Home » අදටත් මට මගේම කියල බ්‍රෑන්ඩ් එකක් වෙන්න බෑ

අදටත් මට මගේම කියල බ්‍රෑන්ඩ් එකක් වෙන්න බෑ

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment
නාමලී ගමගේ

– පානා සෙනෙහස ගීතයට අවුරුදු 20ක් පිරෙනවා ඒකත් පාදක කරගෙන කොන්සට් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා
– මගේ ඩාන්සින් ස්ටයිල් එක තමයි ප්‍රේක්ෂකයා දැවැන්ත විදිහට වැලඳ ගත්තේ
– මයිකල් ජැක්සන්ගේ නර්තන ස්ටයිල් එක එක්ක ගොඩක්ම ප්‍රේක්ෂකයන් අතරට ගියා
– අපි මේ රට දාල කොහේවත් යන්නෙ නෑ කොහේ ගියත් අපේ රට තමයි හොඳම

දුෂ්‍යන්ත් වීරමන් කී පමණින් අප සිහියට නැඟෙන්නේ මයිකල් ජැක්සන් යැයි කිවහොත් ඔබ මා හා එකඟ වේවි. ඔහු එතරම්ම මයිකල් ජැක්සන්ගේ නර්තන වින්‍යාසයට සාධාරණයක් ඉටු කළ බව බොහෝ දෙනාගේ මතයයි. එය ඔහුගේ අනන්‍යතාව බවට පත් වූ බව ද නොරහසකි. ශ්‍රී ලංකන් මයිකල් ජැක්සන් යැයි ඔහු ඇමතූ පිරිස් ද වෙති. ඔහු දක්ෂ අයුරින් එම නර්තන ශෛලිය උකහාගෙන තිබුණු බව පැහැදිලිය. කෙසේ වුව ද ඔහුගේ ක්ෂේත්‍රයට පිවිසීම සිදුවන්නේ ගායන ශිල්පියකු ලෙසිනි. ඔහුගේ ආදරණීය බිරිය ස්ටෙෆනී ද ඔබට අමුත්තියක් නොවේ. සිත් ඇද ගන්නා සුලු අයුරින් සිංහල භාෂාව හසුරුවමින් ඇය වැඩසටහන් ඉදිරිපත් කරන ආකාරය නිසාම ඇය කා අතරත් කතාබහට ලක්වන චරිතයක් බවට පත්විය. දුෂ්‍යන්ත් – ස්ටෙෆනී ආදරණීය කැදැල්ලේ තොරතුරු සොයා අපි ඔවුන් හා කතාබහට එක්වීමු.

කොහොමද දුෂ්‍යන්ත් පහුගිය දවස්වල ‘ලංකාවට බායි‘ කියල ගිය නිසා බොහෝ දෙනෙක් හිතුවේ ඔබ ලංකාවට සමුදුන්නා කියලා?

නෑ. නෑ. අපි සුමාන දෙකකට අමෙරිකා ගියා. කවුරුත් කියල යනවා වගේ අපිත් ඉතින් යද්දි ශ්‍රී ලංකාවට බායි කියල ගියා. ඒ නිසා බොහෝ දෙනෙක් හිතුවේ අපි ලංකාව දාල ගිහින් කියලා. නෑ. නෑ. අපි මේ රට දාල කොහේවත් යන්නෙ නෑ. කොහේ ගියත් අපේ රට තමයි හොඳම.

මේ දවස්වල මොකද වෙන්නෙ? 

නිර්මාණය කරපු ගීත කිහිපයක්ම තියෙනවා ඉක්මනින්ම රිලීස් කරන්න බලාපොරොත්තුවෙන්. ‘මගෙ සුදා‘ ගීතය ළඟදීම රිලීස් කරනවා. මං ස්ටෙෆනිත් එක්කත් ගීතයක් කළා තරු කුසුම් කියලා. ඒක පද රචනය කළේ ශෙහාන් ගලහිටියාව. සංගීතවත් කළේ මම. මේ අවුරුද්දෙ අන්තිම හෝ ලබන අවුරුද්දෙ මුල මගේ තවත් කොන්සට් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකට විශේෂ හේතුවකුත් තියෙනවා. මගේ පානා සෙනෙහස ගීතයට අවුරුදු 20ක් පිරෙනවා. ඒක පාදක කරගැනීම තමයි මූලික අරමුණ. දුෂ්‍යන්ත් වීරමන් ලයිව් ඉන් කොන්සට් නමින් මං මෙතෙක් කරපු ගීත සහ මගේ අලුත්ම ඇල්බම් එකට සූදානම් කරපු ගීතත් ඇතුළත්ව ඒ කොන්සට් එක කරන්නයි අදහස් කරන් ඉන්නේ. දැනට ඔක්කොම මගේ ගීත තිහක් විතර තියෙනවා. ඒවත් එක්ක මගේ බෑන්ඩ් එකත් එක් කරගෙන ලස්සන වැඩක් කරන්න ප්ලෑන් කරනවා.

මේ වෙද්දි ඔබ ගීත කීයක් විතර කරල තියේද?

දාසයක් වීතර කරල තියෙනවා. 12ක් විතර ජනප්‍රිය වුණා. පානා සෙනෙහස, දේදුන්න වාගේ, ජේත්තු නෝනේ, වාසනා ලොවක්, මතකයේ හසරැල්, ගෝමර මාලා, ඔමරි ලතා වගේ ගීත ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම තාමත් එළියට නොදාපු මගේ අලුත් ගීත ඇල්බමයට නිර්මාණය කරපු ගීතත් තියෙනවා. මේ වෙද්දි මං කොන්සට් 12ක් කරලා තියෙනවා.

දුෂ්‍යන්ත් කියන චරිතය ප්‍රේක්ෂකයන් හොඳින්ම හඳුනගත්තේ මයිකල් ජැක්සන්ගේ ඩාන්සින් ස්ටයිල් එකත් එක්ක. ඒකත් ලංකාවේ මයිකල් ජැක්සන් විදිහට. ඒ ගැන මොකද හිතෙන්නේ?

2008 වසරේ ඩාන්සින් ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වීමත් එක්ක තමයි මාව ගොඩක්ම ජනප්‍රිය වුණේ. දෙවැනි වටයෙදි තමයි මං මයිකල් ජැක්සන්ගේ නර්තන ස්ටයිල් එක ඉදිරිපත් කළේ. ඒක ගොඩක්ම ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඒකත් එක්ක තමයි ලංකාවේ මයිකල් ජැක්සන් කියන්න පටන් ගත්තේ. ඒකෙත් පොඩි ගතියක් තියෙනවා. ඒක නිකන් මට නම්බු නාමයක් ලැබුණා වගේ. මමත් පෞද්ගලිකව ගොඩක් ආස කළ කලාකරුවෙක්. ඒ නිසා ඒකට මං ආසයි. වෙන කවුරුත් ඒ ස්ටයිල් එකට නටල තිබුණෙත් නෑ. ඒ නිසා ඒක මට සතුටක් වගේම ආඩම්බරයක්.

මයිකල් ජැක්සන් වගේ නටන්න ගත්තෙ ඔබටම කියලා අනන්‍යතාවක් ගොඩනඟා ගන්නද කියල ඇහුවොත්?

මතකයේ හසරැල්, වාසනා ලොවක් වගේ සින්දු මයිකල් ජැක්සන් කරල නෑනෙ. මගේ නිර්මාණ දිහා බැලුවම මයිකල් ජැක්සන් ගතියක් පේන්නෙ නෑනේ. මගේ ඩාන්සින් ස්ටයිල් එක තමයි ප්‍රේක්ෂකයා දැවැන්ත විදිහට වැලඳ ගත්තේ. ඒකත් ඩාන්සින් ස්ටාර් දෙවැනි වටයෙදි. එතැනදි මං මයිකල් ජැක්සන් රූටින් එක කළා. ඒකට ලකුණු 30/30ම ලැබුණා. මිනිස්සු හරියටම මාව දකින්නේ දෙවැනි වටයෙදි. ඔවුන් ඒක කොතරම් ආදරෙන් වැලඳ ගත්තද කියනවනම් ඊට පස්සෙ මගේ විදිහට කොච්චර දේවල් කළත් මයිකල් ජැක්සන් විදිහටම තමයි මිනිස්සුන්ගෙ ඔළුවට ගියේ. මයිකල් ජැක්සන් කියන්නෙම ඉතින් ස්ටයිල් එකක්නේ. මං හිතන විදිහට ලෝකෙ වෙන කිසිම ආර්ටිස් කෙනෙකුටවත් නැහැ එහෙම ස්ටයිල් එකක්. වෙන ඕනෙම කෙනෙකුට තියෙන්නෙ මොකක් හරි සංස්කෘතියකට ආවේණික දෙයක්. බොබ් මාලේ ගත්තම රෙගේ, එල්ලේස් කිව්වම රොකැන්රෝ, ස්ටුට් ඩෝග් කිව්වම හිප් හොප්. ඒ ඒ මියුසික් එකට හරියන්න තමයි එයාලගෙ ස්ටයිල් එක හැදිල තියෙන්නෙ. ඒත් මයිකල් ජැක්සන් කිව්වම ලෝකෙ වෙන කොහෙවත් නෑ. ඒක එයාගෙම ස්ටයිල් එක. ඒක ජනප්‍රිය වෙන්න හේතුව ගොඩක් දෙනෙක්ට ඒක කරන්න බෑ. මයිකල් ජැක්සන් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. ඒ නිසාම තමයි අදටත් මට මගේම කියල දෙයක් බ්‍රෑන්ඩ් එකක් වෙන්න බැරි. අහන්නෙම මයිකල් ජැක්සන් ගැන.

සාමාන්‍යයෙන් සංගීත කණ්ඩායමකට කුරුම්බා කියන නම නුහුරුයි වගේ. ඇයි දුෂ්‍යන්ත් සංගීත කණ්ඩායමට කුරුම්බා කියල නම දැම්මේ?

කුරුම්බා කියන නම දැම්මේ සුනිල් පෙරේරා මහත්මයා. ඒක ටිකක් වෙනස් නිසා ලස්සනයි කියලා හිතුණා. ගොඩක්ම අපි ප්ලේ කරන්නේ වෙඩින්, පාර්ටී, කෝපරේටිව් ඉවෙන්ට්ස්, ඩිනර් ඩාන්ස්, අවෝර්ඩ් සෙරමනි වගේ ගෘහස්ථ උත්සවවල. දැන් අවුරුදු 8ක් තිස්සේ අපි ප්ලේ කරනවා. මං ගායකයා විදිහට කටයුතු කරනවා. විදෙස් සංචාරවලටත් සහභාගි වෙනවා.

දුෂ්‍යන්ත් දැන් ව්‍යාපාරිකයෙක් කියලත් ආරංචියි?

ඔව්.. ඔව්. මං මැංගෝ ෆෙන්ඩ්ස් කියලා ඇතුල්කෝට්ටේ ව්‍යාපාරික ආයතනයක් පටන් ගත්තා. මුලින්ම PJE අඹ කරන්න පටන් ගත්තේ. දැන් තව පලතුරු වර්ග 17ක් විතර කරනවා. කෑම ජාති, බීම ජාති දෙකම තියෙනවා. අපේ ව්‍යාපාරය සඳහා අපි පාවිච්චි කරන්නේ රසායනික ද්‍රව්‍ය යොදන්නෙ නැති එළවළු, පලතුරු වර්ග. ගොවීන් ළඟටම ගිහින් ගොවීන්ගෙන්ම ගන්න දේවල්. මේ වෙද්දි සෞඛ්‍යආරක්ෂක විදිහට දිවා රාත්‍රී ආහාර ලබාදෙන්නත් කටයුතු කරනවා.

දුෂ්‍යන්ත්ගේ ආදරණීය බිරිය ස්ටෙෆනිගේ හමුවීම ගැනත් කියමු?

ඇය මට හමුවෙන්නේ 2008දී. ඒ ලංකාවෙ තිබුණ ප්‍රසංගයකදී. ස්ටෙෆනී කැනේඩියන් සම්භවයක් තියෙන කෙනෙක්. අපේ විවාහය සිදුවෙන්නේ ඉතාලියේදී. ඇය කැනේඩියානූ පුරවැසියෙක් වුණත් මං එහේ පුරවැසිභාවය ලබාගන්න ගියේ නෑ. මං දිගටම ශ්‍රී ලාංකේය පුරවැසියෙක් විදිහටම හිටියා. ඒ හැම රටකටම වඩා ලංකාව හොඳයි. ස්ටෙෆනි වුණත් ලංකාවෙ ඉන්න ගොඩක් කැමතියි.

ඇය දැන් හොඳට සිංහල භාෂාව හසුරුවනවා. ඔබෙන් ද ඇය ඉගෙන ගත්තෙ?

මං හමුවුණාට පස්සෙ ඇය ගොඩක් දුරට සිංහල කතා කරන්න ඉගෙන ගත්තා. මගෙන් විතරක් නෙවෙයි මේ ෆීල්ඩ් එකට ආවට පස්සෙ එයා තව තව සිංහල ඉගෙන ගන්න පෙලඹුණා. සිංහලෙන් ටීවී වැඩසටහන් හසුරුවන්න පුළුවන් මට්ටමට දැන් ඇගේ සිංහල හැකියාව ඩිවෙලොප් වෙලා. ඇය නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා. ඊට අමතරව ගෲමින් සහ එතික්ස් සම්බන්ධව කෝපරේට් ට්‍රේනින් කරනවා. අපේ බොහොමයක් දෙනා ඉංග්‍රීසි දැනගෙන හිටියට අපහසුතාවට පත්වෙන තැන් ඕනතරම්. මැනර්න්ස් එහෙම නැත්නම් සිරිත්විරිත් සාරධර්ම වගේ දේවල් හරිහැටි දන්නෙ නැති වුණහම, දැන ගත්තත් නිසි තැනට නිසි අවස්ථාවට යොදන්න, එහෙම නැත්නම් තව කෙනෙකුට නිසි පරිදි සම්ප්‍රේෂණය කරන්න දන්නෙ නැති වුණහම ඔවුන් අපහසුතාවට පත්වෙනවා. විශේෂයෙන්ම විදෙස් රටවලදී. ඒ වගේ දේවල් තමයි ට්‍රේනින් කරන්නේ.

කොහොමද ඇගෙන් ලැබෙන සහයෝගය?

ඇය ගොඩක් සපෝටිව් සහකාරියක්. විවාහයට කලින් ඉඳලම අපි දෙන්න තේරුම් අරන් හරිම සහයෝගයෙන් රිලේෂන් ෂිප් එක පවත්වගෙන ගියා.

ඇය ලංකාවේ සංස්කෘතියට අලුත් කෙනෙක්. ඒ නිසා සිංහල කෑම බීම හදන්න හුරු නැතුවත් ඇති?

ඔව්. අපි වෙනම ඉන්න නිසා කෑම හදා ගන්නවා. ස්ටෙෆනි වැඩිපුරම හිටියේ කැනඩාවේ. එයා සිංහල කෑම වර්ග වැඩිය හදන්න දන්නෙ නෑ. ඉතාලි, ලෙබනන් වගේ කෑම තමයි වැඩිපුරම හදන්නේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division