Home » සජිත් අන්දන හැටි හිරුණිකා හර්ෂට කියයි

සජිත් අන්දන හැටි හිරුණිකා හර්ෂට කියයි

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

පාර්ලිමේන්තු මහමැතිවරණයට ඇත්තේ තවත් දින 18ක් පමණි. සියලූම දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් ඒ ඒ දිස්ත්‍රීක්කවල ප්‍රචාරක කටයුතුවල යෙදී සිටී.

ජනාධිපතිවරණය තරම් පාර්ලිමේන්තු මහමැතිවරණය මේ දක්වා උණුසුම්කාරී වී නොමැත. නමුත් ඉදිරි දින කිහිපය තුළදී දේශපාලන තත්ත්වයන් මීට වඩා උණුසුම්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ජනපති අනුරට ඉහළ ප්‍රතිචාරයක්

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දැඩි ලෙස රාජකාරි කටයුතුවල කාර්යය බහුල වී සිටියද වේලාව කළමනාකරණය කර ගනිමින් ජාතික ජන බලවේගයේ මහමැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවීමට ද අමතක නොකරයි.

තංගල්ලෙන් මාලිමාවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළ අතර හෝමාගම, ත්‍රිකුණාමලය, පුත්තලම, අම්පාර ඇතුළු ප්‍රදේශ කිහිපයකම පැවති ජන රැලිවලට ජනාධිපතිවරයා සහභාගී වූයේය.

ජනරැලි අවසන් වී යළි පිටත්වීමට සූදානම් වූ ජනාධිපතිවරයා වටකරගෙන ජනතාව සිය ප්‍රසාදය පළකිරීම රැස්වීම් කිහිපයකදීම දැකගත හැකිවිය.

ත්‍රිකුණාමලයේදී වයෝවෘද්ධ කාන්තාවක් තම දරුවා සිපගන්නා ආකාරයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකව වැලඳ ගත්තේ දැඩි සෙනෙහෙබරකිනි.

ඊට අමතරව තරුණ තරුණියන් ද ජනාධිපති අනුර සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීමට දැක්වූයේ මහත් උනන්දුවකි.

ජනපති කිව්ව ඉතිහාසගත කතාව

තුන් දෙනෙකුගේ මෙම ආණ්ඩුව ලෝකයේත්, ශ්‍රී ලංකාවේත් ඉතිහාසගත වන බව අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලයේදී පැවති ජන රැලියේදීය.

“ලෝකයේත්, ලංකාවේත් ඉතිහාස ගතවෙන වැඩක් තමයි, තුන් දෙනෙකුගෙන් ආණ්ඩුවක් කරන එක. නරකත් නැහැ නේද? අපට පැවරිලා තියෙන්නේ මහමැතිවරණය දක්වා මේ සංක්‍රාන්ති සමය ගෙන යන්න, ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් බිඳ වැටෙන්න දෙන්නේ නැතිව රාජ්‍ය බිඳ වැටෙන්න දෙන්නේ නැතුව. ඒ වගේම ආරක්ෂාව බිඳ වැටෙන්න දෙන්නේ නැතුව මේ කාලය මේ රට පවත්වාගෙන යාමේ වගකීම අපිට තිබෙනවා” යනුවෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මැතිවරණ මෙහෙයුමත් සමබරව

කිසිදු රාජකාරි කටයුත්තක් අතපසු නොවන ආකාරයට තුන්දෙනාගේ කැබිනට් මණ්ඩලය රාජකාරී කටයුතු සිදුකරන අතරතුර මාලිමාවේ මැතිවරණ රැලිවලට සහභාගීවීම විශේෂත්වයකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ විජිත හේරත් අමාත්‍යවරයා නිසි කළමනාකාරීත්වයක් යටතේ මෙම කටයුතු සමබරව සිදු කිරීම ද විශේෂත්වයකි.

ගම්මන්පිලගේ අභියෝගය

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පසුගියදා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට අභියෝගයක් කළේ ජනාධිපති කාර්යාලයේ තිබෙන පාස්කු ප්‍රහාර පිළිබඳ විමර්ෂණ වාර්තා හෙළිකරන ලෙසයි.

එසේත් නොමැති නම් තමා එම වාර්තා ප්‍රසිද්ධ කරන බව ගම්මන්පිල පැවසීය. ඔහු කියූ ආකාරයටම ගම්මන්පිල මාධ්‍ය හමුවක් කැඳවා විමර්ෂණ කමිටු වාර්තා දෙකක් එළියට දැම්මේය.

නම් දෙකකට විතරක් ගහන්නේ ඇයි?

මෙහිදී උදය ගම්මන්පිල එම විමර්ශන කමිටු වාර්තා උපුටා දක්වමින් නිලධාරීන් දෙදෙනෙකු ගැන පමණක් චෝදනා ඉදිරිපත් කළේය.

රවී සෙනෙවිරත්නට හා ශානි අබේසේකරට චෝදනා කරමින් උදය ගම්මන්පිල පැවසුවේ මෙම නිලධාරීන් දෙදෙනා වහාම සේවයෙන් ඉවත් කළ යුතු බවයි.

ගම්මන්පිලට හැරෙන තැපෑලෙන් විජිත පිළිතුරු දෙයි

සුපුරුදු පරිදි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පසුගිය අඟහරුවාදා පෙරවරුවේ පැවැත්වුණේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදීය.

රජයේ කැබිනට් ප්‍රකාශක විජිත හේරත් අමාත්‍යවරයාත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාත් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

මාධ්‍යවේදීන් රැසක්ම විජිත හේරත් අමාත්‍යවරයාගෙන් විමසුවේ උදය ගම්මන්පිල ඉදිරිපත් කළ චෝදනා පිළිබඳවයි.

විජිතගෙන් රත්වෙන ප්‍රහාරයක්

ගම්මන්පිල ඉදිරිපත් කළ කමිටු වාර්තා කිසිසේත්ම පිළිනොගන්නා බව පැවසූ විජිත හේරත් අමාත්‍යවරයා කියා සිටියේ එම කමිටුවේ ප්‍රධානියාට ද අදාළ සේවා කාලය තුළ බරපතළ චෝදනා එල්ල වී ඇති බවයි.

“මං මේවා කියන්න නෙමෙයි හිටියේ. නමුත් මේ කොන්ත්‍රාත්වලට කරගහන්න කලින් මේවා ගැන හිතන්න ඕනෑ” යනුවෙන් පැවසූ විජිත හේරත් කියා සිටියේ උදය ගම්මන්පිල යම්කිසි කොන්ත්‍රාත් එකකට කරගසා ඇති බවයි.

රවී සෙනෙවිරත්න හා ශානි අබේසේකර යන මහත්වරුන්ව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් කිසිදු අපරාධ චෝදනාවකට වරදකරුවන් කර නොමැති බවත්, එම නිලධාරීන් දෙදෙනා මෙම පාස්කු පරීක්ෂණ නිවැරදිව සිදුකරමින් සිටි අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මෙම නිලධාරීන් දෙදෙනා ඇතුළු පිරිසක් පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනවලින් ඉවත් කිරීමට පියවර ගත් බවද විජිත හේරත් අමාත්‍යවරයා විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදී.

සජබ කළුතර ගැටුම උග්‍ර අතට

සජබ ආසන සංවිධායකවරු උත්සවය පැවැති බත්තරමුල්ලේ මොනාච් ඉම්පීරියල් හෝටලයට පැමිණ සිටියහ. පක්ෂ නායක සජිත් ප්‍රේමදාසද පැමිණ වැඩේ කිරීමට සූදානම් වෙද්දී එහි කිසියම් පරහක් ඇති බව සියලු දෙනාට වැටහෙන්නට විය. ගැටලුවට‌ හේතුව වූයේ කළුතර දිස්ත්‍රික් නායක අජිත් පී පෙරේරා මෙන්ම කළුතර ප්‍රබලයින් වන ජගත් විතානගේ, ප්‍රසන්න අමරසේකර වැන්නන් ද රැස්වීමට පැමිණ නොසිටීමයි. මැතිවරණය ජයග්‍රහණය කරනු වස් දිස්ත්‍රික්කය පුරා ජනහමු පවත්වමින් දුවන බොහෝ සංවිධායකයන් මෙන් මොවුන්ද මේ අවස්ථාවේ කොළඹ රැස්වීමට වඩා දිස්ත්‍රික්කය තුළ කටයුතු කිරීම වැදගත් යැයි සලකා තිබිණි. කළුතර සජබ අපේක්ෂකයන් 11ක් සිටින අතර ඉන් 7ක්ම මෙදින මේ රැස්වීමේ නොසිටියේය. කෙසේ වෙතත් දිස්ත්‍රික්කයේ ප්‍රබලයින් හා නායකයා නොමැති අවස්ථාවක දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම පසුවට ගැටලු ඇතිවීමට හේතුවක් විය හැකි යැයි අත්දැකීමෙන් දන්නා ඉම්තියාස් දුරකතනයෙන් අජිත් සම්බන්ධ කරගත්තේය.

“අජිත් මේ අරුණයි ඩේවිඩුයි ඇවිත් ඉන්නවා, අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලා නැති නිසා ඔයාලා දැනුවත් කරන්නයි ගත්තේ. ඔයාලා අද මෙතැන නෑනේ. ඔයාලා ඔයාලගේ මීටින්වලනේ. මේකට ඔයාලගේ විරෝධයක් නෑනේ” යනුවෙන් ඇසීය. විරෝධයක් තිබුණත් එය නොපවසන පසුබිමක අජිත් “අනේ නෑ සර්. කිසිම ගැටලුවක් නෑ” යනුවෙන් සිනාසෙමින් පැවසීය.

හිරුණිකා හර්ෂට ළං වෙයි

මෙකී රැස්වීමට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැමිණියේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුව අමතමින් සිටින අතරතුරයි. සීරුවෙන් ශාලාවට ඇතුළු වූ හිරුණිකා පසුපසම වූ ආසනයක කිසිවකුටත් නොදැනෙන සේ අසුන් ගත්තේය. නමුත් හිරුණිකාගේ පැමිණීම සජිත් දැක්කේය. හිරුණිකා අසුන් ගත් පසු හර්ෂ ද සිල්වා ද ගොස් හිරුණිකා අසලින් අසුන් ගෙන බර කතාවකට වැටුණේය. මේ දුටු සජිත් තමන් කරමින් සිටි කතාව අතුරු පාරකට හරවමින් “මම දකිනවා මෙතැන ඉන්නවා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනිය. එතුමියත් එක්ක ඇවිත් මම කොළඹ දිස්ත්‍රික්කයේ ආසන 15 ම වෙන වෙනම සමගි වනිතා බලවේගයේ සමුළු තියෙනවා” යනුවෙන් පැවසීය. සජිත්ගේ ඒ කතාව අසා සිටි හිරුණිකා ළඟ සිටි හර්ෂට මෙන්ම වටේ සිටි අයට කීවේ “පේනවා නේද අපිව අන්දන හැටි” යනුවෙනි.

ආරුගම්බේ ගැන රනිල් කතා කරයි

පාස්කු වාර්තා යළි කරළියට පැමිණීම මෙන්ම ආරුගම්බේ සිද්ධිය නිසා දේශපාලන ලෝකය කැලඹූ සතියක් විය.

හිටපු ජනපති රනිල් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරඟ වදින අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සැලසුම් කිරීම වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කර තිබිණි. එහි ප්‍රචාරක වැඩ සැලසුම් මූලස්ථානය වන්නේ කොළඹ මල් පාරේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයයි.

” සර් ආපහු කහ ගෑස් සිලින්ඩරේ කොහේ වත් ගන්න නෑ, ඡන්දෙ කාලේ සර් කියපු කතාව මෙච්චර ඉක්මනට ඇත්තක් වේවි කියලා මම නම් හිතුවේ නෑ” හිටපු ජනපති රනිල් බ්‍රහස්පතින්දා උදේ කාර්යාලයට පිවිසෙන විටම නිලධාරියෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

” ඇයි ජනාධිපති ලේකම් කාර්යාලයේ බැලුවේ නැද්ද” රනිල් ඇඟට පතට නොදැනෙන අයුරින් කියාගෙන තම අසුන වෙත ගියේය.

අරුගම්බේ ත්‍රස්ත ප්‍රහාර අවදානම නිසා මැතිවරණ කාර්යාලයේ කතා බහත් උණුසුම් වී තිබිණි.

“අරුගම්බේ සිද්ධිය අපේ සංචාරක කර්මාන්තයටත් බලපෑමක් වේවි, “රුවන් කතාවට මුල පිරුවේය.

” මා ජනාධිපති වුණාම ඒ පළාත විශේෂ සෝදිසියකට ලක් කළා. මමත් ඒ ප්‍රදේශවලට ගියා. ඔය ප්‍රශ්නය ගැන වැඩිපුර අවධානයක් යොමු කරන්න කියලා මම දැනුම් දීලා තිබුණේ. ඊශ්‍රායලයට හමාස් සංවිධානය පහර දුන්නට පස්සේ ඒ ආරක්ෂක විධිවිධාන තවත් වැඩි කළා. “ රනිල් හෙළිදරව්වක් කරමින් කතාබහා ඇරඹීය.

වාර්තා ප්‍රසිද්ධ නොකළ හේතුව රනිල් කියයි

“රනිල් දේශපාලන පලිගැනීම් කරන්න පත් කරපු කමිටු වාර්තා පිළිගන්නේ නෑ කියලා ඇමැති විජිත කියලා තියෙනවා නේද?“ ප්‍රසන්න පැවසුවේ තවත් කතාවකට නිමිත්තක් මතුකරමිනි.

දැන් ආණ්ඩුවේ නිලතල දරන රවී සෙනවිරත්න, ශානි අබේසේකර දෙන්නාට අමතරව කී දෙනෙක්ගේ නම් අල්විස් වාර්තාවේ තිබෙනවාද? හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ සියලු නිලධාරීන්ට විරුද්ධව පියවර ගන්න කියලත් ඒකෙ තියෙනවා. දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව පියවර ගන්න කියලත් ඒ වාර්තාවේ තියෙනවා. ඔය කියන කමිටු දෙකට පත් කළ කිසිවෙකු මා පුද්ගලිකව දැන හඳුනන්නේ නෑ.

මගේ අරමුණ වුණේ රදගුරු සම්මේලනයේ ප්‍රතිචාරයත් අරගෙන බුද්ධි සේවයේ කඩා වැටීම සහ පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමයි.“ රනිල් පැවසුයේ ප්‍රසන්න ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙනි.

” දැන් ඔය ආන්දෝලනයක් වෙලා තියෙන පාස්කු වාර්තා මගේ අතට ලැබුණේ ජනාධිපතිවරණය කාලේ. නමුත් පාස්කු ප්‍රහාරය දේශපාලනයට ඈඳාගන්න මට ඕන වුණේ නෑ. ඒක නිසා මම ඒවා ප්‍රසිද්ධ කළේ නෑ. දැන් මේ ගැන රදගුරු සම්මේලනයත් ආණ්ඩුවත් අවසන් තීරණයක් ගන්න ඕන” රනිල් පැවසීය.

ජාතික ආරක්ෂාව තහවුරු කළ හැටි

ආරුගම්බේ සිදුවීම සම්බන්යෙන් විවිධ මත ප්‍රකාශ වුවද රජය පවසන්නේ වගකිව යුතු ආණ්ඩුවක් ලෙස ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියා කළ බවයි.

ආරුගම්බේ සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා ලැබුණු තැන් සිට අවශ්‍ය පරිදි ආරක්ෂක මණ්ඩලය රැස්වී ගත යුතු ක්‍රියා මාර්ග නිසි පරිදි ගත් බවත් සමාජය තුළ අනවශ්‍ය බියක් ඇති කිරීමට ක්‍රියා ‍නොකරමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බව මහජන ආරක්ෂාව භාර අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේය.

තානාපති කාර්යාලත් දැනුවත් කරයි

මේ අතර ආරුගම්බේ අවට ප්‍රදේශවල මැතිවරණයට පෙර සිටම ආරක්ෂාව තරකිරීමට කටයුතු කර තිබූ බවත් නව රජය පත්වීමෙන් පසුද ඒ ආකාරයෙන්ම එම ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රියාකළ බවත් ආරක්ෂක අංශ පවසයි.

මේ වන විට එම සිදුවීම්වලට අදාළව සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ආරක්ෂාව තහවුරු කර ඇති නිසා කිසිදු අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ආරක්ෂක අංශ මෙරට සිටින තානාපති කාර්යාල වෙත දැනුම් දුන් අතර, එම දැනුම්දීම් පිළිබඳව තානාපති කාර්යාල සැහීමකට පත්ව සිටී.

මේ වන විට ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක කටයුතු හා දෛනික ජන ජීවිතය සාමාන්‍ය පරිදි සිදු කෙරේ.

ප්‍රසන්න හා ලාන්සාගෙන් චෝදනා

නිමල් ලාන්සා වෙනදා මෙන්ම මේ දිනවලද හිමිදිරි පාන්දරම මීගමුව කාර්‍යාලයේදී විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් හමුවී ඉදිරි දේශපාලන කටයුතු ගැන සාකච්ඡා කරන අතර හවස් වරුව පුරාම දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල මැතිවරණ රැස්වීම් පවත්වමින් ඇත.

මේ සඳහා දිස්ත්‍රික්කයේ තරග වදින සෙසු අපේක්ෂකයින්ද සහභාගී කර ගැනීම විශේෂත්වයකි.

නලින් ප්‍රනාන්දු, කෝකිලා ගුණවර්ධන, ලසන්ත අලගියවන්න, මොහොමඩ් නවුෂාඩ් වැනි අයද මේ දිනවල ලාන්සා සමඟ සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යුහුසුළුව එක්වෙමින් සිටිති. ඒ සඳහා ජනතාවගේද උනන්දුවක් පවතී. පිරිසක් කෙළින්ම මේ ගැන එළිපිටම කතාකරන්නට පටන් ගැනීම එහි සිටි බොහෝ දෙනෙකු පුදුම සහගත වූහ. මේ අවස්ථාවට හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගද එක්ව සිටියේය.

” දැන් බලන්නකෝ මේ ආණ්ඩුවේ අය මේ ආර්ථිකයට මොකද කරන්නෙ කියල. ආපු ගමන් තෙල් අඩුවෙන් ගන්න , පඩිය වැඩි කරගන්න, බඩුමිල අඩුකරන්න මාලිමාවට දුන්න” ප්‍රසන්න කියාගෙන ගියේය.

” දැන් ජනතාවත් මේක තේරුම් ගන්න ඕනෑ අපි එදත් කිව්වා අනුර කුමාරට බෑ කියල. අදත් කියනවා. ඒත් මිනිස්සු මේක අහන්නෙ නෑ. මහමැතිවරණය ඉවර උනාට පස්සේ හොඳටම තේරෙයි. අපි විපක්ෂයේ කාර්‍යභාරය හොඳට කරගෙන ඉන්නවා” ලාන්සා පැහැදිලි කළේය.

“දැන් බලන්න අපේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිසා සංචාරය කර්මාන්තය විශාල ලෙස ඉහළ ගියා. ආරුගම්බේ සිද්ධිය නිසා ඒක කඩාකප්පල් වුණා. ආණ්ඩුවේ ජාතික ආරක්ෂක වැඩපිළිවෙළ ගැන හිතාගන්න පුළුවන්නෙ. අමෙරිකානු තානාපති කාර්‍යාලය නිවේදනය කරනකම්ම හිටියා, ඒ ගැන කියන්න. තව නූලෙන් තවත් පාස්කු ප්‍රහාරයක් වෙන්න තිබ්බා. තානාපති කාර්‍යාලය ඇලට් එකේ හිටිය නිසා ඒකෙන් බේරුනා. ජනතාව දැන්වත් මේ ආණ්ඩුවේ බැරිකම තේරුම් ගත්තොත් හොඳයි” ලන්සා කියාගෙන ගියේය.

ජොනී යු.කේ.ට දුන් පණිවිඩය

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය 23 දා අත්අඩංගුවට පත් විය. බී.එම්.ඩබ්ලිව්. රථයක පලහිලව්වක් ඊට හේතුව වී තිබේ. ජොනී කුරුණෑගල දිස්ත්‍රික් පොහොට්ටු කණ්ඩායමේ නායකයා වුවත් මැතිවරණ සටන පුරාම ජොනී දකින්නට ලැබුණේ නැත. බී.එම්.ඩබ්ලිව්. පලහිලව්ව හේතුවෙන් තමන් අත්අඩංගුවට ගනීවි යැයි ඇති වූ බිය ඊට හේතු වී තිබිණි. බී.එම්.ඩබ්ලිව්. රථය අත්අඩංගුවට ගත් දින සිට ජොනී අත්අඩංගුවට පත්වන තෙක් ජොනී සිට ඇත්තේ කොළඹ යැයි පැවසේ. නමුත් දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය ද හොඳින් ක්‍රියාත්මක වී තිබේ. දිස්ත්‍රික් නායක ජොනී නැතත් එසේ වුයේ කෙසේද? හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී යු‍.කේ. සුමිත් යනු ජොනීගේ සුවච කීකරු ගෝලයෙකි. යූ.කේට කුරුණෑගල තරුණයින් අතර යම් තැනක් ඇත. ජොනීට බාල්දිය පෙරළුණු දින සිට ඔහු යූ.කේ.ට පවසා ඇත්තේ “යූ.කේ. මම බහින්නේ නෑ වැඩේට. ඔයා මාවත් ගොඩ දාගෙන කැම්පේන් එක කරගෙන යන්න” යනුවෙනි.

බකට් පත්තු කරන තුරු බලා සිටින වජිර

ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගත් එක්සත් ජාතික පක්ෂ විශේෂ බලමණ්ඩල රැස්වීමක් පසුගිය සති අන්තයේදී එක්සත් ජාතික පක්ෂ සභාපති, වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණි.

මෙවර මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වන සියලු අපේක්ෂකයින් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් ආසන සංවිධායකවරු, නිලධාරීන්, පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගීව සිටියහ.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව මෙන්ම රටේ වත්මන් දේශපාලන හැසිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. ගාල්ල දිස්ත්‍රික් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයේ නායකයින් වන හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ සහ මනූෂ නානායක්කාර ඇතුළු සියලු අපේක්ෂකයින් මෙහිදී අදහස් දැක්වූ අතර ඔවුන්ගෙන් අනතුරුව අදහස් දැක්වූයේ එජාප සභාපති වජිරයි.

“අපි හැමදාමත් ප්‍රකාශ කළේ දුප්පත්කම දුප්පත්කමින් නැති කරන්න බැහැ කියලා. නමුත් අපේ රටේ ජනතාව තාමත් උත්සාහ කරන්නේ දුප්පත්කම දුප්පත්කමින් නැති කරන්න. දැන් දුප්පතාට හිතවත් කියන ජනාධිපති කෙනෙක් මේ රටේ ජනාධිපති පුටුවට පත්වෙලා තිබෙනවා. එහෙනම් ඉතින් ඡන්ද දායකයෝ නියත වශයෙන්ම දුප්පත්. ඒ්ක වරදින්නේ නැහැ.

දුප්පතාගේ හිතවතා වෙන්නේ උගතා, දුප්පතාගේ හිතවතා බුද්ධිමතා, දුප්පතාගේ හිතවතා පොහොසතා, දැන් බලන්න රට නැවත වරක් වැරදි සටන් පාඨයක් හරහා ගෙන ගිහිල්ලා, මහජනයා බලන් ඉන්නවා පොහොසත් වෙනකම්. අපි බලමු ලබන අවුරුද්දේ වෙසක් එක වෙනකම්. වෙසක් එකට අපේ රටේ මිනිස්සු බකට් පත්තු කරයිද නැද්ද කියලා.” යනුවෙන් වජිර ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division