ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විස්සයි20 හා දහයයි10 ෆ්‍රැන්චයිස් තරග මේ වන විට නොම්මර එකේ ව්‍යාපාරයකි. බුකීකරුවන්ගේ සහ මුදලට තරග පාවාදෙන්නන්ගේ පාරාදීසයකි. මේ පාරාදීසයේ ඩාවුඩ් ඉබ්‍රාහිම්ලා වැනි පාතාල නායකයන් ද, මොහොමඩ් අසාරුදීන්ලා වැනි මුදලට තරග පාවාදෙන්නන් ද එමටය. ඩොලර් මිටි ගණන් එහා මෙහා වන්නේ තරගාවලි ආරම්භවීමටත් පෙරය. නීතිවිරෝධීව උපයා ගත් ඩොලර් කඳු ආයෝජනය කිරීමේ තෝතැන්නකි. කළු සල්ලි සුදු වන්නේ හිතේ හැටියටය. විවිධ රටවල ෆ්‍රැන්චයිස් තරග පැවැත්වෙද්දි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ වංචා විරෝධී ඒකකය ද, එක් එක් රටවල ක්‍රිකට් දුෂණ වංචා විරෝධී විමර්ශකයන්ගේ ද උකුසු ඇසට හසුවන තරග පාවාදීම් මෙන්ම එසේ හසු නොවන තරග පාවාදිම් ද අපමණය.
අනුව දශකයේ මුල්භාගයේ සිට පාකිස්තානය හා ඉන්දියාව කේන්ද්‍ර කරමින් ටෙස්ට් සහ එක්දින තරග බිමේ පැතිරී ගිය මුදලට තරග පාවාදීමේ ජාවාරම තවදුරටත් ව්‍යාප්ත වූයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ආරම්භයත් සමඟය. අනතුරුව පසුගිය දශකය මුළුල්ලේහිම ලොව පුරා විවිධ රටවල විස්සයි20 ෆ්‍රැන්චයිස් තරග බිමේ පැතිරී ගිය මේ නීතිවිරෝධී ජාවාරම දහයයි10 ෆ්‍රැන්චයිස් තරග ආරම්භයත් සමඟ ඉහළ ගියේය. වසර 2021 අබුඩාබියේ පැවැති දහයයි10 ලීග් තරගාවලියේදී පුහුණුකරුවකු ඇතුළු කණ්ඩායම් හිමිකරුවන් දෙදෙනකු නීතිවිරෝධී ක්‍රියාකාරකම් සිදු කළ බවට චෝදනා එල්ලවූ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තහනමකට ද ලක්වූහ.
ක්‍රිකට් කවුන්සිලයේ සැකය
එය තවත් උණුසුම් කරමින් පසුගිය මාසයේ දකුණු අප්‍රිකාවේ හා සිම්බාබ්වේ කේන්ද්‍ර කරමින් පැවැති Zim Afro T10 ක්‍රිකට් තරගාවලියේ සිදුවූ බවට සැක කෙරෙන තරග පාවාදීමේ ක්‍රියාකාරකම් සම්බන්ධව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ වංචා විරෝධී ඒකකයේ උකුසු ඇස යොමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිම්බාබ්වේ සයිබර් සිටි ව්‍යාපෘතියේ හිමිකරුවන් වන ෂන්ජි උල් මල්ක්ගේ හිමිකාරිත්වය යටතේ පැවැති එම තරගාවලියේ ඇතැම් තරගවලදී ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසය ගැන දැන් දැන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සැක පහළ වී ඇතැයි වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ එහි ඇතැම් තරගවලදී අසාමාන්‍ය ලෙස වයිඩ් සහ නිපන්දු වාර්තාවීමය. එම තරගාවලිය යටතේ හරාරේ නුවර පැවැති ඩර්බන් වූල්ව්ස් සහ හරාරේ බෝල්ට්ස් අතර තරගයේ වාර්තා වූ වයිඩ් සහ නිපන්දු විමර්ශකයන්ගේ දැස් විසල් කිරීමට තරම් විස්මිත වූ බව වාර්තා වේ.
හරාරේ බෝල්ට්ස් පිල ලකුණු 54ක ජයක් වාර්තා කළ එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් හරාරේ පිල ඕවර 10ට වාර්තා කළේ ලකුණු 173ක දැවැන්ත ලකුණු පුවරුවකි. ඊට වයිඩ් පන්දුම 25කි. එතැනම වැඩිපුර ඕවර 4කට වැඩිය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ උකුසු ඇස යොමුවූ සැක කටයුතු ඕවර 3ක්ම ඊට ඇතුළත්ය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් කාෂිෆ් දාවුඩ් එම ඉනිමේ 6 වැනි ඕවරය යැවූ අතර, ඊට පන්දු 14කි. වයිඩ් පන්දු 7ක් සහ නිපන්දු 3ක් ඊට ඇතුළත් විය. ඕවරය අවසානයේ ඔහු ලකුණු 20ක් ප්‍රතිවාදීන්ට පූජා කළ අතර, ඇවිළෙන ගින්නට පිදුරු දැමුවා සේ 9 වැනි ඕවරය යැවූ ඇෆ්ගනිස්තානයේ ඩව්ලත් සඩ්රාන් ලකුණු 23ක් පූජා කළේ වයිඩ් පන්දු 8ක් ද සමඟිනි. ඊට අමතරව එක් ඕවරයක් පමණක් යැවූ පාකිස්තානයේ යසීර් ෂා ලකුණු 30ක් ලබා දී ඇත්තේ වයිඩ් පන්දු 3ක් ද සමඟිනි. එම ඕවරයට මුහුණ දුන් ජෝර්ජ් මුන්සේ හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් ද එල්ල කර තිබිණි.
දැනටමත් විමර්ශන
මේ තොරතුරු තහවුරු කරමින් පාකිස්තාන මාධ්‍යවේදී සලීම් කලීක් හෙළි කර ඇත්තේ එම තරගාවලියට ක්‍රීඩා කළ ඇතැම් පාකිස්තාන ක්‍රීඩකයන් ගැන දැනටමත් විමර්ශන ආරම්භ වී ඇති බවය. ඇතැම් පාකිස්තාන ක්‍රීඩකයන්ගෙන් හා නිලධාරීන්ගෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය දැනටමත් ප්‍රශ්න කර ඇතැයි ද, එක්තරා නිලධාරියකු සතු ජංගම දුරකතනයක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ. එහෙත් තරගාවලියේ හිමිකරුවන් මේ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, එය තරගාවලියේ සාර්ථකත්වය හේතුවෙන් ඇතැම් මාධ්‍ය විසින් ගොතනු ලැබූ කතාවක් බව ප්‍රකාශ කර ඇත. එහි සත්‍ය අසත්‍යතාව ඉදිරියේදී අනාවරණය වනු ඇත.