– අනාගතයේදි අපිට රන්ජන්ගේ පක්ෂ සමඟ එකතු වෙලා වැඩ කරන්න සිදු වේවි
– මාව කඩේ යවලා රම්ප කරපිංචා ගාණට ඉවත් කළා. මේ නිසා පක්ෂයේ සිටින අයට දෙවියන්ගේ පිහිටයි
– එදා බහුතර බලය ඇති පක්ෂ ආරාධනා කරද්දි මම දේශපාලන කරළියට ගියේ නැහැ
පසුගියදා ඔබ අලුත් පක්ෂයකට එක් වෙනවා. දැන් හරි තැන ද ඔබ සිටගත්තේ?
මගේ අරමුණු වෙනුවෙනුයි මම මෙතැනට ආවේ. මට කිසිම කලබලයක් නැහැ. මට ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ. පාර්ලිමේන්තු සිහිනයක් තිබුණෙත් නැහැ. ඕනෑම කලාකාරිනියකගේ ජීවිතයේ පීක් ටයිම් එකක් තියෙනවා. මම සම්මාන අරන් බැබළෙන කාලෙ මට ලේසියෙන්ම දේශපාලනයට එන්න තිබුණා. එදා සියලු පක්ෂ, බහුතර බලය ඇති පක්ෂ ආරාධනා කරද්දි මම දේශපාලන කරළියට ගියේ නැහැ. අරගලයෙන් පසුව ජනතාව වෙනුවෙන් යමක් කළ යුතු වුණා. කලාකාරිනියක් විදිහට ජනතාව වෙනුවෙන් වැඩක් කළ හැකිය යන හැඟීම මට තියෙනවා. හඬක් නැති ජනතව වෙනුවෙන් හඬක් නඟන්නට මට හැකි වුණොත් ඒ ප්‍රමාණවත්. මට වාමාංශික කඳවුරකට එකතු වෙන්න බැහැ. මගේ මතවාදය ලිබරල්වාදීයි. මගේ මතයට ඉඩක් ලැබෙන තැනක මා සිට ගත යුතුයි. අරගලයෙන් පසු සියලු දෙනාම තමන් කැමැති තැනක සිට ගත්තා. මම නිර්පාක්ෂිකව සිටියා. නිර්පාක්ෂිකව හිටියේ මේ ප්‍රධාන කඳවුරුවලින් රටට සිදුවූ අගතිය වෙනුවෙන් පෙනී සිටිය යුතු නිසා. මුදල්වලට විකිණෙන මැති ඇමැතිකම් අපි දැක්කා. මේ ක්‍රමවේද නැතිකර රටට හොඳක් කිරීම අරමුණ වුණා. ඒ අනුව මම සිට ගත්තේ සජිත් ප්‍රේමදාස සමඟයි. රනිල් වික්‍රමසිංහ සමඟ එකතු වෙන්න බැරි වුණේ ඔහු සමඟ ආර්ථික ඝාතකයන් එකතු වූ නිසායි.
ප්‍රධාන පක්ෂ ගණනාවක් තියෙද්දි ඔබ යළි තෝරා ගන්නේ ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය. ඒ ඇයි?
නැහැ, මට ප්‍රධාන ධාරාවේ පක්ෂ ගණනාවකින් ආරාධනා ලැබුණා. නම් කියන්නේ නැහැ. අලුතෙන් කරළියට ආ පක්ෂවලිනුත් ආරාධනා ලැබුණා. නමුත් මේ අලුත් කණ්ඩායමත් එක්ක මගේ ගමන මම හෙමින් යයි. නමුත් ස්ථාවර ගමනක් හදාගන්න හැකිවෙතැයි විශ්වාසයක් තියෙනවා. ඒ අදහසින් තමයි මේ පක්ෂය තෝරා ගන්නේ.
ඔබ වර්තමාන බලයට පත් පක්ෂය සමඟ එකතු වූවා නම් අද ඔබ කොතැනක සිටියි ද?
එහෙම වුණා නම් මම අද ජාතික වීරවරියක්. අනුවර්ත නාම, අපහාස, ගල් මුල් එකක්වත් මට එන්නේ නැහැ. දෛවය මාව අරගෙන යන්නේ වෙනත් ආකාරයකටයි. කෙසේ වෙතත් දැන් මම අලුත් පක්ෂයක් සමඟ ගමනක් යාමට තීන්දු කර තියෙනවා. රටක විසම්මුතික මතවාද දරන පිරිස් සිටිය යුතුයි. හැම මතවාදයකම අදහස් රටක පැවැත්මට විශාල බලපෑමක් කරනවා. රට වෙනුවෙන් සේවය කරන්න වැදගත් වන්නේ අවංක හැඟීමයි. එසේම උගතුන් කොතෙක් හිටියත් වැඩක් නැහැ, රටට වින කරනවා නම්.
ඔබට තිබුණානේ ඔබේ සහෝදර රංගන ශිල්පී රන්ජන් රාමනායක නියෝජනය කරන පක්ෂයට එකතු වෙන්න?
ඇත්තටම ආරාධනාවක් ලැබුණා. මේ මොහොතේ කෙසේ වෙතත් අනාගතයේදි අපිට එකතු වෙලා වැඩ කරන්න සිදු වේවි. දැනට අපේ පක්ෂයට කඳවුරු 14 ක් එකතු වෙලා ඉන්නවා. අපි සන්ධානයක් නිසා සියල්ල එකතු වුණොත් විශාල බලපෑමක් කරන්න හැකි වෙයි. ඇත්තම කතා කළොත් ප්‍රධාන පක්ෂ ගැන අද ජනතාවට ලොකු කලකිරීමක් තියෙනවා. ප්රජාතන්ත්රවාදය, කාන්තා අයිතීන් ගැන කතා කරන සජබය මේ අසාධාරණය කරන්නේ රටේ කාන්තාවකටයි. මට නොමිනේෂන් නොදී හිටියා නම් මම පක්ෂයත් සමඟ තරහා වෙන්නේ නැහැ. එය ඔවුන් මට දෙනවා යැයි කියූ එකක්. මේක නුදුන්නා නම් මට ස්වාධීන කණ්ඩායමකින් හෝ මට ස්වාධීන වී ඉල්ලන්න තිබුණා. ඒක මම වගේම තව ඕනෑම කෙනෙක්ගේත් අයිතිය. 11 වැනිදා නාමයෝජනා බාර දෙන වෙලාවේ නම කැපූ බව මට කියන්නේ මගේ ඒ අයිතිය මරා දමලා. කෝ පක්ෂයේ ප්රජාතන්ත්රවාදය. ප්රජාතන්ත්රවාදය කියන එකේ තේරුමවත් ක්රියාවේ නැතිනම් වැඩක් නැහැ. මීටින් 400 ක් මාස දෙකහමාරක් තුළ තිබ්බා. මේ තරම් පක්ෂය වෙනුවෙන් දර දිය ඇදපු කෙනෙක්ට එවැනි දෙයක් කරන්න තරම් ඔවුන් පහත් තැනකට වැටුණා. මට අද වූ දෙය හෙට ඔබට විය හැකියි. කාන්තා චරිතයකට එන්න ඉඩක් දෙන්නෙම නැහැ. සියලු පක්ෂ, පාට නියෝජනය කරමින් කාන්තාවට මේ ඉඩ පාර්ලිමේන්තුවේ සෑදිය යුතුයි. මිනිසුන්ට වරදින්නේ නැද්ද? ඔවුන් පොළොවට සමතලා කිරීම හොඳ ද?
ඔබ එසේ පැවසුවත් වාර්තමානයේ රටේ දෙවැනි පුටුව නියෝජනය කරන්නේ කාන්තාවක්?
හරිනි අමරසූරිය අගමැතිනිය මම ගරු කරන චරිතයක්. මාව රිමාන්ඩ් කළ අවස්ථාවේ ඇය මාව බලන්න ආවා. වසර 5ක් තුළ තම දේශපාලන ආඛ්‍යානයන් සමාජගත කර NPP කියන නව රාමුවකින් නව ලෝකයට ගැළපෙන පරිදි වැඩ කරන කෙනෙක්. එවැනි චරිතයක් අගමැති වීම විශිෂ්ට දෙයක්. මේ අවස්ථාව සියලු කාන්තාවන්ට විවර කර දිය යුතුයි. එතුමියගේ අදහස්වලට ගරු කරනවා. මගේ පාට පක්ෂ බැලුවේ නැහැ. එවැනි පෙරළිකාර චරිතවලට ගරු කරනවා. ඒ වගේම මම ඒ පක්ෂයට නොගියා කියා පසුතැවීමක් නැහැ. නමුත් ඒ මාර්ගයේ ගියා නම් ලොකු සාර්ථකත්වයකට යන්න ඉඩ තිබුණා. ජාතික වීරවරියක් බවට පත් වන්නට තිබුණා.
ඔබේ සියලු දේපළ ධනය මැතිවරණය වෙනුවෙන් වියදම් කර ගත්තා. ඔබ නීතිමය කටයුත්තකට යන බව පැවැසුවා?
මම මට තිබුණු ආවේගයට මම නීතිමය අංශයකට යන බව කිව්වා. නමුත් එතැනින් පස්සේ මම කල්පනා කළා ඒ සඳහා ගත වන කාලය ගැන. ඒ වගේම ඵලක් නැති දේකට මගේ සියලු දේ වියදම් කළා. ඒ වෙනුවෙන් මට කිසිම වටිනාකමක් තවමත් ලැබිලා නැහැ. මට දෙන සාධාරණ තීන්දුව ගැන අද වනතෙක් කතා කර නැහැ. කළුතරින් හා ගම්පහින් මට ආරාධනා කර තියෙද්දි තමයි මම හේෂාගේ ආරාධනාව පිළිගන්නේ. මම කොයි පළාතින් ඉදිරිපත් වෙනව ද කියන එක පිළිබඳව මට හැඟීමක් තිබුණේ නැහැ. එක අවස්ථාවක මහලේකම්තුමාට මම කිව්වා, පළාත ගැන මට ප්‍රශ්නයක් නැහැ, සමගි ජනබලවේගය පරාජය වන තැනක් තියෙනවා නම් මට දෙන්න කියලා. මම දිනවලා පෙන්වන්නම් කිව්වා. මම එවැනි අභියෝග ගන්න සූදානම් කෙනෙක්. මට මම ගැන විශ්වාසයක් තිබුණා. ඔවුන් මම වැනි පෙරළිකාර චරිතවලට බයයි ද කියන එක ප්‍රශ්නයක්. නමුත් ඔවුන්ගේ ඒ හැසිරීම මට අදටත් තේරුම් ගන්න බැහැ. හේෂාම අවස්ථාව දීලා, හේෂාම නොමිනේෂන් අත්සන් කරන්න එන්න කියලා, පසුවදා මම එය අත්සන් කරලා ගංගාරාමයට ගිහින් ආශීර්වාද ගෙන, 9 වැනිදා හේෂා තවත් නමක් අරගෙන එනවා. එය ගැන මම දැනුම්වත් වෙනවා, බොහෝ දෙනා විරුද්ධ වෙනවා, මම වෙනුවෙන් බහුතරයක් කතා කරනවා. අවසානයේ 10 වැනිදා රාත්‍රීයේ මගේ නම වෙනස් කරනවා. මම කතා කරද්දීත් වෙන දෙයක් කියෙනවා. පසුවදාට එන වෙලාව කියනවා. ඒ අනුව මම පසුවදා කච්චේරියට යනවා. අන්තිමේදි කියනවා මහ ලේකම්තුමා නම ටිපෙක්ස් කළා කියලා. එහෙම කරලා මාව කඩේ යවලා රම්ප කරපිංචා ගාණට ඉවත් කළා. මේ නිසා පක්ෂයේ සිටින අයට දෙවියන්ගේ පිහිටයි.
සජබයේ නායකත්වයට යටින් ක්‍රියාත්මක වන හස්තයක් ඇතැයි ඔබ විශ්වාස කරනවාද?
මටත් ඒක ප්‍රශ්නයක්. මම එතුමාට කිව්වා ඔබේ නායකත්වය ඔබ හඳුනා ගන්න කියලා. නායකත්වය යනු උත්තරයක් දෙන්න බෝලය පාස් කිරීමක් නොවන බව. නායකත්වය අතට ගන්න. ජනතාව එය බලාපොරොත්තු වෙනවා. වත්මන් ජනාධිපතිවරයා ජනාධිපති ලෙස පත්වන මොහොතේ එතුමා කෙළින්ම කියනවා, අනවශ්‍ය සැමරුම් එපා කියලා. එයයි නායකත්වය. ජාතික ජන බලවේග නායකත්වය අපි අගය කළ යුතුයි. ඒ නායකත්වය සජිත්ට කෝ? එතුමා කියන්නේ මැතිවරණය අවසන් වී මේ ගැන පරීක්ෂණයක් කරන බව. අපිට දෙන සාධාරණත්වය මොකක්ද? මම දකින්නේ හදිසි හස්ත ගණනාවක් මේ තුළ ක්‍රියාත්මක වෙනවා. මේ පක්ෂයේ ඇතුළත ඇති අර්බුදය හඳුනා ගන්න මම ප්‍රමාද වුණා. වටේ සිටින අය නායකත්වය කුඩුපට්ටම් කරන එක පව්. මොවුන්ට සජිත් ප්‍රේමදාස දිනනවද නැද්ද කියන එක වැදගත් නැහැ. එතුමාගේ පවුලේ අයට එතුමා දිනවන්න අවශ්‍ය නම් ඔවුන් ඉවත් විය යුතුයි. පවුල්වාදය නැති කරමු කියද්දි පවුලේ අය එකතු වීම නායකත්වය බාල වීමක්. බලන්න වර්තමාන නායකත්වය. එතුමා එතුමාගේ පිරිසත් සමඟ රට කරන්න ගන්නා උත්සාහය. සාධනීය දේවලට අපි ආශීර්වාද කළ යුුතුයි. රටට අයහපතක් වන දේ තියෙනවා නම් අපි විරුද්ධ විය යුතුයි. එතුමා ණය ගන්න එපා කිව්වට ප්‍රායෝගිකව එය කරන්න බැහැ. අවස්ථාව අනුව වෙනස් විය යුතුයි. කවුරු පුටුවේ සිටියත් ණය ගන්න වෙනවා.
දමිතා අබේරත්නගේ දේශපාලන ගමනේ අවසානය කොතැන ද?
රටට සේවයක් කරන්න පාර්ලිමේන්තුවේම සිටිය යුතු නැහැ. මම එදත් කරන්න පුළුවන් සේවය කළා. මම ෆේස්බුක් දාලා සමාජ සේවය කළ කෙනෙක් නෙමෙයි. දුප්පත් පාසල්වලට පොත්පත් ගිහින් දුන්නා. කෑම දුන්නා. ඒවා කළේ දමිතා අබේරත්නට ලකුණු දාගන්න නෙමෙයි. මම ඇති තරම් සමාජ සේවය කළේ අනාගතයේ රට බාර ගන්නා දරුවෝ වෙනුවෙන්. අදත් හෙටත් මම ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ ටික අදටත් කරගෙන යන්න පුළුවන් නම් ඒ අයගේ හඬ වෙන්න මම කැමැතියි.
ඡායාරූපය – නිශ්ශංක විජේරත්න
සුභාෂිණි ජයරත්න