– ඔෂීන්ට හඬකැවීම තමයි මගේ ජීවිතේ සුවිශේෂී සන්ධිස්ථානයක් වුණේ
– ශ්‍රී සිද්ධා කියන්නේ පනාකඩුව තඹ සන්නසේ ඓතිහාසික හෙළිදරව්වක්
පබෝදා සංදීපනී නම ඇසූ පමණින් කලා පවුලකම තොරතුරු සිතට ගලා එනවා නොඅනුමානය. සහජයෙන් ලද හැකියාවට පවුලේ සහාය ද එක්වී ඇය මෙතෙක් ආ ගමන් මඟ ඉතාම පැහැදිලිය. තම මවගේ අඩි පාරේ යමින් ගුවන්විදුලි ළමා පිටියේ ළමා ශිල්පිනියක ලෙස ඇරැඹි ගමන ඔෂීන්ගේ චරිතයට හඬකැවීමත් සමඟින් තව තවත් ඔපමට්ටම් විය. බලදේවගේ ලෝකය ටෙලි නිර්මාණයට රංගනයෙන් දායක වන විට යන්තමින් ඇය පස්වැනි වියට පාතැබුවා පමණි. මෙතෙක් ආ ගමන් මඟෙහි සුවිශේෂී සලකුණක් සටහන් කරමින් ඇය රංගනයෙන් දායක වූ ශ්‍රී සිද්ධා සිනමාපටය පසුගිය දා තිරගත වීය. එය ඇයගේ රංගනයේ වෙනස්ම පැතිකඩකි. සින්ටෝ ටෙලි නිර්මාණ ඔස්සේ මේ දිනවල ඇය පුංචි තිරයේ ද දැකගත හැකිය.
ඔබ රංගනයෙන් දායක වුණු ශ්‍රී සිද්ධා සිනමාපටය මේ දිනවල සාර්ථකව තිරගත වෙනවා. මොකද හිතෙන්නෙ?
මේ නිර්මාණයෙන් කියැවෙන්නේ පනාකඩුව තඹ සන්නසේ ඓතිහාසික අනාවරණය. ශ්‍රී සිද්ධා කියන්නේ ඓතිහාසික හෙළිදරව්වක්. අපේ රටේ ඉතිහාසයේ ඉතාම වැදගත් සොයාගැනීමක්. තිර රචනය වගේම අධ්‍යක්ෂණයත් ආචාර්ය සරත් වීරසේකරයන්ගේ. ගොඩක් අය දැනන් හිටියෙ නෑ මේ වගේ එකක් තියෙනවා කියලවත්. බුදන්නා කියල කෙනෙක් ලංකාවේ හිටිය ද කියලවත් ගොඩක් අය දන්නෙ නෑ. අදටත් ඒ තඹ සන්නස කෞතුකාගාරයේ තියෙනවා. ඕනෙම කෙනෙකුට නරඹන්න පුළුවන්. ඒ තඹ සන්නසේ තමයි මේ චරිත ගැන ලියවිලා තියෙන්නේ. ශ්‍රී සිද්ධා මේ වෙද්දි දිවයින පුරා තිරගත වෙනවා. වයස් භේදයකින් තොරව ඕනෑම අයකුට නරඹන්න පුළුවන්. අපේ රටේ ප්‍රේක්ෂකයන්ට මං ආරාධනා කරනවා මේ චිත්‍රපටය බලන්න එන්න කියලා. විශේෂයෙන්ම පාසල් දරුවන්ට මේක ගොඩක් වැදගත් වේවි.
ඔබේ චරිතය සුගලා. ඒ ගැන කතා කළොත්?
මේ සඳහා මට ආරාධනා ලැබෙන්නේ අධ්‍යක්ෂ ආචාර්ය සරත් වීරසේකරයන්ගෙන්. මගේ අම්මා ගීතාකාන්ති ජයකොඩි මෙහි රංගනයෙන් දායක වෙනවා. එතුමා අම්මට කියල තිබුණා මාවත් එක්ක එන්න කියලා. තිර පරීක්ෂණයට මුහුණ දීලා ඒකෙන් තේරිලා තමයි සුගලා කියන චරිතයට මං දායක වෙන්නේ. සුගලා මගේ රංගන ජීවිතේ වෙනස්ම පැතිකඩක් නිරූපණය කළා. මීට කලින් ගැමි චරිත රඟපාලා තිබුණත් මේ වගේ ඓතිහාසික කතාවකට සම්බන්ධ වෙලා තිබුණේ නෑ. ඒ නිසා මේක මට සුවිශේෂී අත්දැකීමක් වුණා. මුලින්ම සුගලා මේ තරම් ලියවිලා තිබුණේ නෑ. මං සම්බන්ධ වුණාට පස්සේ චරිතය ඩිවෙලොප් කරලා තවත් ලස්සන සීන් ටිකක් එකතු කරල තිබුණා. ඒක චිත්‍රපටයටත් ලොකු දෙයක් වෙලා තිබුණා. මේ චරිතය සාර්ථක කරගන්න ගොඩක් වෙහෙස වෙන්න වුණා. එතැනදි මගේ සහෝදර ශිල්පීන්ගෙන් ලොකු සහායක් ලැබුණා. ජගත් චමිල අයියා, රිටිගල සුමේධ අයියා මගේ අම්මා විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඒ වගේම අධ්‍යක්ෂවරයාගෙන් ලොකු සහායක් ලැබුණා. ඒ හැමෝගෙම සහායෙන් සුගලාට සාධාරණයක් කළා කියලා හිතනවා.
අංගම්පොර සටන් කලාව කියන්නේ මෙහි සුවිශේෂී සංධිස්ථානයක්. ඔබටත් එහි අත්දැකීම් ඇති?
අංගම්පුර සටන් කලාව තමයි මෙහි සුවිශේෂී තැනක් ගන්නේ. ඒත් මගේ චරිතයට ඒක ලොකුවට බලපෑමක් වුණේ නෑ. ඒ නිසා ලොකු පුහුණුවීමක් කරන්න ඕන වුණේ නෑ. දුෂ්කරම අත්දැකීම වුණේ කුරුණෑගල ලොකේෂන් එකට යන ගමන. ඒ පාර ගොඩක් දුෂ්කරයි. වාහනවලින් යන්න බෑ. අපි ට්‍රැක්ටර්වල නැඟලා, හිටගෙන තමයි ගියේ. ඒක ටිකක් දුෂ්කර අමතක නොවන අත්දැකීමක් වුණා. ලොකේෂන් එකට ගියාට පස්සේ හැම පහසුකමක්ම හදල තිබුණා.
පබෝදා මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා නේද?
ඔව්. මේ දවස්වල අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව අසංක සායක්කාරගේ සින්ටෝ ටෙලි නිර්මාණය පහුගිය දවස්වල ස්වර්ණවාහිනියේ විකාශය ඇරඹුණා. අපේ බිමල් අයියත් එක්ක තවත් අලුත් ටෙලි නිර්මාණයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒකෙ වැඩත් මේ දවස්වල කෙරෙනවා.
පබෝදා සංදීපනී කියන්නේ ගුවන්විදුලියේ ළමා පිටිය හරහා කලාවට දායාද වුණු තරුවක්?
මගේ පවුලම වගේ කලාවට සම්බන්ධයි. ඒ වුණත් මුලින්ම මං ගුවන්විදුලියේ ළමාපිටියේ ළමා ශිල්පිනියක් විදිහට කලාවට සම්බන්ධ වෙන්නේ ඔඩිෂන් ගිහින් ඒකෙන් තේරිලා. ඊට පස්සේ රූපවාහිනියේ හඬ කැවීම් පැත්තට සම්බන්ධ වුණා. ඔෂීන්ට හඬකැවීම තමයි මගේ ජීවිතේ සුවිශේෂී සන්ධිස්ථානයක් වුණේ. ඊට අමතරව කාටූන් සඳහා ගොඩක් දායක වෙලා තියෙනවා. රංගනය පැත්තෙන් ගත්තොත් මුලින්ම යශෝරාවය – 2 බලදේවගේ ලෝකය ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණේ ළමා නිළියක් විදිහට. ඊට පස්සේ ඒකාංගික නාට්‍ය කිහිපයකටම සම්බන්ධ වුණා. අවුරුදු 14දි තමයි ආදරය සම්බන්ධ වැඩිහිටි චරිතයකට සම්බන්ධ වුණේ. මාධවී කියන ඒකාංගික නත්තල් නාට්‍යයේ රංගනය වෙනුවෙන් සුමති ටෙලි සම්මාන උලෙළේ නැඟී එන නිළියට නිර්දේශ වුණා. මේ වෙද්දි සෑහෙන ටෙලි නාට්‍ය චිත්‍රපට සංඛ්‍යාවකට දායක වෙලා තියෙනවා. ආපහු හැරිල බලද්දි ගොඩක් සතුටු වෙන්න පුළුවන්.
ඔබට ගායන හැකියාවත් තියෙනවා නේද?
අපේ පවුලේ හැමෝටම වගේ ඒ හැකියාවත් තියෙනවා. වැඩසටහන්වලදි ගීත ගායනා කළාට මගේම කියලා ගීත නම් කරලා නෑ.
ඔබට ඉන්නෙ පුතෙක්. ඔහුත් කලාවට සම්බන්ධයි ද?
එයාට තාම අවුරුදු 11යි. එයා ගොඩක්ම කැමති සංගීතයට. එයාට හොඳට ගායනා කරන්න පුළුවන්. රංගනය පැත්තට නම් තාම කිසිම කැමැත්තක් නෑ. පස්සේ කොහොම වෙයිද කියන්න බෑ. මොකද අපේ පවුලේ බොහෝ දෙනෙක් රඟපාන්න හිතාගෙන ආපු අය නෙවෙයි. අහම්බෙන් යොමුකර ගත්ත අය. සමහර විට පුතත් පස්සේ කලාවට සම්බන්ධ වෙන්නත් ඉඩ තියෙනවා.
නාමලී ගමගේ