Home » දවසක දක්ෂ රංගන ශිල්පිනියක් වීමයි මගේ බලාපොරොත්තුව

දවසක දක්ෂ රංගන ශිල්පිනියක් වීමයි මගේ බලාපොරොත්තුව

නෙත්යා ගල්අංග

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

– ඩිරෙක්ටර් මාමා ඒ. ඩී. මාමා මට කතා කෙරුවේ ටොක්කී කියලා
– ෂූටින්වලට ගියාම අතපසු වෙන පාඩම් ටීචර්ලා කියලා දෙනවා

ඕනෑම ක්ෂේත්‍රයකට අනාගත පරපුරක් සිටීම අනිවාර්යය කරුණක්. කලා ලෝකයටද මේ කරුණ පොදු වන අතර දක්ෂ කලාකරුවන් බිහි වීමෙන් උසස් කලාවක් නිර්මාණය කර ගත හැකියි. රංගන කලාවේ අනාගත පරපුර නියෝජනය කරන්නට වැව් බැඳි රාජ්‍යයෙන් විකසිත වන මල් කැකුළක් වියළි ටෙලිනාට්‍යයෙන් අපට හමු වුණා. ඇය නෙත්යා ගල්අංග. මේ හැඩකාර මල් කැකුළ අපට හමුවන්නේ වියළි ටෙලිනාට්‍යයේදී චතුරිගේ චරිතයෙන්.

වියළි ටෙලි නාට්‍යයේ චතුරි සැබෑ ජීවිතෙත් ඔයා කටකාර, දඟකාර ගෑනු ළමයෙක්ද ?

ඔව්; මම ඇත්තටම චතුරි වගේ කටකාර, දඟකාර ගෑනු ළමයෙක්. ඒ නිසා මේ චරිතය මගේ ඇත්ත ජීවිතයට ගොඩක් කිට්ටුයි.

මේ කටකාර, දඟකාර ගෑනු ළමයා ඉගෙන ගන්න පාසල කොහේද?

තඹුත්තේගම මහා විද්‍යාලයේ හත ශ්‍රේණියේ තමයි මම ඉගෙන ගන්නේ.

කොළඹින් ගොඩක් දුර බැහැර ප්‍රදේශයක ඉඳන් කලා කටයුතුවලට එන එක ඔයාට අභියෝගයක් වුණේ නැද්ද ?

ඇත්තටම ඒක හරි අමාරු ගමනක්. ඒත් මම හරිම ආසයි රඟපාන්න. ඒ ආසාව නිසාම ඒ අමාරුකම් මම දරාගන්නවා.

වියළි කියන්නේ ඔයා සම්බන්ධ රඟපාන පළමුවෙනි ටෙලිනාට්‍ය. කොහොමද ඉස්කෝල යාළුවන්ගෙන්, ගුරුවරුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳ ප්‍රතිචාර මම කරන චරිතයට ලැබෙනවා. ඒ වගේම ෂූටින්වලට ගියාම අතපසු වෙන පාඩම් ටීචර්ලා කියලා දෙනවා. යාළුවොත් මට ගොඩක් උදව් කරනවා.

මේ ටෙලිනාට්‍ය රූගත කරනකොට මුහුණ දුන්න අමතක නොවෙන සිද්ධි එහෙමත් ඇති නේද?

ඔව්… මට හොඳටම මතකයි එක දර්ශනයකදී අම්මා මට ටොක්කක් අනින කොටසක් තියෙනවා. එතැනින් පස්සේ ඩිරෙක්ට මාමා, ඒ. ඩී. මාමා එහෙම මට කතා කෙරුවේ ටොක්කී කියලා.

ඔයාගේ පවුලේ විස්තර ගැනත් කියන්නකො?

මගේ අප්පච්චි රොෂාන් දිනේෂ්, අම්මා ඔසිතා ලක්මාලි. මේ ගමනෙදි ගොඩක්ම අම්මා මගේ පිටිපස්සෙන් ඉඳන් කලා කටයුතුවලට හොඳ සහයෝගයක් ලබා දෙනවා. මම පවුලේ එකම දරුවා.

ඔයා රංගනයට අමතරව කැමති තවත් දේවල් මොනවද ?

මම නර්තනයට ගොඩක් ආසයි. ඒ හින්දා මම උඩරට, බටහිර නර්තනයත් හදාරනවා. සංගීතය පැත්තෙනුත් මට හොඳ හැකියාවක් තියෙනවා. ක්‍රීඩාවක් විදියට ස්කේටින් කරනවා.

ආයේ අලුත් නිර්මාණවලට ඔයාට ආරාධනා ලැබුණද ?

බුද්ධික ලොකුකැටිය මාමාගේ ටෙලි නාට්‍ය දෙකකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ එක ටෙලි නාට්‍යයක ෂූටින් මේ දවස්වල කරගෙන යනවා. අනික් ටෙලි නාට්‍යයේ ෂූටින් ලබන මාසේ පටන් ගන්නවා.

අපි ආයෙ වියළි ටෙලි නාට්‍යය ගැන කතා කරමු. කොහොමද නෙත්යට අනික් නැන්දලා මාමලාගෙන් ලැබුණු සහයෝගය ?

ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. මේ නාට්‍යයේ අධ්‍යක්ෂක චන්දන ඉරුගල්බණ්ඩාර මාමා ආදරෙන් මගෙ රඟපෑමේ තිබූ අඩුපාඩු හැදුවා. ඒ වගේම ඒ. ඩී. මාමාත් නිතරම විහිළු තහළු කරලා මාව දිරිමත් කෙරුවා. මුළු කණ්ඩායමම මට ගොඩක් හොඳ සහයොගයක් දුන්නා.

අනාගතේ ඔයා කවුරු වෙන්නද බලාපොරොත්තුව ?

මගේ බලාපොරොත්තුව තමයි රංගනය හොඳට හදාරලා දක්ෂ රංගන ශිල්පිනියක් වීම. දැනටත් මම පාසලේ විෂයයක් විදියට නාට්‍ය හා රංග කලාව හදාරනවා.

ස්තූති කරන්නත් පිරිසක් ඇති නේද ?

මම විශේෂයෙන්ම ස්තූති කරන්න ඕන වියළි ටෙලි නාට්‍යයට මාව සම්බන්ධ කරපු සමන්ත කුමාර ගමගේ මාමාටත්, අධ්‍යක්ෂක චන්දන ඉරුගල්බණ්ඩාර මාමාටත්. ඒ වගේම නිලූකා රේඛානි නැන්දවත් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.

කුමුදිකා ඩී. සපුතන්ත්‍රි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division