– ඔහු වෙනුවෙන් කාට හෝ උදව් කරන්න පුළුවන්නම් එයත් ලොකු දෙයක්
– ඉන්න තියෙන ගෙයත් දැන් හරි අබලන්
අතිශය ජනප්‍රිය ගුවන්විදුලි නාට්‍යයක් වූ “මුවන්පැළැස්ස” අපගේ මතකයේ අදටත් පවතී. එහි වූ “කදිරා” නම් චරිතය බොහොම හිතුවක්කාර, කිපෙන සුළු, එහෙත් කාරුණික බවක් ද ගැබ් වූ අයෙකි. ඒ හඬ කෑ මොර දෙද්දී අසා සිටින අපගේ ද සිත ද තිගැස්සේ. එතරම් සාධාරණයක් විවිධ හැඩරුව ගත් කදිරාගේ චරිතයට ඉටු කළේ ගුවන්විදුලිය, වේදිකාව, සිනමාව, ටෙලි නාට්‍ය යන කලාවන් එක සේ ජය ගත් නීල් අලස්ය. පුංචි තිරයේ බොහෝ කලක් විකාශය වුණු “දූ දරුවෝ” නාට්‍යයේ සුමනදාස වූයේ නීල් අලස්ය. වීණා ජයකොඩි රඟපෑවේ එහි සුදර්මාගේ චරිතයයි. ඇය තරමක කිපෙන සුළු තැනැත්තියකි. එහෙත් ඇයගේ ස්වාමිපුරුෂයා ලෙස එහි රඟපෑ සුමනදාස නැතහොත් නීල් අලස් ඇය සේ දඩබ්බර කලබල ගති ඇති අයෙකු නොවේ. එසේම රූපවාහිනිය ඔස්සේ විකාශය වූ බුමුතුරුණු, ගම්පෙරළිය, බෝගල සවුන්දිරිස්, ගජමන් නෝනා වැනි ටෙලි නාට්‍ය ගණනාවක ඔහු විශිෂ්ට ලෙස රංගනයේ යෙදුණේය. සම්මානනීය මෙන්ම ජනප්‍රිය වේදිකා නාට්‍යයක් වූ “කැලණි පාලම” හි ‘චුට්ටේ’ ගේ චරිතය ඒ සියල්ලට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. එසේ ම “ආඬි රැලේ නාඩගම” නාට්‍යයේ ‘මැක්හීත්’ සහ “ධවල භීෂණ” නාට්‍යයේ ‘ශෝන්’ ලෙස නීල් අලස් කළ රංගනයන් අතිශය ප්‍රේක්ෂක ප්‍රසාදයට පාත්‍ර විය. සිනමාවේ දී ද නීල් අලස්ගේ රංග ප්‍රතිභාව මොනවට ඉස්මතු විය. සොල්දාදු උන්නැහේ, මධුසමය, බිත්ති හතර, සහරාවේ සිහිනය, කෙළිමඬල, ක්‍රිස්තු චරිතය, මාරුතය, භවදුක, යසෝමා, භව කර්ම, අබා වැනි චිත්‍රපටවලදී ඔහු සිය රංග ප්‍රතිභාව හුවා දැක්වූයේ ය.
ගුවන්විදුලිය, වේදිකාව, ටෙලි නාට්‍ය, සිනමාව යන කලා ක්ෂේත්‍රයන්හි විශිෂ්ට රංගනයක යෙදුණු ප්‍රවීණ කලා ශිල්පී නීල් අලස් නම් ඔහුගේ කලා දිවිය ඇගයීමේ උලෙළක් පසුගිය 25 වැනිදා සිංහල සංස්කෘතික ආයතනයේ සුදර්ශි ශාලාවේ දී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. එම උලෙළට සමගාමීව ඔහු රංගනයෙන් දායක වූ මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ
“සතර පෙර නිමිති” චිත්‍රපටය, ධර්ම ශ්‍රී කල්දේරා අධ්‍යක්ෂණය කළ
“මුතු මැණිකේ” චිත්‍රපටය හා පරාක්‍රම සිල්වා අධ්‍යක්ෂණය කළ “බිත්ති හතර” චිත්‍රපටය නොමිලේ ප්‍රදර්ශනය කෙරිණි. මේ කතාබහ ඒ නිමිත්තෙනි. තරමක අසනීප තත්ත්වයෙන් පසු වන බැවින් කතා බහ කිරීම ද ඔහුට අපහසු බවක් දැනුණි. අපහසුතා මධ්‍යයේ වුව ද ඔහු සිය තතු අප හා විවර කළේ ය.
ඔබගේ ජීවිතයේ මුල් කාලය ගැන කතා කරමු ද…?
මම දකුණේ උපන් කෙනෙක්නේ. ගාල්ල කළුවැල්ල තමයි මගේ ගම. මගේ පියා පීටර් අලස් අම්මා ක්ලේරා අලස්. මම ඉපදුනේ 1948 ජූනි 21 වැනිදා යි. මම පවුලේ දෙවැනියා. මාත් එක්ක පවුලේ දරුවන් පස් දෙනයි. මගේ පියා ව්‍යාපාරික කටයුතුවල නිරත වුණා. මම පුංචි කාලෙදිම පියාගේ ව්‍යාපාර කටයුතු නිසා පවුලේ හැමෝම බම්බලපිටිය ෆලවර් රෝඩ් ප්‍රදේශයට පදිංචියට ඇවිත් තියෙනවා. එතැනත් වැඩි කාලයක් ඉඳලා නැහැ. ඊට පස්සේ ස්ථිර පදිංචියට කොම්පඤ්ඤවීදියට පැමිණ තියෙනවා. මගේ ජීවිතයේ මතක ඇති කාලය ගත වෙන්නේ කොම්පඤ්ඤවීදිය නිවසෙයි.
පාසල් කාලයේදීත් රංගනයට දක්ෂයිද?
මම මුලින්ම ගියේ කොම්පඤ්ඤවීදියේ හෝලි රෝසරී කතෝලික මිශ්‍ර පාසලට. පසුව සාරිපුත්‍ර මහා විද්‍යාලයට ඇතුළත් වෙලා එහිදී උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවා. පාසල් කාලයේ ඉඳලාම රංගනයට පුදුම ආසාවක් තිබුණා. අවුරුදු දහ අටේදී විතර මගේ පාසලේ යාළුවෝ පිරිසක් එකතු කරගෙන “හැංගි මුත්තං” කියලා වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා. මගේ ප්‍රථම වේදිකා රංගනය වන්නේ එය යි.
ප්‍රසිද්ධ වේදිකාවට ගොඩ වන්නට වරම් ලැබෙන්නේ කොහොමද…?
දයා වයමන්ගේ ‘අම්මයි පුතයි’ වේදිකා නාට්‍යයට තමයි මම මුලින්ම සම්බන්ධ වෙන්නේ. ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා මහතා ඒ නාට්‍ය නරඹන්න ඇවිත් හිටියා. ඔහු මගේ රංගනය පිළිබඳ පැහැදිලා ඔහුගේ “දුන්න දුනුගමුවේ” නාට්‍යයේ රඟපෑම සඳහා මාව සම්බන්ධ කර ගත්තා. ඊට පස්සේ වේදිකා නාට්‍ය රැසකට මම සම්බන්ධ වුණා. හිරු නැති ලොව, ආඬිරැලේ නාඩගම, අංගාරා ගඟ ගලා බසී, කැලණි පාලම, තාරාවෝ ඉගිලෙති, ධවල භීෂණ, වෙස්සන්තර, යෙර්මා, ගජමන් පුවත, අඹුසැමියෝ, තලමල පිපිලා, මායාදේවි, අන්දරේලා, ස්වර්ණමාලි, දිවැස හෙලනු මැන, ට්‍රෝජන් කාන්තාවෝ, බිංගේ, අවි ඇතුළු වේදිකා නාට්‍ය විශාල ප්‍රමාණයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව උදා වුණා. ඒ හැම නාට්‍යයක්ම එකකට එකක් වෙනස් නාට්‍ය නිසා මගේ රංගන ජීවිතයට බොහෝ අත්දැකීම් ඒ චරිත රංගන නිසා මට ලැබුණා. ඒ වගේ ම ඒ බොහෝ නාට්‍යවල මට රඟපාන්න ලැබුණු චරිතත් එකිනෙකට වෙනස් වුණා. ඇතැම් ඒවා රළු චරිත. ඇතැම් ඒවා සාමාන්‍ය යි. සමහර චරිත ප්‍රහසන යි. ඒ හැම රංගනයකින් ම මම බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ විතරක් නෙවෙයි ඒ රංගනයන් වෙනුවෙන් ප්‍රේක්ෂක ආකර්ෂණයත් මා කෙරෙහි වර්ධනය වෙන්න පටන් ගත්තා. අද ඒ චරිත ගැන මතක් වෙද්දී පුදුම සතුටක් දැනෙනවා.
ඔබ පුංචි තිරයට සම්බන්ධ කර ගන්නේ කවුද…?
විජය ධර්ම ශ්‍රී මහත්මයා ඔහුගේ ‘රන් දොරටුව’ ඒකාංගික ටෙලි නාට්‍යයේ රඟපෑමට මට අවස්ථාව ලබා දෙනවා. එයින් මට ටෙලි රංගනයට පිවිසීමට හැකි වෙනවා. ඉන් පසුව සත්පත්තිනි, දන්ඩේ ලූ ගිනි, දූ දරුවෝ, බුමුතුරුණු, රංසිරිගේ සංග්‍රාමය, සැඩසුළං, බැද්දේගෙදර යන ටෙලි නාට්‍යවලටත් රංගනයෙන් දායක වෙන්න මට හැකි වුණා. ස්වයංවරය නමැති ටෙලි චිත්‍රපටයටත්, මරු සමය නම් වූ වාර්තා කෙටි චිත්‍රපටය ඇතුළු ටෙලි නිර්මාණ රැසකටත් මම දායක වුණා. එම රංගනයන් බොහෝමයකට ඉහළ ප්‍රතිචාර ලැබුණා.
සිනමාවට සම්බන්ධ වන්නේ කොහොමද….?
ගාමිණි හේවාවිතාරණ අධ්‍යක්ෂණය කළ ‘හරි යනකොට ඔහොම තමයි’ චිත්‍රපටය 1977 වසරේදී තිරගත වුණා. ඒ චිත්‍රපටයේදී මම මුල් වරට සිනමා රංගනයට අවතීර්ණ වුණා. ඉන් පසුව සොල්දාදු උන්නෑහෙ, බිත්ති හතර, සතර පෙර නිමිති, මුතු මැණිකේ, රිදී නිම්නය, කැළෑ මල්, පාරමිතා, කරදිය වළල්ල, ප්‍රාර්ථනා, හිත හොඳ චණ්ඩියා, මධුසමය, සුදු හංසි, මාරුතය, පාලම යට, හිතවතිය, ක්‍රිස්තු චරිතය, සහරාවේ සිහිනය ආදි වශයෙන් චිත්‍රපට රැසකත් රඟපාන්න මම වාසනාවන්ත වුණා.
මේ අයුරින් ගුවන්විදුලිය, වේදිකාව, පුංචි තිරය, සිනමාව රංගනයෙන් ප්‍රභාමත් කළ නීල් අලස් නම් ඔහු අවස්ථා ගණනාවකදී සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය. මේ වනවිට සිය ජීවන ගමනේ 76 වැනි විය පසු කරන නීල් අලස් තරමක අසනීප තත්ත්වයෙන් පසු වේ. මේ නිසා ම රංගන කාර්යය ඉටු කර ගැනීමට ද අද ඔහුට අපහසු ය. ඒ නිසා ම ආර්ථික අපහසුතා ද ඔහුගේ ජීවන ගමනට බාධාවක්ව පවතී. යම් කිසි කලාකරුවෙක් එසේත් නැත්නම් රටට, ජාතියට යම් මෙහෙවරක් ඉටු කළ තැනැත්තෙකුගේ සුව දුක් සොයා බලා ඔහු සනසාලිය යුත්තේ ඔහුට හෝ ඇයට ඒ සැනසීම අවශ්‍ය අවස්ථාවේදීය. නීල් අලස් අද සිටින්නේ සහෝදර කලාකරුවන්ගේ ආදරය, කරුණාව ලැබිය යුතුම කාල වකවානුවක ය. ඔහුගේ ගිලන් බවට ඖෂධ පමණක් ප්‍රමාණවත් යැයි නොසිතන්න. වසර ගණනාවක් එකම දර්ශන තලයේ, ගුවන්විදුලි ශබ්දාගාරයේ, එකම වේදිකාවක සහෝදරත්වයෙන් බැඳී දුක සැප බෙදා ගනිමින් ගෙවූ අතීතය සිහි ගන්වා ඔහුව තනි නොකරන්නට සහෘද කලාකරුවන්ට මේ නියම කාලය යි.
අපි ඔහුට නිදුක් නීරෝගි සුව පතමු!
තුෂාරී කළුබෝවිල