වසර 2024 ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵල ආශ්රයෙන් නොවැම්බර් මස 14 දින පැවැත්වෙන මහමැතිවරණයේදී ඒ, ඒ පක්ෂ ලබාගත හැකිවේ යැයි සිතිය හැකි මන්ත්‍රී සංඛ්‍යාව ද මහමැතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති පක්ෂ, ස්වාධීන කණ්ඩායම්වල සංයුතිය අනුව අවසාන වශයෙන් අපේක්ෂිත ප්‍රතිඵල විග්රහ කිරීම ද මේ ලිපියේ අරමුණ වේ.
ජනාධිපතිවරණය සඳහා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ට ලැබුණු ඡන්ද 56,34,915 එම පක්ෂය ලද පිරිසුදු ඡන්දය. ඊට හේතුව ජාතික ජනබලවේගය වෙනත් කිසිදු පක්ෂයක හෝ සංවිධානයක සහාය ලබා නොගැනීමයි.
සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස ලබාගත් ඡන්ද 43,63,035 අතර ඇත්ත වශයෙන්ම එම පක්ෂයට ලද පිරිසුදු ඡන්ද ගණන සිතා ගත නොහැකිය. ඒ ඡන්ද අතර දෙමළ දේශපාලන පක්ෂවල හා මුස්ලිම් පක්ෂවල ලක්ෂ ගණනක් ඇත. සජිත් ප්‍රේමදාසට යාපනය දිස්ත්‍රික්කයෙන් ලැබූ ඡන්ද 1,21177 ද, වන්නි දිස්ත්‍රික්කයෙන් ලද ඡන්ද 95422 ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ලද ඡන්ද 1,39,110 ද, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ලද ඡන්ද 200384 ද ත්‍රිමලෙ දිස්ත්‍රික්කයෙන් ලද ඡන්ද 1,20,588 ද එකතුව මුළු ඡන්ද 6,76,681කි. මෙම ඡන්ද අතර ඇති දෙමළ පක්ෂවලට අයත් සියලුම ඡන්ද සමගි ජනබල වේගයට මහමැතිවරණයේදී ලැබෙන්නේ නැත. දිගාමඩුල්ල හා මඩකලපුව දිස්ත්‍රික්කවල සිංහල හා මුස්ලිම් ඡන්ද යම් ප්‍රමාණයක් සමගි ජනබල වේගයට ලැබිය හැකිය. මෙම ගණන් බැලීම අනුව සමගි ජනබල වේගයට ලක්ෂ 6කට ආසන්න ප්‍රමාණයක් ඉහත දිස්ත්‍රික්කවලින් නොලැබෙනු ඇත. ඒ අනුව සමගි ජනබල වේගයට අපේකෂා කළ හැකි මුළු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 38 ට ආසන්න ප්රමාණයකි.
ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිහට ද, වන්නි දිස්ත්‍රික්කයෙන් ලද ඡන්ද 52573, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ලද ඡන්ද 91132 ද, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ලද ඡන්ද 86589 ද, යාපනය දිස්ත්‍රික්කයෙන් ලද ඡන්ද 84588 ද, ත්‍රිමලය දිස්ත්‍රික්කයෙන් ලද ඡන්ද 40496 මුළු එකතුව 3,55378කි. මහමැතිවරණයේදී මෙම ඡන්ද අතර ඇති දෙමළ පක්ෂවල ඡන්ද රනිල්ගේ සන්ධානයට නොලැබෙනු ඇත.
නාමල් රාජපක්ෂ ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 342,781 සියයට ගණන 2.57 කි. දිලිත් ජයවීර තරුව ලකුණින් ඡන්ද 1,22,396 ක් ලබාගත් අතර, එය 0.92%ක ප්රතිශතයකි. ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණට හෝ දිලිත් ජයවීරට ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව නම් කුමන දිස්ත්‍රික්කයකින් වුවද මන්ත්‍රීවරයෙක් පත්කරගත නොහැකිවේ. ඔවුන්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ආසනය බැගින් හෝ ලබා ගැනීමට අවස්ථාව තිබේ.
බල ලෝභයෙන් ගිලිහුණු අවස්ථාව
අප නිදහස ලබා ගැනීමෙන් පසු පැවැති පාර්ලිමේන්තු මහමැතිවරණවලදී නාම යෝජනා අවස්ථාවල දක්නට නොලැබුණු පෙරළිකාර සිද්ධි රාශියක් ඉතිහාසයට එක්කර ඇත. මේ සියල්ල සිදුවී ඇත්තේ ජාතික ජනබල වේගයට ඉතාමත් වාසි සහගත ලෙසය. මහමැතිවරණයේදී පවා ජාතික ජනබල වේගයට යම් තරගයක් දීමට තිබූ අවස්ථාව සමගි ජනබලවේගයේ නායකයාගේ අනුවණ තීරණ නිසා ඔවුන් ඉතා පසුබෑමකට ලක්වෙනු ඇත.
සජිත් ප්‍රේමදාසට අවශ්‍ය වූයේ ජනාධිපති වීම සඳහා ඕනෑම කුණු ගොඩක් එකතු කර ගැනීමටය. මාධ්‍ය සංදර්ශන පවත්වමින් සමහර පක්ෂ හා සංවිධාන සමඟ වාර දෙකකදීම ගිවිසුම් අත්සන් කළහ. ආරංචිවල හැටියට එම ගිවිසුම්වලට ඇතුළත් වී ඇත්තේ ඔහු ජනාධිපති වුවහොත්, ඒ ඒ පක්ෂවලට ලැබෙන අමාත්‍ය, තනතුරු සහ මහමැතිවරණයේදී සන්ධාන වූ පක්ෂවලට ලැබෙන කෝටා ගැනය.
පාර්ලිමේන්තු මහමැතිවරණය පිළිබඳ එක්සත් ජන රජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක සමඟ අත්සන් කර තිබූ ගිවිසුමේ කොන්දේසි සමගි ජන සන්ධානයේ නායකයින් කඩකර තිබූ බැවින් ඔවුන් ඉවත්ව තරග නොකිරීමට තීරණය කර ඇත. පාඨලී චම්පික රණවක, සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවීමට කරට ගෙන වැඩ කළ අයෙකි.
සමගි ජන සන්ධානයේ ඊලඟ කැපිල්ල සජිත් ප්‍රේමදාස ජනාධිපති කිරීමට රටපුරා ගොස් ජනතාව ඇමතූ රංගන ශිල්පී දමිතා අබේරත්නටය. නාම යෝජනා අත්සන් කළ රාත්‍රිය දක්වා රත්නපුර නාම යෝජනා ලැයිස්තුවට ඇතුළත්ව තිබූ ඇගේ නම මධ්‍යම රාත්රියේදී ටිපෙක්ස් කර වෙනත් කාන්තාවකගේ නම ඊට ඇතුළත් කළ බවට දමිතා අබේරත්න ප්‍රකාශ කරන්නීය. ඇයගේ චෝදනාව හේෂා විතානගේටය. ඔහුගේ පිළිතුර රත්නපුරයට පිටින් කෙනකු ආනයනය නොකිරීමට තීරණය කළ බවයි. කිතුලට නැග්ග මිනිසාට ද නිදහසට හේතු තිබේ.
පාර්ලිමේන්තු මහමැතිවරණයේදී සමගි ජනබල වේගයට ලැබෙන ඡන්ද ප්‍රමාණය අඩුවීමට ඊලඟට බරපතළ කාරණය වන්නේ ගම්පහ ආසනය පිළිබඳ අජිත් මාන්නප්පෙරුම විසින් සජිත් ප්‍රේමදාස වෙත නගන ලද චෝදනාවයි. අවුරුදු 20 ක් ගම්පහ ආසනයේ සංවිධායක වශයෙන් කටයුතු කර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස ජනාධිපති කිරීමට කටයුතු කළ ඔහු ගම්පහ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර එ.ජා.ප.යෙන් පැමිණි අයකු ආසන සංවිධායක වශයෙන් පත්කිරීම අවංක නොවන බියගුලු නායකයකුගේ ක්‍රියාවක් බවට චෝදනා කරන ලදි.
මාතලේ දිස්ත්‍රික්කයෙන් ද සමගි ජනබල වේගය ප්‍රශ්න ඇතිකරගෙන තිබේ. ලිපිය දීර්ඝ වන බැවින් එම තොරතුරු නොලියමි. සමගි ජනබල වේගය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා ද ප්‍රශ්න ඇතිකරගෙන ඇති බව පෙනේ.
සමගි ජනබල වේගයට ජනාධිපතිවරණයේදී උතුරු හා නැඟෙනහිරින් ලද ඡන්ද මහමැතිවරණයේදී නොලැබේ. එම ඡන්ද දෙමළ පක්ෂ සඳහා බෙදී යයි.
පොදුජන එක්සත් පෙරමුණ ගැන නම් ලියා වැඩක් නැත. නාමල් රාජපක්ෂ පවා ජාතික ලැයිස්තුවට රිංගා ඇත්තේ කිසිදු දිස්ත්‍රික්කයකින් ඔවුනට එක් මන්ත්‍රී ධුරයක් හෝ නොලැබෙන බැවිනි. ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂට ලැබුණු මුළු ඡන්ද ප්‍රමාණයවත් මහමැතිවරණයේදී ලබාගතහොත් හාස්කමකි.
රනිල් නායකත්වය දෙන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණින් මහමැතිවරණයට ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් අතර දූෂණ චෝදනා ඇති අය ද සිටී. පරාජය දන්නා බොහෝ දෙනෙක් ජාතික ලැයිස්තුවට රිංගා ඇති අතර තවත් අය තරගයෙන් ඉවත්වී තිබේ.
අනෙකුත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම්වලට දිස්ත්‍රික්කයකින් මන්ත්‍රීවරයකු හෝ පත්කර ගැනීම ගැන සැක සහිතය. උතුර හා නැඟෙනහිර පළාත්වලින් දෙමළ මන්ත්‍රීන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට පැමිණෙන බව නම් ස්ථිරය. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු හෝ දෙදෙනකු පත්විය හැකි සුළු පක්ෂ ද ඇත.
පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ජාතික ජනබල වේගයට බහුතර බලයක් ලබා ගැනීමට බලපාන තවත් වැදගත් කරණු කීපයක් කෙටියෙන් දක්වමි.
(1) ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පුන පුනා ප්‍රකාශ කළ කරුණක් වූයේ වෙනත් අයකු ජයගතහොත් නැවත පෝලිම් යුගයක් ඇතිවන බවත්, I.M.F. ණය නොලැබී රටේ ජනතාවට දුක්විඳීමට සිදුවන බවත් විදේශීය රාජ්‍යය ආධාර නොදෙන බවත්ය. එම පුරාජේරුව පුස්සක් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක සමත්විය. පෝලිම් යුගයක් ඇති නොවින. ඩොලරය පහත වැටිණ. කොටස් මිල දිනෙන් දින වර්ධනය වෙමින් පවතී.
සුබ පැතීමට ලොව පුරා රාජ්‍ය නායකයින් පෙළ ගැසිණි. විවිධ රටවල තානාපතිවරු, මහ කොමසාරිස්වරු, ජාත්‍යන්තර සංවිධාන සිය ගණනක් පැමිණ සුබ පතා ආධාර ලබාදීමට සපථ කළහ.
(2) රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඇතුළු ගෝලබාලයින් අනුර කුමාර දිසානායක බලයට පත්වුවහොත් රටපුරා භීෂණයක් ඇතිවන බවත්, ගෙවල්, ව්‍යාපාර ගිනිබත් කරන බවත් ආදී බිය ගැන්වීම් රාජ්‍ය බලය යොදාගෙන රටපුරා මුදාහරින ලදි. රටේ නිදහස ලැබීමෙන් පසු සෑම මහමැතිවරණයකටම පසුව හා ජනාධිපතිවරණයකට පසුව පරාජිතයින් සොයා ගොස් පළිගත්හ. 1994 ජනාධිපතිවරණයෙන් තදබල ලෙස දේශපාලන පළිගැනීමට ලක්වූ අයෙකි මෙම ලිපිය ලියන මා. 1975 සිට 1981 දක්වා එක්තරා වෘත්තීය සමිතියක මා සභාපතිවරයකු වශයෙන් කටයුතු කිරීම 1994 මා පළිගැනීමට හේතුවිණ. මා රාජකාරියට වාර්තා කළ මුල් දිනයේ පොලු මුගුරු, උල් පිහි රැගත් සියයකට ආසන්න පිරිසක් මා වටකරගෙන පහරදීමට තැත් කළහ. පිටව නොගියහොත් පහර දෙන බවට තර්ජනය කළ බැවින් මම සේවා ස්ථානයෙන් පිටව ගියෙමි. 2024 ජනාධිපතිවරණයෙන් පසුව කිසිදු රජයේ සේවකයකුට හෝ ගමේ විරුද්ධව ඡන්දය දුන් අයකුට හෝ නියපිටින් පහරක් හෝ වචනයකින් හෝ සිත් රිදවීම නොකිරීමට ජාතික ජනබල වේගයේ පාක්ෂිකයින් වගබලා ගත්හ. විරුද්ධවාදීන්ගේ මුසාවන් බවට පත්වූයේ ඒ අන්දමටය.
මෙතෙක් දේශපාලන ගමන් මඟ වෙනස් කළ ඡන්දය
ජනාධිපතිවරණ සටන පැවැතියේ අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතරය. සජිත් ජයග්‍රහණය කළේ නම් ඔහු දිවුරුම් දෙන්නේ තම පියා අනුගමනය කරමින් දළදා මාලිගාවේ පත්තිරිප්පුවේ දහස් ගණන් සෙනඟ පිරිවරාගෙන ලක්ෂ ගණනක් මුදල් වැය කරමිනි. අනුර කුමාර දිසානායක දිවුරුම් දුන්නේ විනාඩි දහ පහළොවකට සීමා වූ චාම් උත්සවයකිනි. ජනාධිපති හෝ අගමැති හෝ පොලිස් ආරක්ෂාව ලබා ගත්තේ නැත. ජනාධිපති මන්දිරය පදිංචියට හෝ අරලියගහ මන්දිරය අගමැති පදිංචියට ගත්තේ නැත. ඒ දෙදෙනාම තමන් පෞද්ගලික නිවාසවල අදත් ගත කරනු ලබයි. මොන තරම් ආදර්ශයක් ද?
ඊලඟට විරුද්ධවාදීන් ජාතික ජනබල වේගයට කළ බලවත්ම චෝදනාව වූයේ බුද්ධාගමට තැන නොලැබෙන බවත්, දළදා පෙරහර පැවැත්වීමට නොදෙන බවත්ය. අනුර කුමාර දිසානායක ජනාධිපති වූ වහාම සියලුම නිකායවල මහ නාහිමිවරු දැක වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. කිසිම රාජ්‍ය නායකයකු නොකරන අන්දමට ජනපති අනුර කුමාර දිසානායක මහ නාහිමිවරු ලඟ දණින් වැටී ගරුතර සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබාගත් පොලිස් ආරක්ෂාවද ලබා නොගෙන අනුරාධපුර ජයශ්‍රී මහ බෝධිය සහ ස්වර්ණමාලී මහ චෛත්‍ය වන්දනා කිරීමට ගිය අවස්ථාවේ සිය පෞද්ගලික ආරක්ෂකයන්ගේ අවවාද නොසලකා මහජනතාව අතරට ජනාධිපතිතුමා යාම කොතරම් ආස්වාද ජනකද?
ජනාධිපතිවරණයේදී තිබූ බොහෝ පොරොන්දු, ජනතාවට දෙන සහන ලබාදීමට බාධාවක් වී ඇත්තේ මහමැතිවරණය කැඳවා ඇති අවස්ථාවක මැතිවරණ නීති උල්ලංඝනය වන බැවිනි. බාධාවක් නොමැතිව ගොවි ජනතාවට රුපියල් 25,000/=ක් වටිනා පොහොර සහනාධාරය, ධීවර ජනතාවට ඉන්ධන සහනය, විශ්‍රාම ලබා ඇති අයට රු. 3000/= දීමනාව, ඉන්ධන මිල සැලකිය යුතු අන්දමට අඩුකර බස් ගාස්තුවලට සහනයක් ලබාදීම ආදි විවිධ සහන ජනතාව වෙත ලබාදී ඇත. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය අසල අවුරුදු 20 ගණනක් වසා තිබූ පාරවල් ජනතාවට විවෘත කර දුනි.
වැළලුණු අපරාධ හතක විමර්ශන ආරම්භ කර ඇත. ඒ සඳහා ජනාධිපති විසින් දක්ෂ නිලධාරීන් පිරිසක් පත්කර තිබේ. බැඳුම්කර ගනු දෙනුව, පාස්කු ප්‍රහාරය, මාධ්‍යවේදීන් ඝාතන ඇතුළු වංචා දූෂණ සම්බන්ධ සිද්ධීන් වේ. මේ ජනාධිපතිතුමාගේ මැතිවරණ පොරොන්දු අතර ප්‍රධාන තැනක් ගත් එකකි. හිටපු මැති ඇමතිවරුන්ට දී තිබූ නිල නිවාස ආපසු ලබා ගැනීම, ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීම ඇතුළු සපයා තිබූ සියලු වරප්‍රසාද ඉවත් කරන ලදි. හිටපු ජනාධිපතිවරුන්ට සපයා තිබූ විශ්‍රාම වැටුප් ඇතුළු අනෙකුත් දීමනා ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටී.
හිටපු ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණය කැඳවා තිබියදි මැති ඇමතිවරුන්ට ද, විපක්ෂයේ දේශපාලකයන්ට ද ලබා දුන් බාර් ලයිසන් ගැන හෙළි කිරීමට ද කටයුතු කරමින් සිටී.
මේ ජනාධිපතිතුමා පත්වී දින 25ක් වැනි කෙටි කාලයක සිදුවීම්ය. මහමැතිවරණයට දින නියම කළ ඔක්තෝබර් 11 දිනට සතියක් ගතවන විට ජාතික ජනබල වේගයට ඉතා වාසිදායක සිදුවීම් රාශියක් සිදුවෙමින් පවතී. මෙයින් බරපතළ හානියක් කරගෙන ඇත්තේ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාසය. ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීමට ගිවිසුම් අත්සන් කළ වෙනත් පක්ෂ සහ සංවිධාන සමගි ජනබල වේගයෙන් ඉවත්ව විවේචනය කරමින් පසුවන්නේ එහි නායකයා ඇතිකර ගත් ගිවිසුම් කඩකළ බව කියමිනි. ඔහුගේ පක්ෂයේ නාම යෝජනා ලැයිස්තුවලට අත්සන් කළ හිටපු මන්ත්‍රීවරු සමගි ජනබල වේගයේ නායකයා බිය ගුල්ලකු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරති.
නුදුන් ඡන්ද තුනෙන් එකක් මාලිමාවට ලැබෙන ලකුණු
පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා ලබාදී ඇති සමහර පක්ෂ ජාතික ජනබල වේගයට ඡන්ද ලබාදෙන ලෙස මාධ්‍ය මගින් දන්වා සිටී.
එපමණක් නොව හිටපු මැති ඇමතිවරු ද, ප්‍රාදේශීය දේශපාලන නායකයන් ද මාලිමාවට ඡන්දය ලබාදෙන ලෙස ආයාචනා කරති. රනිල්ගේ නායකත්වය දරන ගෑස් සිලින්ඩරයේ හිටපු මැති ඇමතිවරු සීසීකඩ විසිරී ගොසිනි. කිහිපදෙනකු පරාජය දැන දේශපාලනයෙන් විශ්‍රාම ගත්හ. තවත් අය වෙනත් පක්ෂවලට රිංගා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද කෑලි කෑලිවලට කැඩී ගොසිනි.
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාරදී ඇති පක්ෂ අතර ජාතික ජනබල වේගය හැර අනෙකුත් දකුණේ පමණක් නොව උතුරු – නැඟෙනහිර දෙමළ දේශපාලන පක්ෂවල පවතින ගැටුම්වල බලපෑම මත එහි වාසිය ලබා ගැනීමට මාලිමාව උත්සාහ කරනු ඇත.
ජනාධිපතිවරණයේදී දිස්ත්‍රික්ක 15ක ජය ජාතික ජනබල වේගයට ලැබිණ. ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට ජය ගත්තේ 50%ක ප්රතිශයත ද ඉක්මවමිනි. කොළඹ 47.21%ක්ද, කළුතර 47.43%ක්ද, කුරුණෑගල 48.20%කද, අනුරාධපුර 47.37% කද ප්‍රතිශතයක් ඔවුනට ලැබිණ.
මේ සියලු දිස්ත්‍රික්ක මහමැතිවරණයේදී 50% ඉක්මවා ජය ගැනීමට අවස්ථාව තිබේ. ඉතිරි අනෙක් දිස්ත්‍රික්ක ද 50% සීමාවට ලංවෙනු ඇත. ජාතික ජනබල වේගයට ජය ගැනීමට නොහැකිවූ බදුල්ල, දිගාමඩුල්ල යන දිස්ත්‍රික්ක දෙක ද මෙවර ජාතික ජනබල වේගයට ජය ලැබෙනු ඇත.
සමගි ජනබල වේගය ජයගත්, යාපනය, වන්නි, මඩකලපුව දිස්ත්‍රික්කවල ජය දෙමළ පක්ෂවලට හිමිවේ. ත්‍රිමලය, නුවරඑළිය, දිස්ත්‍රික්ක කුමන පක්ෂයක් ජයගත්ත ද, තේරී පත් වන්නේ, දෙමළ හෝ මුස්ලිම් පක්ෂවල මන්ත්රීන්ය. ඔවුහු බොහෝ විට ඡන්දයෙන් පසු බලයට පත්වන රජයට සහාය දක්වති.
ජනාධිපතිවරණයේදී ලක්ෂ 35ක් වන ඡන්දදායකයින් ඡන්ද දීමට නොපැමිණියේය. ඊට හේතු දෙකක් ප්‍රධාන වශයෙන් දක්වමි. රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස කල්ලිය මාලිමාව ජයගතහොත් රට පුරා කළබල කෝලාහල, ලේ වැගිරීම් ඇතිවන බවට ජනතාව බිය ගැන්වීමය. දෙවැන්න සියලු දේශපාලනඥයින් පිළිබඳ විශ්වාසයක් නොමැතිකමය. මෙයින් ලක්ෂ 10ක් හෝ මෙවර ජාතික ජනබල වේගයට ඡන්දය දෙනු ඇත.
හංවැල්ලේ ඇස්. සිරිවර්ධන