Home » සූරියාගේ අලුත් චිත්‍රපටය කන්ගුවා ඉන්දියාවේ වාර්තාවක් පිහිටුවයි ද?

සූරියාගේ අලුත් චිත්‍රපටය කන්ගුවා ඉන්දියාවේ වාර්තාවක් පිහිටුවයි ද?

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment

ලංකාවේ සිනමා ලෝලීන්ගේ ද මහත් ආදරයට පාත්‍ර වී සිටින ජනප්‍රිය දෙමළ සිනමා නළු සූරියාගේ අලුත්ම චිත්‍රපටයක් මේ වන විට මාධ්‍ය තුළ විශාල වශයෙන් පුවත් මවමින් සිටිනවා. එම චිත්‍රපටයේ නම ‘කන්ගු වා.‘ ලබන 14 වැනි දින ප්‍රේක්‍ෂකයන් හමුවට පැමිණීමට නියමිත ‘කන්ගුවා’ ගැන මේ වන විටත් ලොකු අවධානයක් යොමු වී තිබෙනු දැකගත හැකියි.

මෙම චිත්‍රපටයේ නිෂ්පාදක ඥානවේල් රාජා මෙයට දින කිහිපයකට පෙර කියා තිබූ කතාවක් ද මාධ්‍ය තුළ ප්‍රධාන මාතෘකාවක් වී තිබුණා. ඔහු පවසා තිබුණේ ‘කන්ගුවා’ ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඉන්දියානු රුපියල් කෝටි 2,000 ඉක්මවා ආදායම් උපයනු ඇති බව තමාට විශ්වාස බවයි. මෙය ලංකා රුපියල්වලින් කෝටි 7,000කට වැඩි ආදායමක්. සැබැවින්ම මෙම සිනමාපටය එවැනි ආදායමක් ඉපැයුවහොත් එය සුවිශේෂී සිදුවීමක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ඉන්දියානු සිනමාපට උපයා ඇති ආදායම් පිළිබඳ සංඛ්‍යාලේඛනවලට අනුව මෙතෙක් කාලයකට ඉ. රුපියල් කෝටි 2,000 සීමාවට ළඟා වී ඇත්තේ එකම චිත්‍රපටයක් පමණයි. ඒ ආමීර් ඛාන් රඟපෑ ‘දන්ගල්’ චිත්‍රපටයයි. හින්දි චිත්‍රපටයක් වූ එය තිරගත වුණේ 2016 වසරේයි. වසර 8කට පෙර පිහිටුවන ලද මෙම ආදායම් වාර්තාව බිඳ හෙළන්නට ‘කන්ගුවා’ට හැකි වේවි ද? ඥානවේල් රාජාගේ ඉහත කී අනාවැකිය සිනමාලෝලීන් තුළ මෙම කුතුහලය ඇති කරන්නට සමත් වී තිබෙනවා.

බොහෝ චිත්‍රපට සමාගම් චිත්‍රපටවලින් ලබන ආදායම් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නේ සත්‍ය ගණන් හිලව් නොවන බවටත් මේ කාලයේ නිතර චෝදනා එල්ල වෙනවා. නමුත් ‘කන්ගුවා’ නිෂ්පාදකවරයා පවසන්නේ තම චිත්‍රපටයේ ආදායම්වලට අදාළ සියලු ලිපි ලේඛන සමඟ විනිවිදභාවයකින් යුතුව සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන බවයි.

ඉන්දීය රුපියල් කෝටි 2,000 සීමාව කෙසේ වෙතත් කෝටි 1,000 සීමාවවත් පසු කළ ඉන්දියානු චිත්‍රපට තිබෙන්නේ හයක් හතක් පමණයි. එකම දෙමළ චිත්‍රපටයක්වත් මේ අතර නැති බවත් සඳහන් කළ යුතුයි. ඒ නිසා ‘කන්ගුවා’ අඩුම තරමින් ඉන්දීය රුපියල් කෝටි 1,000 සීමාව පසු කළහොත් එයත් දෙමළ සිනමාවේ වාර්තාවක් බවට පත් වනු ඇති.

මෙම චිත්‍රපටයේ රූගත කිරීම් පටන් ගත්තේ 2022 වසරේයි. මෙය වැඩිම වියදමක් දරා නිපදවුණු දෙමළ චිත්‍රපට අතරටත් අයත් වෙනවා. ‘කන්ගුවා’ සඳහා වැය කරන ලද මුදල ඉන්දීය රුපියල් කෝටි 350ක් පමණ වන බවයි සඳහන් වන්නේ. මාධ්‍ය වාර්තාවල සඳහන් වන ආකාරයට රටවල් 7 කට ආසන්න සංඛ්‍යාවක මෙහි දර්ශන රූපගත කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ද සමහර දර්ශන රූපගත කිරීමට සැලසුම් කර තිබූ බවත්, නමුත් එය සිදු නොවූ බවත් සඳහන්.

මෙම සිනමාපටය සම්බන්ධයෙන් පළවන තවත් විශේෂ කාරණයක් වන්නේ එය භාෂා 35 කින් පමණ ලොව විවිධ රටවල ප්‍රදර්ශනය කෙරෙනු ඇති බව යි. ඉන්දියානු සිනමාවේ මෙතෙක් නිර්මාණය කෙරුණු දැවැන්තම යුද ජවනිකා පෙළ ද ‘කන්ගුවා’ හි දක්නට ලැබෙන බව පැවසෙනවා. මෙයට අතිරේක ශිල්පීන් 10,000කට වැඩි පිරිසක් යොදා ගන්නා ලද බවත් සඳහන්. සූරියාට අමතරව බොබි ඩියොල්, දීශා පටානි වැනි ජනප්‍රිය නළු නිළියන් ද මෙහි චරිත නිරූපණය කරනවා.

චිත්‍රපටයේ කතා පුවත ගැන වැඩි විස්තරයක් තවමත් මාධ්‍ය තූළ පළ වී නැහැ. චිත්‍රපටය තිරගත වනතුරු එය රහසක් ලෙස තබා ගැනීමට නිෂ්පාදකවරුන් කල්පනා කරන බවයි පෙනෙන්නේ. මෙය බොහෝ ඈත අතීත කාලයකුත්, වර්තමානයත් එකට යා කරන සිදුවීම් දාමයක් රැගත් චිත්‍රපටයක් බව සමහර වාර්තාවලින් පැවසෙනවා. සූරියා මෙහි චරිත දෙකක් රඟපාන බවත් සඳහන්. එක් චරිතයක් අතීතයේ විසූ සටන්කාමී ගෝත්‍රික නායකයකුගේ චරිතයක් බවත්, අනෙක් චරිතය අපරාධවලට එරෙහිව සටන් කරන එඩිතර පොලිස් නිලධාරියකුගේ චරිතයක් බවත් සමහර මාධ්‍යවාර්තාවලින් පැවසෙනවා.

‘කන්ගුවා’ දෙමළ චිත්‍රපට නරඹන සිනමාලෝලීන් මහත් බලාපොරොත්තු තබා සිටින සිනමාපටයක්. මුලින් මෙය ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ ඔක්තෝබර් 10 වැනි දිනයි. නමුත් සුපිරි නළු රජිනිකාන්ත් රඟ පෑ ‘වේතයියාන්’ චිත්‍රපටය ද එදිනම තිරගත කිරීමට නියමිතව තිබූ නිසා ‘කන්ගුවා’ තිරගත කිරීම කල් දැමීමට නිෂ්පාදකයන් තීරණය කළා. ‘කන්ගුවා’ සහ ‘වේතයියාන්’ එකම දිනක තිරගත කිරීමෙන් එම චිත්‍රපටවල ආදායම්වලට බලපෑමක් ඇති විය හැකිව තිබූ නිසායි ඒ.

කසුන් අරවින්ද

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division