Home » දැන් මගේ නම මටත් අමතකයි

දැන් මගේ නම මටත් අමතකයි

පියුමාලී ප්‍රසාදිනී

by Mahesh Lakehouse
October 26, 2024 12:30 am 0 comment
නාමලී ගමගේ

– මගේ පෙම්වතා ලංකාවට ආපු නිසා ඒක මට සප්‍රයිස් එකක් වුණා
– අපි දෙන්න ආදරේ කරන විදිහට ප්‍රේක්ෂකයෝ හරි කැමැතියි

පියුමාලී ප්‍රසාදිනී එදිරිසිංහ ඒ ඇය උපන්දා ඇයට හිමි වූ නමයි. නමුත් දැන් ඇගේ නම එය දැයි ඇයට ද අමතක ගානයි. පාට කුරුල්ලෝ නිම්නාවී නිසා ඇයට තම නම ද අහිමි වී ගිය සෙයකි. කවුරුත් දැන් ඇය හඳුන්වන්නේ නිම්නාවි කියාය. පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ අහිංසක ආකර්ෂණීය චරිතය ඇයයි. පසුගිය දින ඇයගේ 26 වැනි උපන්දිනය සමරා තිබුණේ ද පාට කුරුල්ලෝ පවුල මූලික කරගනිමිනි. මෙය ඇය දිවියේ සුවිශේෂී උපන්දිනය වූවාට කිසිදු සැකයක් නැත. එදින අපූර්වත්වය ගැන ඇය මෙසේ අප හා අදහස් බෙදාගත්තාය.

පියුමාලි නිම්නාවි වුණු හැටි මුලින්ම කියමුද ?

ඒක නම් පුදුම දෙයක්. දැන් මට කවුරුත්ම පියුමාලි කියල කියන්නෙම නැති තරම්. හැමෝම කියන්නේ නිම්නාවි කියලා. මං පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්නේ නිෂ්පාදක චාමර සමරවික්‍රම අයියගේ ආරාධනයෙන්. අධ්‍යක්ෂ සිවා සර් මට කතා කරන්නෙත් නිම්නාවී කියලා. සෙට් එකේ හැමෝම කියන්නෙත් ඒ නම. ඒ විතරක් නෙවෙයි එළියට බැස්සත් හැමෝම මට කතා කරන්නේ නිම්නාවී කියලා. දැන් මගේ නම මටත් අමතකයි වගේ. නිම්නාවිට පුදුමාකාර ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. ඒක නම් මට වචනවලින් විස්තර කරන්න තේරෙන්නෙ නෑ. ඒ ගැන හරිම සතුටුයි.

නිම්නාවි වෙන්න කරපු මුල්ම ආරාධනා ප්‍රතික්ෂේප කළා කියලත් ආරංචියි. අද මොකද හිතෙන්නේ?

සාමාන්‍යයෙන් එක පාරක් දෙකක් එහෙම ප්‍රතික්ෂේප කරන එක සාමාන්‍ය දෙයක්. ඒත් මං ගොඩක් සැරයක් ප්‍රතික්ෂේප කළා. ඒක ලොකුකමක් නෙවෙයි. මට රංගනය ගැන සිතුවිල්ලක් තිබුණෙ නෑ. ඒත් චාමර අයියා වැඩේ අතහැරියෙම නෑ. කොහොමහරි මාව කැමති කරගත්තා. අද මං ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. ඔහු නිසා තමයි මං අද මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලබන්නේ. චාමර අයියා, සිවා සර්, බුද්ධික අයියා මේ තුන්දෙනාගේ එකතුවෙන් මං අද ලංකාවෙම මිනිස්සුන්ගේ ආදරේ ලබනවා. මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලබන්න අනිත් හේතුව වුණේ සජිත අයියා. අපි දෙන්න ආදරේ කරන විදිහට අපි දෙන්නගෙ සීන්වලට ප්‍රේක්ෂකයෝ ගොඩක් කැමැතියි. ගොඩක් ආදරෙයි. ගොඩක් අය කියනවා පාසල් කාලෙ මතක් වෙනවා කියලා. මේක පාසල් ප්‍රේමයක් නොවුණත් අපි ආදරේ කරන විදිහට ගොඩක් අය කැමැතියි. අන්තිමට හරි නිම්නාවි වෙන්න කැමති වුණු එක ගැන මං අද ගොඩක් සතුටු වෙනවා.

පසුගියදා පියුමාලිගේ 26 වැනි උපන්දිනය සැමරුවා. ඒකත් සප්‍රයිස් එකක්ද?

මගේ පෙම්වතා ලංකාවට ආපු නිසා ඒක මට සප්‍රයිස් එකක් වුණා. ඔහු රැකියාව කරන්නේ විදෙස් රටක. උපන්දිනේට එන්න කිව්වට මං කවදාවත් හිතුවෙ නෑ මගේ වචනෙට ඒවි කියලා. ඇත්තටම ඔහු උපන්දිනේට කලින් දවසේ ආවා. ඒ මට ලැබුණු හොඳම තෑග්ග.

තෑගි ගොඩකුත් අරන් එන්න ඇති?

ඔව්. ඔව්. එයා තෑගි ගොඩක් ගෙනැත් තිබුණා. සැරින් සැරේට මං ඉල්ලපු ජාති ඔක්කොම ගෙනැත් තිබුණා. හැබැයි මං උපන්දිනේට කලින්ම ඒව ඔක්කොම බැලුවා.

මේක පියුමාලිට සුවිශේෂී උපන්දිනයක් වුණා නේද?

ඇත්තටම ඔව්. කඩුවෙල රිවර්ස් එජ් එකේ පාටිය තිබුණේ. පාට කුරුල්ලෝ පවුලයි මගේ ළඟම යාළුවො ඇතුළු සීමිත පිරිසක් තමයි සහභාගී වුණේ. සිවා සර්ගේ පැමිණීමත් මට ලොකු සතුටක් වුණා. ඩෙකරේට් කළේ බුද්ධික ඉඩම්ගෙදර අයියා. මං ඔහුගෙන් ඉල්ලුවේ පොඩි ප්ලවර් ඇරේන්ජ්මන්ට් එකක්. ඒත් ඔහු එතැන රෝස මල් යායක් කරලා ඉහළින්ම සරසලා තිබුණා. මාත් සප්‍රයිස් වුණා. බුද්ධික අයියට වගේම තමන්ගේ වටිනා කාලය වැයකරලා මගේ උපන්දිනය වෙනුවෙන් එදා ආපු හැමෝටම ස්තුති කරන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා.

අකමැත්තෙන් වුණත් මේ ආපු ගමන අද මල් මාවතක් වෙලා. වෙනත් නිර්මාණවලිනුත් අපට පියුමාලිව දකින්න ලැබේවිද?

පාට කුරුල්ලෝ කණ්ඩායම වගේ යාළුවෝ පිරිසක් ලැබීම ගැන මං ගොඩක් සතුටු වෙනවා. යාළුවෝ කියනවට වඩා මං කැමතියි ඔවුන් සහෝදරයෝ විදිහට හඳුන්වන්න. දැන් අපි හරියට එකම පවුලක් වගේ. ඕනෑම ප්‍රශ්නෙකට හැමෝම එකට ඉන්නවා. ඒ වගේම ලබන මාසෙ ඉඳන් මගේ අලුත්ම ටෙලි නිර්මාණය විකාශය ඇරඹෙනවා. මුල් එපිසෝඩ් ටික මේ වෙද්දි ෂූට් කරල ඉවරයි. ඉක්මනින්ම විකාශය වේවි. ඒකත් ලස්සන නිර්මාණයක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division