවත් නැහැ. ඉක්මනින් රට ඇතුළට ඇතුළු වෙන්න පහසුකම් සලසද්දී කටුනායකට අමතර මත්තල ගුවන් තොටුපොළ භාවිත කරන්න පුළුවන්. එනිසා මත්තල ඉලක්ක කරගත් සංචාරක ව්‍යාපාරය ගොඩනඟද්දී විශේෂ වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරනවා. මත්තල ගුවන් තොටුපොළ දායක කරගෙන මේ රටේ පුරවැසියාට ආදායම් හිමිවන විදිහට රටේ සම්පත් රැකගැනීම අපේ ආණ්ඩුවේ වගකීමක් කියලා අපි දකිනවා.
ජනාධිපතිවරණයේදී ඇතැම් ප්‍රදේශවල ඡන්දය ප්‍රතිශතයක් ලෙස අඩුවක් අපි දැක්කා. ඒ ප්‍රදේශවලට අලුත් ආමන්ත්‍රණයක් විය යුතුයි. ඒ සඳහා ගෙන ඇති පියවර මොනවාද?
අපේ රටේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් කොටස් එකතු කරගැනීමට අපි කටයුතු කරනවා. අපේ ජනාධිපතිවරණයේදී මූලික සාකච්ඡාව කළේ ලාංකේය ජාතිය ගොඩනඟන්න කියලා. ඊට අවශ්‍ය මූලික අඩිතාලම අපි දාලා තියෙනවා. මුස්ලිම් සහෝදරවරු, දෙමළ සහෝදරවරු ජීවත්වන දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රමාණය සාපේක්ෂව වැඩි වුණාට අපේ ඒ අඩුපාඩුකම් මඟහරවාගෙන පුරවැසියා සමඟ බද්ධ වූ දේශපාලනයක් අපි ආරම්භ කර තිබෙනවා. බදුල්ල, නුවරඑළිය, මඩකලපුව, යාපනය හැම දිස්ත්‍රික්කයම ඒ සමාජයට වග කියන, ආදරය කරන සහෝදර සහෝදරියන් දාලා ඔවුන්ගේ ප්‍රශ්න ටික විසඳන්න විශ්වසනීය කණ්ඩායමක් සමඟ අපි මෙවර දේශපාලනය කරනවා. අපි ලාංකේය භූමිය ඇතුළේ තනි දේශපාලන පක්ෂයක් විදිහට 1977 න් පස්සේ ජන බලවේග සියල්ලේම විශ්වාසය දිනා ගත් පිරිසක්. 2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු බලය ලබා දෙනවා කියලා විශ්වාසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය නඟාසිටුවීමට ගනු ලබන පියවර සම්බන්ධයෙන් කතා කළහොත්?
හම්බන්තොට ධීවර කර්මාන්තය, සුළු අපනයන භෝග කර්මාන්තය, මෙන්ම හේන් ගොවිතැන් ඉතාම සාර්ථක ප්‍රදේශයක්. මේ දිස්ත්‍රික්කයේ පොහොසත්ම සම්පත් තියෙනවා. ධීවරයෝ මුහුණදෙන ප්‍රශ්න තියෙනවා. පසුගිය කාලයේ ධීවරයා නියෝජනය කරන මැති අැමැතිවරු පත් වුණා; ජනාධිපතිවරු පත්වුණා. හැබැයි මේ ප්‍රශ්න විසඳුණේ නැහැ.
කිරින්ද වරායට බෝට්ටුවක් දාන්න බෑ. ධීවරයාට තමන්ගේ කර්මාන්තය කරගන්න බැහැ. ධීවරයාට මුහුණදෙන්න වෙලා තියෙන ප්‍රශ්න ටික ඉලක්ක කරගෙන ජාතික ජන බලවේගයේ අපි සූදානම් කිරින්ද වරාය නවීකරණය කර ධීවරයාට ධීවර කර්මාන්තය කරන්න පුළුවන් පහසුකම් සලසන්න හැකි තැනක් බවට පත් කරන්න.
සුභද්‍රා දේශප්‍රිය