Home » “එය වසන්තය නොවැ එකමෙක මලක් බව දැනිමි”

“එය වසන්තය නොවැ එකමෙක මලක් බව දැනිමි”

චාපා ජයරුක්

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

– මෙච්චර දුරගිහින් මේ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා බලාපොරොත්තු වුණේ නෑ
– නිළි රැජන යොදාගන්න අදහස මගේ මහත්තයාගේ
– මේ පද පෙළ මගේ යාළුවෙක්ගේ ෆේස්බුක් එකේ තිබුණු කවියක්

ඇය වෘත්තියෙන් වෛද්‍යවරියකි. සහජයෙන් ලද ගායන හැකියාව ඇයට ආභරණයක් වූවා වැනිය. කුඩා කල දුටු වෛද්‍යවරියක වීමේ සිහිනය හිතුවාටත් වඩා ඉහළින් ජය ගැනීමට සමත් වූ ඇය වෛද්‍ය චාපා ජයරුක්ය. හෙළයේ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ කුලුඳුල් මියුසික් වීඩියෝ රංගන දායකත්වය සහිත ‘එය වසන්තයක් නොවේ’ ගීතය චාපා ජයරුක්ගේ සිහිනය සැබෑ කළ කුලුඳුල් ගී නිර්මාණයයි. ආකර්ෂණීය රූප රාමු පෙළට ඔබ්බෙන් ඇසෙන ඇගේ මියුරු ගී හඬට පෙම් බඳින්නෝ බොහෝය. එකිනෙකාගේ අත්දැකීම් වදන් බවට පෙරළමින් දහස් ගණනින් ලැබෙන ප්‍රතිචාර එයට සාක්ෂි දරයි. මේ අපූරු නිර්මාණය ගැන විමසීමේ අදහසින් අප ද වෛද්‍ය චාපා ජයරුක් හා කතාබහට එක්වීමු.

මේක ඔබේ සිහිනය සැබෑවීමක්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ගීතයක් කරන්න මගේ හිතේ ලොකු ආසාවක් තිබුණට මේකට මාව උනන්දු කළේ මගේ මහත්තයා. ඇත්තටම අපි මේක කළේ ආසාවට. මෙච්චර දුරගිහින් මේ වගේ ප්‍රතිචාර ලැබෙයි කියලා බලාපොරොත්තු වුණෙත් නෑ. මට ඕන කළේ කරන එක වැඩේ හරි හොඳටම කරන්න. ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවම ගොඩක්ම සතුටුයි.

ගීතයේ කැටිවෙලා තියෙන විරහව අත්විඳින අය ඕනතරම් ඇති. ප්‍රතිචාර අතරේ සංවේදී වුණු තැන් ඇති?

ගොඩක්ම ලැබෙන්නෙ සංවේදී ප්‍රතිචාර. කිහිප දෙනෙක්ම එයාලගෙ සම්පූර්ණ ජීවිත කතා මට එවලා තිබුණා. එක්තරා තරුණියකගෙ කතාවක් ගොඩක් සංවේදීව දැනුණා. ගෙදරින් අකමැති වුණු නිසා ඇයට ආදරය කළ පෙම්වතා සමඟ විවාහ වෙන්න බැරි වෙලා, වෙනින් කෙනෙක් එක්ක විවාහ වුණත් ඒ ආදරේ හැමදාම හිතේ තිබිලා. ඒ පෙම්වතා හමුදාවට ගිහින් එහිදී මියගිහින්. මේ තරුණියටත් මේ ගීතයේ විදිහටම ඔහු ඉන්නව වගේ දැනිලා. ටික කාලයක් යද්දි ඇයට ලැබුණු පුතා පුනරුප්පත්තිය කියන්න පටන් අරන්. ඔහු ඇයට ආමන්ත්‍රණය කරල තියෙන්නෙ අර මියගිය පෙම්වතා ඇය ඇමතූ විදිහටමයි. ඒ කතාව අහල මාත් ෂොක් වුණා. මේ වගේ ගොඩක් අත්දැකීම් එවලා තිබුණා.

මේ අපූරු පද පෙළ ඔබට ලැබෙන්නෙත් අහම්බෙන්?

ඔව්. ඒක හිමාලි වීරක්කොඩි කියන මගේ යාළුවෙක්ගේ ෆේස්බුක් එකේ තිබුණු කවියක්. ඇයත් කරාපිටිය රෝහලේ වෛද්‍යවරියක්. ගීතයකට පද පෙළක් හොයමින් ඉන්න වෙලාවක තමයි ඒ පද ටික මගේ නෙත ගැටුණේ. දැක්ක ගමන් මට ආස හිතුණා. මං ඇයගේ අවසරය ඇතිව ඒ පද පෙළ ගීතයක් බවට පත්කළා.

මේ ගීතයේ රූප රාමු ඉතාම ප්‍රබලයි. රූප රාමු නිසා ගීතයට ඇබ්බැහි වුණු ලොකු පිරිසක් ඉන්නවා කිව්වොත්?

ඇත්තම කිව්වොත් ඒ කතාව තමයි හරි. ගොඩක් දෙනෙක් රූප රාමු නිසා ගීතය බැලුව කියල තිබුණා. තවත් අය කියල තිබුණා රූප රාමු නිසා මුලින්ම බැලුවත් දැන් නම් ඇස් දෙක පියාගෙන ගීතය අහනවා කියලා.

කොහොමද ගීතයට මේ අපූරු කතා සංකල්පය ගොනු වෙන්නේ?

ඒක නම් ප්‍රමෝද් රත්නායකගේ මැජික් එකක්. මේ අපූරු රූප රචනය වගේම අධ්‍යක්ෂණය සහ සංස්කරණයත් ඔහුගේ. ඔහු මගේ යාළුවෙක්. ඒ වගේම වෛද්‍යවරයෙක්. ප්‍රමෝද් කියන්නෙ ටිකක් වෙනස් විදිහට හිතන කෙනෙක්. ඔහු දුන්න කන්සෙෆ්ට් එක අපිටත් හිතාගන්න බැරි වුණා. නිළි රැජන යොදාගන්න අදහස මගේ මහත්තයාගේ. අපි වගේ ආධුනිකයන්ගේ වැඩකට එතුමිය සම්බන්ධ වෙයිද කියන සැකය අපිට තිබුණා. ඒ වගේම එතුමිය මීට කලින් මියුසික් වීඩියෝවල ඉඳලත් නෑ. පාලිත සිල්වා කියල ප්‍රමෝද්ගේ යාළුවෙක් ලවා නිළි රැජනට කතාකරල බැලුවම තිර පිටපතයි, ගීතයයි එවන්න කියල ඇය කියලා තිබුණා. වාසනාවට ඒ දෙකටම එතුමිය එක්වරම කැමතිවෙලා තිබුණා. අපේ ඊළඟ ගැටලුව වුණේ පිරිමි චරිතයට ගන්නෙ කවුද කියන එක. එතනදි උද්දික ප්‍රේමරත්නගේ නම කියවුණේ නිළි රැජනගේ අදහසක් විදිහට. ඒ, මේ තරම් කල් ගිහිල්ලත් මට ඔබතුමිය එක්ක එක නිර්මාණයකටවත් සම්බන්ධ වෙන්න බැරි වුණානෙ කියලා දවසක් ඔහු එතුමියට කියපු කතාවක් මතක් වෙලා. හරිම කැමැත්තෙන් ඔහු අපේ වැඩේට සහාය දුන්නා. එහෙමයි මේ කතන්දරය ගොඩනැඟුණේ. ගීතයට සංගීතය මුසු කළේ ප්‍රවීණ සංගීතඥ මහේෂ් විතාන.

රූප රචනයේ ප්‍රබලත්වය නිසා ඔබ සැඟවුණු චරිතයක් බවට පත්වෙලා කියල හිතෙන්නෙ නැද්ද?

ඒක නම් මට කිසිම ගැටලුවක් නෙවෙයි. ගීතයේ ෆ්ලෝ එක කැඩෙන නිසා රූප රාමුවල ඉන්න මම කැමති වුණේම නෑ. ඒත් මුළු කණ්ඩායමේම අදහස වුණේ කතාවට බාධාවක් නොවෙන විදිහට එක සීන් එකක් හරි දාමු කියන එක. ඒ නිසා මං හිතන්නෑ මට අසාධාරණයක් වුණා කියලා. කවුරුත් දන්නෙ නැති මං, ගීතය කරල දැම්මට කවුරුත් ඇවිත් හොයාගෙන බලන්නෙ නෑනෙ. රූප රාමුවල ඉන්න ජනප්‍රිය චරිත දෙක නිසා තමයි ගොඩක් අය හොයාගෙන බලන්න පෙලඹුණේ. කොහොමහරි වැඩේ ලස්සනට වෙන්නයි අපට ඕන වුණේ. ගොඩක් දෙනෙක් කමෙන්ට්ස්වලත් ඔය කතාව කියල තිබුණා.

චාපා ජයරුක් කියන වෛද්‍යවරිය කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ?

මගේ අම්මයි තාත්තයි දෙන්නම සංගීත ගුරුවරු. ඒ නිසා මට සහජ හැකියාව තිබුණා. හොරණ තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරලා ශිෂ්‍යත්වයෙන් පාස්වෙලා කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළු වුණා. එහිදී සංගීතයට සම්බන්ධ සියලුම දේවලට සහභාගි වෙලා සමස්ත ලංකා ජයග්‍රහණ ලබාගත්තා. ‘සුමියුරු විශාකාව‘ කියන ටයිට්ල් එකත් දිනාගත්තා.

ඔබේ ජයග්‍රහණයේ නියමුවා ඔබේ සැමියා. ඒ හමුවීම ගැනත් කියමු?

ඔව්. ඒක තමයි ඇත්ත කතාව. ඔහු මගේ හොඳම යාළුවගේ අයියා. යාළුවා අපි දෙන්නව සෙට් කළා කිව්වත් හරි. සෙට් වෙන තැනට වැඩ සිද්ධ කළෙත් ඇය. දැන් අපි විවාහ වෙලා පුංචි පුතාල දෙන්නෙක් ඉන්නවා. ඔහු මගේ ගායන හැකියාව දැනන් හිටිය නිසා ගීතයක් කරන තැනට නිතරම මාව උනන්දු කළා. මේ අත්දැකීම් පන්නරයක් කරගෙන ඉදිරියටත් හොඳ නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division