ආදරය, ප්‍රේමය අතර සුළු සුළු වෙනස්කම් තිබුණට හිතට දැනෙන්න ගත්තාම ඒ වෙනුවෙන් දැනෙන, විඳින, විඳවන, රිදෙන තැන් එමටයි.
“මට තවමත් හිතා ගන්න බැරි එයා මගෙ හිතට කොහොම ළංවුණා ද කියලයි.“
“ඇයි එහෙම කියන්නේ?“
“නෑ … ජීවිතේ හැමදේම ඇති වෙලා එපා වෙලා මම මගේ ජීවිතේට ඔහේ යන්න දීලා තිබුණේ. එහෙම මොහොතක තමයි මට ඔහුව හමු වුණේ.
ඔහු ගුරුවරයෙක් වගේ මගේ හිත එහෙට මෙහෙට පෙරලා මගේ දුක හඳුන ගත්තා. ඒ දුකින් මිදෙන්න පිළියම් කිව්වා. ඇත්තම කිව්වොත් මම ඒ හැම එකක්ම පිළිපැද්දා. දවසින් දවස මගේ විසිරිලා තිබුණ හිත එක්තැන් වෙන්න ගත්තා. ජීවිතය අතහරිනවා කියලා හිතාගෙන, මම මටම දඬුවම් දීගෙන හිටිය ප්‍රශ්නවලින් මිදිලා ආයෙත් මම මගේ ගමන පටන් ගත්තා. ඔහු දූර ඈත ඉඳගෙන මා දිහා බලන් ඉන්න බව මට හැඟුණා. ඒ හයිය මට තදින් දැනුණා. ඒත් මටත් නොදැනීම එයා මගෙන් දුරස් වන බව දැනුණා. ඒක වුණේ කොහොමද කියන්න මම දන්නේ නැහැ. කවදාවත්ම ඈත් වෙන්නේ නෑ කියපු එයා දවසින් දවස ඈත් වන බව මට දැනුණා. ඇයි එහෙම වෙන්නේ කියලා හේතු හොයනවට වඩා ඔහුට ඉඩදීලා නිහඬ වෙන එක හොඳයි කියලා හිතුණා.
ඔහු බොහෝම හොඳ කෙනෙක්. පස්සෙන් පන්නලා ගිහින් ඇයි ගියේ කියලා හේතු අහන්න මට බැහැ. ඒත් ඒ හඬ, ඒ සිනහව, මගේ හිත ප්‍රබෝධවත් කරනවා. මගෙ දවස ගෙවෙන්නේ ඒ කටහඬ ඔස්සේ. ඒ තරමටම මම ඔහුත් එක්ක බැඳිලා.
“හොයලා බැලුවේ නැද්ද එයා ඇයි එහෙම දුරස් වුණේ කියලා?“
මම ඇගෙන් විමසීමි.
නැහැ … මුලින්ම මම උත්සාහ කළා. පස්සේ මට හිතුණා ඕන නෑ කියලා. එයා පෙන්නපු පාර දිගේ යනවා කියලා මං හිත හදාගත්තා.“ ඇය එහෙම කියලා දෙනෙත් පියා ගත්තා. ඒ ඇස් පියන් අස්සෙන් කඳුළක් වැටුණා.
“ඉතිං ඇයි අඬන්නේ…?“
නෑ මං අඬන්නේ නෑ… ඒත් කියා ගන්න බැරි තරමේ ආදරයක් තියෙනවා මගෙ හිතේ. ඒක කියන්න එයා ළඟ නෑති එක ගැනයි මගෙ හිත වද වෙන්නේ.“
“අපි යමු එයාව හොයාගෙන?“ මම යෝජනා කළා.
නෑ අපි එයාට ඉන්න දෙමු එයාගේ පාඩුවේ. ඒක එයාටයි මටයි දෙන්නටම හොඳයි.
ඒ කතාව ඉවර වුණේ එහෙම. ඒ වුණාට විටින් විට ඇසනෙ ගී නිර්මාණත් එක්ක හිත යට සැඟවිලා තියෙන මේ මතකයන් මතුවෙනවා. එහෙම මතුවෙන්න ඉඩක් දුන්නේ මෙන්න මේ ගීතය.
ගීතය ගයන්නේ ගායන ශිල්පි රවීන් කණිෂ්ක. ගීතය සංගීතවත් කරන්නේ විශාරද කරුණාරත්න විජේවර්ධන. ගීතයේ පද රචිකාවිය වන්නේ ප්‍රවීණ ගී පද රචිකා ඒ.ඩී.එස් ඉන්ද්‍රානි.
මේ දිනවල කවුරුත් ආදරය කරන “තවත් එක් වරක් වත් හැරී නොබලා යන්න“ ගීතය පිළිබඳ ඒ. ඩී.එස්. සොයුරිය පවසන්නේ මෙවන් අදහසකි.
මම මේක ලිව්වේ ප්‍රේමය විරහව කැටි වුණ ගීතයක් විදිහටම නෙමෙයි. අපි මේ සමාජයේ ජීවත් වෙනකොට විවිධ මිනිස්සුන්ට උදව් කරනවා ජීවිතයේ ඉස්සරහට යන්න. ඔවුන් අපි පෙන්වන මඟ දිගේ යනවා. මෙහෙම කෙනෙකුට යන්න පාර පෙන්නලා යම් තැනකදි නිහඬ වෙනවා. එහෙම නතර වෙන්නේ හෙම්බත් වෙලා ඇති කියලා හිතිලා. එක්කෝ ඒ ගමන දිගට යන්න බැහැ හති වැටෙනවා. මෙන්න මේක තමයි මං කිව්වේ. ඒත් ඒ ගමන නතර කළාට හිත නතර වෙන්නේ නෑ. හොරෙන් හරි හොයලා බලන්න හිතෙනවා.
“මේ ගමන තවත් නම් ඔබ එක්ක බැහැ එන්න
නැවතුමට වී මෙසේ
මට ඉන්න ඉඩ දෙන්න
මට ඉන්න ඉඩ දෙන්න“
මෙහෙම කිව්වට ඒක එහෙම නෙමෙයි. ආදරය පැත්තෙන් ගත්තම දෙදෙනෙක් ළඟින් ඉඳලා, ඒ අයටත් නොදෑනීම වෙන්වෙනවා. ඒ වෙන් වීම ස්ථිරවම ද තාවකාලිකවම ද කියන්න බැහැ. ඒත් ඔහු ඇය ගැන හොරෙන් බලනවා. ඇය යන මඟ දෙස බලනවා. ඒ වෙන්වීම වේදනාවක් වුණත් හිනෙන් ආශීර්වාද කරමින් ඇයට දිරි දෙන්න උත්සාහ කරනවා. මෙන්ම මෙහෙම පෙම්වතුනුත් මට හමුවෙලා තියෙනවා. ඒ ඔක්කෝම අත්දෑකීම් එකතු වෙලා තමයි මේ ගීතය ලියැවුණේ. රවීන් කියන්නේ අද අපට නව පරපුරේ ඉන්න හොඳ ගායන ශිල්පියෙක්. ඔහුත් මේ පද පෙළට බොහෝම කැමැති වුණා. ඒ වගේම ගී පද සංගීතවත් කළ කරුණාරත්න විජේවර්ධන ද අපූරු තනු නිර්මාණයක් කර තිබෙනවා. මා ලියූ පද සාර්ථක වෙන්න මේ දෙදෙනාගෙම සංකලනය උදව් වුණා කිව්වොත් නිවැරදියි“
ඒ.ඩී.ඒස්. පැවැසුවේ තමන් ලැබූ අත්දැකීම් හා ගීතයේ අරුත ගැනය.
තවත් එක් වරක් වත් හැරී නොබලා යන්න
එකම පියවර තබා
අපි එදා
ඇවිද ගිය මාවතේ
දැන් ඉතින් ඔබ යන්න
එක් වරක් වත් එපා
හැරී ආපසු එන්න….
මේ ගමන තවත් නම් ඔබ එක්ක බැහැ එන්න
නැවතුමට වී මෙසේ
මට ඉන්න ඉඩ දෙන්න
මට ඉන්න ඉඩ දෙන්න
මේ වෙහෙස දරන් බැහැ තවත් දුර ඇවිදින්න
ඔබට රිසි මාවතේ
දැන් ඉතින් ඔබ යන්න
දැන් ඉතින් ඔබ යන්න
ගායනය – රවීන් කණිෂ්ක
පද රචනය – ඒ. ඩී. එස්. ඉන්ද්‍රාණි
තනුව සහ සංගීතය –
විශාරද කරුණාරත්න විජේවර්ධන